ආදරයයි අනුකම්පාවයි සූරිය සුළඟයි | Page 2 | සිළුමිණ

ආදරයයි අනුකම්පාවයි සූරිය සුළඟයි

සූරිය සුළඟ චිත්‍රපටයේ සමාරම්භය සනිටුහන් කරන මුහුරත් උලෙළ පසුගිය දා උත්සවාකාර‍ෙයන් පැවැත්විණ. මෙම උත්සව අවස්ථාව සඳහා ආචාර්ය නන්දා මාලනී, ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක, ප්‍රවීණ නිළි ‍‍සේමිණි ඉද්දමල්ගොඩ, චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ, නිෂ්පාදක චම්මික ද සිල්වා, සහය අධ්‍යක්ෂක ඩොනල් ජයන්ත, සම නිෂ්පාදක චමින්ද ගමගේ සහ සෙසු නළුනිළියන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.

මෙහිදී චිත්‍රපටය සඳහා සිය ආශිර්වාදය එක් කරමින් ආචාර්ය නන්දා මාලනිය සඳහන් කර සිටියේ සූරිය සුළඟ චිත්‍රපටය තරුණ තරුණියන්ගේ නොමද ආකර්ෂණය දිනාගත හැකි සිනමාපටයක් බවට පත් වනු ඇති බවයි.

ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘සූරිය සුළඟ’ සිනමා නිර්මාණයේ කතා පුවත සැකැවින් ‍මෙසේය.

සිදත් හා තරූෂි සිය විවාහ මංගල්‍යයට සූදානම් වෙමින් සිටිති. තරුෂිගේ පියා ප්‍රභාත් දේශපාලන සම්බන්ධතා ඇති ඉතාම බලවත් චරිතයකි. ඔහු සිය දියණියගේ කැමැත්තට ඉඩ දුන්නද මෙම විවාහයට කිසිසේත් කැමැත්තක් නැත. එහෙත් තම අකමැත්ත සඟවා ඔහු ඊට ඉඩ දෙයි.

තරූෂි හා සිදත් විවාහයට පෙර ගන්නා ඡායාරූප ගැනීමට සහභාගිවේ. එදින සිදත්ගේ උපන් දිනයයි. ඡායාරූප ගැනීමෙන් පසු ඔහු සිය සේවා ස්ථානය කරා පැමිණෙයි. තනිකඩයෙක් වශයෙන් ගෙවන අවසන් උපන් දිනය වෙනුවෙන් සිදත් සිය මිතුරන් සමඟ රාත්‍රී සාදයකට එක්වේ. එම සාදයේදි සිදත්ගේ හොඳම මිතුරා වූ කලණට අහම්බෙන් රාධා නමැති තරුණිය හමුවේ. බීමතින් සිටින කළණ රාධා සමඟ මිතුදමක පැටලෙන අතර එහිදී දැනගන්නට ලැබෙන්නේ රාධා කිසියම් ගැටලුවකට මැදි වී සිටින බවයි. ඇය, කොළඹ ප්‍රදේශය නොදන්නාකමින් අතරමං වී සිටින අතර, ඇය කළණගෙන් එදින රාත්‍රිය ගතකිරීමට සුරක්ෂිත තැනක් සොයාදෙන ලෙස ඉල්ලා සිටියි. මේ වනවිට දැඩිලෙස මත්වී සිටින කළණ ඇයට සිදත්ගේ නිවසේ ගතකිරීමට අවස්ථාව සලසන බවට පොරොන්දු වේ. සිදත්ට සිය මිතුරාගේ ඉල්ලීමට ඉඩදීමට සිදුවේ.

රජයේ අමාත්‍යවරයෙකුගේ අනියම් බිරිඳක් වූ අනූෂා ජීවත් වන්නේද සිදත් වෙසෙන තට්ටු නිවාසය ඉදිරියේ ඇති තට්ටු නිවාසයකය. සිදත් කෙරේ ඇය තුළ ඇත්තේ අමනාපයකි. ඒ නිසා ඇයට සිදත්ව පෙනෙන්නේ පසමිතුරෙක් ලෙසය. එදින සිදත්ගේ නිවසට රාධාව රැගෙන යන ආකාරය ඇයත්, අමාත්‍යවරයාත් දකිති. සිදත්ගේ නිවසට ගිය රාධා යම් කිසි අඩි ශබ්දයක් ඇසී, ප්‍රධාන දොරටුවේ කාචයෙන් පිටත බලද්දී ඇය දකින්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. මෙය දුටු වහාම ඇය තිගැස්සි බියෙන් වෙව්ලන්නට පටන් ගනී. ඒ සමඟම ඇයට රෝගීව සිහිසුන්ව දඟලයි. නාන කාමරයෙන් එළියට එන සිදත් මෙය දැක කලබලයට පත් වී ඇයට කතා කරන්නට උත්සහ ගනී. නමුත් ඇයට කතා කරගන්නට බැරි තරම් රෝගී තත්ත්වය උත්සන්න වී තිබේ. කලබලයට පත්වෙන සිදත් විසින් රාධා වහාම රෝහලකට රැගෙන යන අතර, රෝහලට ඇතුළත් කරද්දී සිදත් තම ආරක්ෂාව සඳහා භාවිත කරන්නේ ව්‍යාජ නමකි.

