පාපන්දු පිටියේ අමරණීය පෙම්වතා ලෙස රඟමින් යුවතියන් මුලාවේ දැමූ ඉරානයේ රීසා | සිළුමිණ

පාපන්දු පිටියේ අමරණීය පෙම්වතා ලෙස රඟමින් යුවතියන් මුලාවේ දැමූ ඉරානයේ රීසා

ආජන්ටිනාවේ ලයනල් මෙසීය. ඉරානයේ රීසා පරස්ටේෂ් නොම්මර එකේ අනංගයෙකි. මෙසී පාපන්දු ලෝකයේ නිල නොලත් රජු ලෙස කීර්තියට පත්වීමට ළමා වියේ සිටම පුදුමාකාර කැපවීමක් කළ ක්‍රීඩකයෙකි. ඔහුගේ ගමන් මඟ පුරා ඇත්තේ ලේ, දහදිය සහ කඳුළු ය. ඒවා කිසිවක් නැති අතීතයකට උරුමකම් කියන රිසාගේ කතාව ඊට හාස්පසින්ම වෙනස් ය. ඔහු ඉරානයේ සාමාන්‍ය ජීවිතයක් ගත කළ තරුණයෙකි. හෙතෙම ඉරානයේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වීමට එකම හේතුව ඔහු මෙසීගේ ‘කපාපු පලුව‘ වීම නිසාය.

‘එක වගේ හත් දෙනෙක් ලෝකේ ඉන්නවා‘ යැයි කියන පැරැණි කියමන යළි යළිත් සනාථ කළ මේ අපූරු ගැළපීම මෙසීගේ ප්‍රතිරූපයට නම් කොහෙත්ම නොගැළපෙන්නාක් බව ඊයේ පෙරේදා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

වීර කාව්‍යයක් බඳු පෙම් කතාවක උරුමක්කාරයා බව ඇතැමුන් කියන මෙසීගේ ආදර කතාව ඉතිහාසගත එකකි. පාපන්දු පිටිය ජයගැනීමෙන් පසු ලොව පුරා සියලු රටවල සුරූපී තරුණියන්ගේ ප්‍රේමයට ලක් වුවත්, මෙසීගේ ආදරය කවදත් තිබුණේ එක තැනය. ඇය ඇන්ටනෙලෝ රුකුසෝ ය. එය ආරම්භ වන්නේ මෙසීට යන්තම් ආදරය ගැන සිතට දැනෙන්නට වූ අවුරුදු 9ක, 10ක තරම් කුඩා වියේ සිටය. මෙසීට ඇයගෙන් තොර ලොවක් නොතිබුණු අතර, එය විවාහය දක්වා ඇදී ගියේය. ඇන්ටනෙලෝ මෙසීට දරුවන් තිදෙනකුත් තෑගි කළාය.

මෙසීගේ රුවට හිමිකම් කියන ඔහුගේ කාබන් කොපිය වූ ඉරානයේ රීසාගේ කතාව ඒ අතින් බැලූ විට එහෙම පිටින්ම වෙනස් ය. ස්පාඤ්ඤයේ පළ වන මර්කා පුවත්පතට අනුව නම් රීසා යනු නොම්මර එකේ අනංගයෙකි. ඔහුට මෙසීට මෙන් පාපන්දු ක්‍රීඩා කරන්නට නොහැකිය. අමරණීය ප්‍රේමයක ඇති සුන්දරත්වය විඳීමට තරම් සංවේදී හෝ නිර්මල හදවතක් ද ඔහුට නැත. කෙටියෙන්ම කියන්නේ නම් රීසා යනු කුමක්දෝ වාසනාවකට ඔහුට ලැබුණු ලෝක පුජිත පාපන්දු තරුවගේ රූපය නිසාම ලොව පුරා රූමත් තරුණියන්ගේ ඇල්මට බැල්මට ලක් වූ බවය. එය ඔහු ඔහුටම ආවේනික විදිහට පාවිච්චි කරමින් නොම්මර එකේ අනංගයකු වී ඇති බවය.

