සිනහවෙන් නිතර මුව සරසා ගත් කතා කරන දෑසක් හිමි ඈ කලෙක පුංචි තිරය හැඩ කළ දක්ෂ නිවේදිකාවක් වගේම හඬ ශිල්පිනියක්. පසුව රංගනයට පිවිසි ඇය අද වන විට ප්‍රේක්ෂක ආදරයට පාත්රව සිටී. ඇය නිශාදි ඉන්දිකා සුබසිංහය.
ඉන්දිකා නිවේදිකාව කියන භූමිකාවට තිත තියලද? රංගනයට එකතු වෙන්නේ?
නිවේදිකාවක කියන්නෙ මම ඉතා ආසම භූමිකාවක්. මගේ හිතේ තාමත් දැඩි ඇල්මක් ඒ වෙනුවෙන් තියෙනවා. කාලයක් ජාතික රූපවාහිනියේ නුග සෙවණ වැඩසටහන ඉදිරිපත් කරන්න ලැබුණා. ඒක මගේ ජීවිතේ සුවිශේෂී කාල වකවානුවක්. මට බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණු කාලයක්. මම උසස් පෙළට කළේ කලා විෂයයන්. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා. ඒ කාලෙ අහම්බෙන් වගේ නිවේදකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙනවා. 2000 වසරෙදි තමයි මට මුලින්ම නුග සෙවණ සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. ජනමාධ්‍ය පිළිබඳ මා සතු දැනුම පාවිච්චි කරලා පුවත්පතක් හා සම්බන්ධව කටයුතු කරනවා. ඒ වගේම නීති ප්‍රවේශ විභාගය ඉගෙනිම් කටයුතු කරනවා. පසුව ස්වාධීන රූපවාහිනී සේවයේ හිමිදිරි උදෑසන වැඩසටහන් සමඟත් සම්බන්ධ වෙනවා. මේ අතරතුර තමා මම විවාහ වෙන්නෙ. විවාහයත් සමඟ දරුවන්ගේ කටයුතු නුග සෙවණ වැඩසටහනෙන් තාවකාලිකව සමුගන්න වෙනවා. මම රංගනයට පිවිසෙන්නේ අහමබෙන් වගේ. ඒ නිසා දීර්ඝ කාලීනව නිවේදන වෘත්තියේ නියැළෙන්න ඉඩකඩ ලැබෙන්නෙ නෑ. ඒත් මම තාමත් නිවේදිකාව කියන භූමිකාවට ආදරෙයි.
ඔබේ ළමා කාලය, හා පෞද්ගලික තොරතුරු මොනවා ද?
මගේ ගම තලංගම උතුර, කොස්වත්ත ප්‍රදේශය. මගේ පියා මධුරගේ සුමතිපාල. අම්මා නම් ජීවතුන් අතර නැහැ. මම විවාහකයි. සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහු මිලංක පිගේරා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. පුතා කළිඳු, දුව ඉෂිනි නෙහංගා. දෙදෙනාම අධ්‍යාපනය ලබන අය.
මම බාලාංශයේ ඉඳලම ගියේ කොළඹ යශෝධරා බාලිකාවට. 4 ශ්‍රේණියෙදී මට මතකයි මම මනමේ කුමාරියට ඇන්දා. මම පාසලේ හැම අතින්ම කැපී පෙනෙන ශිෂ්‍යාවක්. වයස අවුරුදු 8 දී තමා ‘හඳ මාමා‘ පුවත්පත් දැන්වීමකට පෙනී හිටියෙ. ඒ මගේ ජීවිතේ කැමරාවක් ඉදිරියට ගිය ප්‍රථම මොහොත. මාත් එක්ක තව ළමයි ගොඩක් හිටියා.
ඒ කාලේ පන්තියේ ළමයි මට කිව්වෙ ඇස්වලින් කතා කරන ගෑනු ළමයා කියල. මම ළමා කාලෙදී හරිම සතුටෙන් හිටපු ළමයෙක්.
ළමා කාලයෙන් පස්සෙ යොවුන් කාලයෙ සොඳුරු ආදර අත්දැකීම් ඇති ?
ආදර අත්දැකීම් කියන්නෙ ඒවා ගොඩක් ඒක පාර්ශ්වීය ආදර කතා. ඒ කාලෙ මම ගොඬක් පිරිමි ළමයින්ගෙ ආකර්ෂණයට ලක් වුණා. ඒ නිසා පන්ති ආදර යෝජනා එනවා. උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙ සිංහල පන්තියෙදී මට කැමති පිරිමි ළමයෙක් හිටියා. මාව යාළු කරගන්නවා කියල අභියෝග කරපු. මම පාසැල් කාලේ ආඩම්බර ළමයෙක්. වැඩිය කාවවත් ගණන් ගන්නෙ නෑ. ඒත් පන්තියෙ අන්තිම දවසෙ ඒ ළමයා මං ගැන ලියල තිබූ දෙයක් දැකල මට දුකත් හිතුණා. මම යන එන පාරවල් ගානෙ මා නිසා රස්තියාදු වුණු පිරිමි ළමයෙක් එයා. ඔය වගේ කතා ගොඩක් තිබ්බා. ඒ වුණාට මගේ හිත ඒ කාටවත් ඇදිල ගියෙ නෑ. පස්සෙ කාලෙක රංගනයට එකතු වුණාට පස්සෙ ක්ෂේත්රයේ දී ම තමා මට මගේ ආදරය මුණ ගැහෙන්නෙ. මම විවාහ වෙලා ඉන්නෙ ඒ ආදරය ජය අරගෙන. මිලංක මට මුණගැහිල කාලයක් යද්දි අපි අතරෙ දෙන්නට දෙන්න පොඩි කැමැත්තක් ඇති වුණා ප්‍රකාශ නොකළ. දවසක් මිලංක ව්‍යාපාර කටයුත්තකට සිංගප්පූරුවට යන දවසක එයා මා එක්ක පැයක් විතර කතා කරමින් හිටියා. ප්ලයිට් එක පිටත් වුණාට පස්සෙ මට කතා කරන්න වෙන්නෙ නෑ. යන්න කලින් මම ඔයාට ආදරෙයි කීවොත් ඔයා මොකද කියන්නෙ කියලා එයා මගෙන් ඇහුවා. මගේ හිතෙත් එයා ගැන කැමැත්තක් ඒ වෙද්දි ඇති වෙලා තිබුණු නිසා මම කීවා එහෙම වුණොත් මාත් ආදරේ කියාවි කියලා. එහෙම තමා ඒ ආදරය පටන් ගත්තෙ. එයා මට කෝල් කරපු වෙලාවෙ රේඩියෝ එකේ ප්‍රචාරය වුණු “ ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී” ගීතය මගෙ ආදරයේ සංකේතයක්.
