සචින් සහ විරාත් ගැන රහසක් ෂෙවාග් හෙළි කරයි | සිළුමිණ

සචින් සහ විරාත් ගැන රහසක් ෂෙවාග් හෙළි කරයි

මේ වසරේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම ටිකෙන් ටික ඉහළ යාමට පටන්ගෙන ඇති බව පෙනෙනවා. සිම්බාබ්වේ හි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියත් එම උණුසුම ඉහළ යාමට එක් හේතුවක් වුණා.

මෙවර ලෝක කුසලානය කවුරුන් දිනාගනු ඇත් ද යන්න ගැන දැන් සිටම මාධ්‍ය තුළ ලොකු කතාබහක් තිබෙනවා. ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක විරේන්දර් ෂෙවාග් ද මෙයට අදාළව පසුගිය දිනෙක අදහස් දක්වා තිබුණා. ඔහු පවසන්නේ විරාත් කෝලි වෙනුවෙන් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් මහන්සි විය යුතු බවයි.

මේ වන විට කෝලිගේ වයස අවුරුදු 34ක්. මීළඟ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2027 වසරේ යි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 38ක් වනු ඇති. මෙම තත්ත්වය තුළ මෙවර තරගාවලිය කෝලිගේ අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය වනු ඇත් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයක් තිබෙනවා. ඇතැම් ක්‍රිකට් විචාරකයන් නම් පවසන්නේ මීළඟ තරගාවලියටත් ක්‍රීඩා කිරීමට කෝලිට හැකි වනු ඇති බවයි. බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද පසුගිය දිනෙක මෙම අදහස ඉදිරිපත් කර තිබෙනු දැකිය හැකි වුණා. ‘මෙය විරාත්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වනු ඇතැයි මා කිසිසේත් සිතන්නේ නැහැ’ ගේල් පවසා තිබුණා.

කෝලි මෙයට ටික කලකට පෙර සිය පිතිකරණය අතින් තරමක් පහත වැටී සිටි බවත් රහසක් නොවෙයි. ඒ නිසා තව අවුරුදු හතරකින් ඔහුගේ තත්ත්වය කුමක් වනු ඇති ද යන්න නිශ්චිතව කීමට හැකියාවක් නැහැ. අනෙක් අතට තරුණ දක්‍ෂ ක්‍රීඩකයන් රැසක්ම කණ්ඩායමට එක්වීමට බලා සිටින බවත් අමතක කළ හැක්කක් නොවෙයි. කෝලි වෙනුවෙන් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට කණ්ඩායම උපරිම උත්සාහයක් දැරිය යුතු බව ෂෙවාග් පවසන්නේ මෙම පසුබිම තුළයි.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවෙයි. ඒ නිසා කුසලානය දිනා ගැනීමට වැඩිම ඉඩක් ඇති කණ්ඩායම ඉන්දියාව බවටත් මේ වන විට අදහස් පළ වෙමින් තිබෙනවා. අවසන් වරට ඉන්දියාව තුළ ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වුණේ 2011 වසරේ යි. එය විශේෂත්වයක් ගත්තේ සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය එය වූ නිසායි. එවර ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, එය සචින්ට දැක් වූ උපහාරයක් හැටියටයි ඔවුන් හැඳින්වූයේ. එම තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යි.

ෂෙවාග් පවසන්නේ එදා සචින් වෙනුවෙන් කුසලානය දිනා ගැනීමට කණ්ඩායම සමත් වූ ආකාරයටම මෙවර ද විරාත් වෙනුවෙන් එය දිනා ගැනීමට ඉන්දීය පිළ මහන්සි විය යුතු බවයි. තම මවු රටේ දී ම එම යුතුකම ඉටු කිරීමට ඉන්දීය පිලට හැකි වුවහොත් එය කෝලිට දක්වන සුවිසල් උපහාරයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ. 2011 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමට ෂෙවාග් ද ඇතුළත් වුණා. එම කණ්ඩායමට අයත් වූ අයගෙන් අද වන විට අඛණ්ඩව ක්‍රීඩා කරමින් සිටින්නේ කෝලි පමණ යි.

2011 තරගාවලිය පැවැත්වෙද්දී කෝලිගේ වයස අවුරුදු 23ක්. එම තරගය අවසන් වීමෙන් පසු ඔහු සචින් සිය කර මත තබාගෙන ක්‍රීඩාංගණය වටා ගිය ආකාරය තවමත් ක්‍රිකට් ලෝලීන්ට මතක ඇතුවාට සැකයක් නැහැ. සචින්ව වැඩිම දුරක් කර තබාගෙන ගියේ කෝලි යි. සචින් කරේ තබා ගැනීම සඳහා කෝලිවම තෝරා ගැනීමට හේතුව ගැනත් ඉහත කී සාකච්ඡාවේ දී ෂෙවාග් සිහිපත් කර තිබුණා. ‘සචින් හරිම බරයි. අපිට ඔහු ඔසවාගෙන යන්න අමාරුයි. ඒ වෙනකොට අපි ටිකක් වයසිනුත් වැඩියිනේ. ඒ නිසා හුඟ දෙනෙක් ඔහුව ඔසවාගෙන යාම ප්‍රතික්‍ෂේප කළා. අනික අපි හුඟ දෙනෙකුට එක එක ආබාධත් තිබුණා. සමහරුන්ට උරහිසේ ආබාධ තිබුණා. දෝනිට දණහිසක ආබාධයක් තිබුණා මට මතකයි. ඒ නිසා අපි මේ වැඩේ තරුණ කට්ටියට භාර දුන්නා. විරාත්ව තෝරාගත්තේ ඔන්න ඔය විදියටයි’ ෂෙවාග් පවසා තිබුණා.

2011න් පසු ඉන්දියාවට එක් වරක්වත් ලෝක කුසලානය දිනා ගැනීමට හැකි වූයේ නැහැ. 2015 සහ 2019 වසරවල ඔවුන්ට අවසන් තරගයටවත් පැමිණීමට නොහැකි වුණා. 2019 වසරේ ඉන්දියානු පිලේ නායකත්වය දැරුවේ කෝලියි.

ඔහු ඉන්දීය පිල වෙනුවෙන් ජාත්‍යන්තර තරගවලට සහභාගි වීමට පටන් ගත්තේ 2008 වසරේ යි. කෝලි සහභාගි වූ පළමු තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සමඟයි.

මෙවර ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේ අහ්මදාබාද්හි පිහිටි නරේන්‍ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේයි. ඒ නොවැම්බර් 19 වැනි දින යි. මේ වනවිට තරග කාල සටහන ප්‍රකාශයට පත්ව තිබෙනවා. ඔක්තෝබර් 15 වැනි දිනට යෙදී ඇති ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මේ වන විටත් විශාල උණුසුමක් ජනිත කර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා. එය පැවැත්වෙන ක්‍රීඩාංගණය අවට හෝටලවල කාමර ගාස්තුව දිනකට ඉන්දීය රුපියල් ලක්‍ෂය ඉක්මවා ඇති බවත් පැවසෙනවා.

Comments