ඉන්දීය - ශ්‍රී ලංකා බැඳීම් මෑත කාලීනව ශක්තිමත් වෙලා | Page 4 | සිළුමිණ

ඉන්දීය - ශ්‍රී ලංකා බැඳීම් මෑත කාලීනව ශක්තිමත් වෙලා

ඉන්දීය - ශ්‍රී ලංකා බැඳීම් හි මෑත කාලීන වර්ධනයන් දෙරටේ මිත්‍රත්වය සහ සමස්ත සහයෝගීතාවය ශක්තිමත් කර ඇතැයි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා පවසයි. 
 
නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මේ බව ඊයේ(07) කියා සිටියේ කොළඹ දී ඉදිකිරීම්, විදුලි සහ බලශක්ති ප්‍රදර්ශනය - 2023 විවෘත කළ අවස්ථාවේ දී ය.  
 
ප්‍රදර්ශනය සදහා  50කට ආසන්න ඉන්දියානු සමාගම් මහත් උනන්දුවකින් සහභාගී වේ.
 
පසුගිය වසර තුන තුළ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සමීප සබඳතා මනාව විදහා දැක්වුණි. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ අභියෝග, ආර්ථික අර්බුදය සහ දේශපාලන කැළඹීම්වලට මුහුණ දුන් අවස්ථාවක  ඉන්දීය රජයේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ අංශයන්ට ස්ථිරසාරව සහයෝගය ලබා දුන් බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එහි දී පැවසීය.
 
අමෙරිකානු ඩොලර් බිලියන 4ක් වන ඉන්දියාවේ මූල්‍ය සහ මානුෂීය සහයෝගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත සමස්ත අරමුදල් පහසුකම ද ඉක්මවයි. මෙම වසරේ ජනවාරි මාසයේ දී IMF ක්‍රමවේදය ආරම්භ කිරීම සඳහා මූල්‍ය සහතිකය ලබා දුන් ප්‍රථම ණයහිමි රාජ්‍යය වූයේ ද ඉන්දියාවයි. 
 
2022 වසරේ දී ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ සහකරු වූයේ ඉන්දියාව යි. ඉන්දියාව වෙත යැවෙන ශ්‍රී ලංකාවේ අපනයන  ඉහළ ගොස් තිබේ. වෙළඳ පියවීම් සඳහා ඉන්දියානු රුපියල භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවදුරටත් උපකාරී වේ. මේවා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය සහ වර්ධනයට ඉවහල් වන සවිමත් පියවරවන බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. 
 
සංචාරකයන් 100,000කට අධික සංඛ්‍යාවක් සමඟින් ඉන්දියාව නැවතත් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට බවට පත් වී ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයින් පස් - හය දෙනෙකුටම කෙනෙක් ඉන්දියානුවෙකි. 
 
චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් නැවතත් ඇරඹීම දෙරට ජනතාව වඩා සමීප කිරීම සඳහා ගත් තවත් පියවරකි. දෙරට අතර බෝට්ටු සේවා මෙය තවදුරටත් ඉහළ නංවනු ඇත. 1990 සුවසැරිය ගිලන්රථ සේවාව, ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය, පාසල් ප්‍රතිසංස්කරණය කිරීම, රෝහල් ඉදිකිරීම සහ වෙනත් සමාජ-ආර්ථික ව්‍යාපෘති වැනි ප්‍රයෝජනවත් පොදු භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබා දුන් සංවර්ධන සහයෝගීතාවයට මෙය රුකුලක් වනු ඇතැයි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය. 
 

Comments