ඔබ අද වන විට රංගනයෙන් ගොඩක් දුර ගිය කෙනෙක්. ඉන්දිකා කොහොමද රංගනයට පිවිසෙන්නේ?
මුල් කාලෙ නිවේදිකාවක ලෙස ආයතන කිහිපයකම කටයුතු කිරීම නිසා ක්ෂේත්රය තුළ විශාල ජනාදරයක් ගොඩනැඟී තිබුණා. එම හඳුනා ගැනීම් තුළින් වෙළෙඳ දැන්වීම් කිහිපයකට නිරූපණ ශිල්පිනියක වීමට ලැබුණා. 2001දී ප්‍රධාන චරිතයක් සඳහා ආරාධනය ලැබුණා. කුරුණෑගල රූගත කිරීම් සිදු කළේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, ගීතා කාන්ති ජයකොඩි, ප්‍රෙඩී සිල්වා වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ එකට වැඩ කරන්න ලැබීම මගෙ වාසනාවක්. අද වන විට මම ටෙලි නාට්‍ය සීයකට වැඩි ප්‍රමාණයක විවිධ චරිත රඟපා තිබෙනවා. ඒ අතරට චිත්‍රපට 6ක විතර රඟපෑව.
ඒත් එක්කම වේදිකා නාට්‍ය සමඟ එකතු වුණා. ඇත්තෙන්ම මම වේදිකාවට ගොඩක්ම ආදරෙයි. සජීවී රංගනයක යෙදීමට ලැබෙන නිසා ඒක වෙනස්ම අත්දැකීමක්. ලලිත් රාජපක්ෂ අයියා තමයි මට ඒ අවස්ථාව ලබාදෙන්නේ රාජ්‍ය සම්මානයට නිර්දේශ වුණු එම නාට්‍යය “හරිම බඩු තුනක්“. එහි මා ඉදිරිපත් කරන චරිතය ඉතාම අසීරු එකක්. එහි චරිත තුනක් ඇතුළත්. මා තුළ සැඟවුණු දක්ෂතාවන් එළියට අරන්, මාව අලුතෙන් නිර්මාණය වුණේ එහිදී.
වෙළෙඳ දැන්වීම් නිරූපණයේදී මට තිස්ස අබේසේකර මහතා යටතේ ලැබුණු ගුරුහරුකම් හරිම වටිනවා.
මොන දේ කරන්නත් පවුලෙන් ලැබෙන සහයෝගය තිබිය යුතුයි නේද?
මම රංගනයට එනවට ගොඩක්ම ආස වුණේ මගේ අම්මා. තාත්තා කැමැති වුණේ මම නිවේදිකාවක් වෙනවට. ඒත් හැම වැඩකදීම මා සමඟ ඇවිත් අම්මා මට සහයෝගය දෙනවා. කාලයක් නීතීඥවරියක වන සිහිනයක් තිබුණා. ඒත් දෛවය මාව රැගෙන ගියේ කලාව පැත්තට.
විවාහයෙන් පස්සෙ මට සහයෝගය ලබාදෙන්නෙ මගේ සැමියා. එයාට ක්ෂේත්රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
කලා ක්ෂේත්රයේ විවිධ පැති නියෝජනය කරන ඔබ ජීවිතය තුළ සාර්ථක ද?
අපි හැමදේම කරන්නෙ සතුටින් ඉන්නනේ. මේ ජීවිත කාලය තුළ මම ආස කරන විවිධ භූමිකාවන් සමඟ කටයුතු කරන්න හැකියාව ලැබුණා. මම නිසි වයසෙදී විවාහ වුණා. මට ලොකු දරුවන් ඉන්නවා. හොඳ සැමියෙකුගෙ රැකවරණය තියෙන නිසා පවුල් ජීවිතය සතුටින් ගෙවන්න පුළුවන්කම තියෙනවා.
නිවේදනය, හඬ ශිල්පය, රංගනය වගේම කලා කටයුතුවල නියැළෙන්න ලැබීමම පෙර පිනක්. රංගන කටයුතු නිසා පවුලෙ වැඩි මඟහැර ගන්නෙත් නෑ.
සමාජයේ ආදරය, ගෞරවය, පවුලේ ආදරය මේ හැමදේම මට ඕනැවටත් වැඩිය ලැබිලා තියෙනවා.
සමන්ති මීරියගල්ල
සමන්ති මීරියගල්ල