ඊයේ පෙරේදා අනාවරණය වූ ආකාරයට මෙසීගේ රූපය නිසාම මේ ඉරාන තරුණයා ලොව පුරා රටවල් රැසක සුරූපි කාන්තාවන් ඇසුරු කරමින් සිටින බවය. ඉන් නොනැවතී කාන්තාවන් 23 දෙනකු සමඟ යහන්ගත වෙමින් කෙළිලොල් දිවිපෙවතක් ගත කරමින් සිටින බවය. ස්පාඤ්ඤ පුවත්පතට අනුව ඔහු සිය සමනල ජීවිතය ගත කර ඇත්තේ තමා ආජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව බව පවසමිනි. එසේ කියමින් කාන්තාවන් 23 දෙනකුම සිය යහනට කැඳවා ගැනීමට රීසා කටයුතු කර ඇතැයි ද එහි සඳහන් වේ.

සමාජ මාධ්‍යජාලා අතර සිය ජනප්‍රියත්වය ඉහළ දමා ගනිමින් ලොව පුරා රසික රසිකාවින් විශාල ප්‍රමාණයක් ඇසුරු කරන බව කියන රීසාට ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පමණක් සිටින රසික රසිකාවියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 7කට වැඩිය. ඔහුගේ ජනප්‍රියත්වයේ තරම ඉන් සිතාගත හැකිය. මේ පිරිස අතර වැඩිපුරම ඇත්තේ රසිකාවියන් වන්නට ඇති බව නම් සහතිකය. ඔහුගේ කෙළිලොල් කම ඉහවහා යන්නට ඇත්තේ එබැවින් විය යුතුය.

රීසා පරස්ටේෂ් මුලින්ම ලොව පුරා අවධානයට ලක් වූයේ 2017 වසරේදීය. මේ ජනප්‍රියත්වය ලොව පුරා පැතිරී ගියේ මෙසී එවකට ක්‍රීඩා කිරීමේදී පලඳිනු ලබන ජර්සියක් හැඳ ඉරානයේ ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙනි. ඔහු සමඟ එකට සිට ඡායාරූප ගැනීමට ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් ඔහු වටා එක්රොක් වූ අතර. අවසානයේදී එය පාලනය කිරීමට පොලිසිය කැඳවීමට පවා සිදු වී තිබිණි.

රැවුල සහ හිසකේ මෝස්තරය වෙනස් කරමින් වරින් වර මෙසී සිය රුව අලුත් කරද්දී රීසා ද එය අනුගමනය කළේය. එය ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ දැමීමට සමත් කාරණාවක් බවටත් පත් විය. ඒවා සියල්ල ඔහුගේ වාසනාවට හේතු වන්නට ඇත.

රීසාට වාසනාවත්, මෙසීට අවාසනාවත් ගෙන දුන් මේ ‘කපාපු පලුවේ‘ සිදුවීම වාර්තා වීමෙන් පසු රීසා එය ප්‍රතික්ෂේප කළ බවත් සඳහන් කළ යුතුය. ඔහු කියන්නේ තමා මෙසීගේ රුව පාවිච්චි කරමින් කාන්තාවන් 23 දෙනකු නිදි යහනට කැඳවා ගත්තේ නම් එක් කාන්තාවක් හෝ මේ බව පැමිණිලි කළ යුතුව ඇති බවය.

‘මට මගේ නම පිරිසුදු කරගන්න ඕනා. මේක අමූලික බොරුවක්. මගේ පවුලේ අයත් මේ ගැන වද වෙනවා. ඇත්තම කාරණාව නම් මුස්ලිම් රටවල මේ වගේ ආරංචිවලට ඉක්මනට තටු ලැබෙන බවයි. ඒත් ඇත්ත ඒක නෙවෙයි.‘

 

  ෆවුස් මොහොමඩ්

 

Comments