රාධාට එම අසනීපය සම්බන්ධයෙන් ඉතිහාසයක් ඇති බව සිදත් දැනගන්නේ වෛද්‍යවරයාගෙනි. සිදත් පසුදින උදෑසන කළණට ඇමතුමක් ලබා දී පවසන්නේ ඔහුගේ මිතුරිය වන රාධා රෝහල් ගත කළ බවයි. එහිදි කළණ පවසන්නේ සිදත් නොසිතූ දෙයකි. එනම් පෙරදා හමු වූ තරුණිය කළණ නොදන්නා බවත්, ඇයව මුල් වරට ඔහුට හමු වූයේ සිදත්ගේ සාදයේ දී බවත්ය. ඒ නිසා ඒ ගැන කිසිවෙකුට හෙළි නොකර කාර්යාලයට පැමිණෙන ලෙස කළණ සිදත්ට පවසයි. ඇමතුම විසන්ධි වූ වහාම සිදත්ගේ නිවසේ ප‍්‍රධාන දොරටුව විවෘත කරමින් පැමිණෙන පිරිසක් සිදත්ගේ හිසට ගෝනියක් දමා ඔහුව පැහැර ගනු ලබයි. මේ අතර නුගේගොඩ ගුවන් පාලම මතදී රජයේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරයකුගේ ප්‍රභූ රථයක් පුපුරා ගිය බව සියලුම නාලිකාවල විකාශය වේ. එම පුපුරා ගිය වාහනයේ තිබී හමුවෙන්නේ සිදත් විසින් නවාතැන් ලබාදුන් රාධාගේ හැඳුනුම්පතේ පිලිස්සුණ කොටසකි. එතැන් පටන් සිනමා පටය දිගහැරෙන්නේ කුතුහලය දනවන රහස් පරීක්ෂක හා ත්‍රාස ජනක අදියරයකටය. තුන්වැනි ශ්‍රේණියේ කළුපටි ධාරියෙක් වූ සිදත් තමාව රැගෙන ආ පුද්ගලයන් හා සටන් කර එතැනින් පලා යයි. එතැන් පටන් ඔහු සොයාගෙන යන්නේ සිදු වූ මෙම අහඹු සිදු වීම් ජාලයේ පසුබිමයි. එය ඉතාම සූක්‍ෂම ක්‍රියාකාරකම් ජාලයකින් පිරි සියුම් හා තියුණු සැඟවුණු සිද්ධි දාමයකි. එම කතා පුවත සිදත් විසින් හෙළිදරව් කරන ආකාරයත් තම නිර්දෝෂි භාවය ලොවට පෙන්නුම් කරන්නට ඔහු ගන්නා වෙහෙසත් රාධා යනු කවුරුන්ද යන වගත්, රාධාට සිදු වූයේ කුමක්ද, පසුබිම් කතාව කුමක්ද යන්නත් එමඟින් පෙන්නුම් කරයි. එය සූර්ය සුළඟ සේ විහිදෙන රශ්මියෙන්ද, සඳ එළිය සේ සුසැදි සුන්දරත්වයෙන්ද, මානව දයාවෙන් පිරි, ආදරණීය කතාවක ලෙස සිංහල සිනමාවේ මෙතෙක් විවරණ නොකළ අපූර්ව රූපමය පෙළහරකින් යුතුව නුදුරේදීම ප්‍රේක්ෂකයා වෙක තිළිණ කරනු ඇත.

මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ප්‍රවීණ කැමරා ශිල්පී රුවන් කොස්තා ගෙනි. තිර රචනය වජිර කස්තුරි සහ ප්‍රියන්ත කොළඹ‍ගේ වන අතර භාතිය සන්තුස් සංගීත අධ්‍යක්ෂණයෙන්ද, මේඝ කොළඹගේ වර්ණ සංයෝජනය හා සංස්කරණයෙන්ද, නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් විජේසිරි සේනාධීර, කලා අධ්‍යක්ෂණයෙන් ලෙස්ලි වීමලවීර, වේෂ නිරූපණයෙන් ඉන්දික උාදාර සහ චාමර නිරෝෂන්, ඇඳුම් නිර්මාණකරණයෙන් ලසන්ත උඩුකුඹුර, සූරිය සුළඟ චිත්‍රපටයේ ගීතරචනය චමින්ද ගමගේ හා ප්‍රියන්ත කොළඹගේ විසිනි.

සූරිය සුළඟ සිනමා පටය සඳහා විහඟ සූරියආරච්චි (සිදත්), නිහාරි පෙරේරා (තරුෂි), සජිනි රෝයි (රාධා), සනත් ගුණතිලක (ප්‍රභාත් මැණික්දිවෙල), බිමල් ජයකොඩි (ජයසිරි), ෂාම් ප්‍රනාන්දු (නිහාල්), සේමිණි ඉද්දමල්ගොඩ (අනුෂා), අෂාන් ඩයස් (සාලිය ඇමැති), ඉසුරු ලොකුහෙට්ටිආරච්චි (ලලිත්), මුතූ තරංගා (අමා), ප්‍රියන්ත රත්නායක (රෝහිත්), හර්ෂිකා රත්නායක (නන්දිතා), මවුලි දුෂ්මන්ත (කලණ), අතුල ජයසිංහ (තිලකේ), ටේඩී ජයසිංහ (ජස්ටින්), කීර්ති රත්නායක,සමාධි පතිරණ, චින්තක වාස්, සඳුන් බණ්ඩාර, ප්‍රින්සි ප්‍රනාන්දු, යෂෝතා රාජක්‍රිෂිණා යන නළු නිළියන් රංගනයෙන් දායක වෙති.

  රසික කොටුදුරගේ

Comments