සාරභූමි ලංකා බයෝ ප්‍රඩක්ට්ස් නවීන තාක්ෂණය මුසු කළ ක්ෂුද්‍ර ජීවී විප්ලවයක් | Page 2 | සිළුමිණ

සාරභූමි ලංකා බයෝ ප්‍රඩක්ට්ස් නවීන තාක්ෂණය මුසු කළ ක්ෂුද්‍ර ජීවී විප්ලවයක්

අපගේ කාබනික නිෂ්පාදන මිල දී ගැනීමට විමසන්න. 0740 608 037

රිචඩ් බහාර් යනු, ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි කීර්තිමත් නිලධාරියකු වූ කර්නල් බහාර් ගේ පුතණුවන් ය. බොහෝ කලක් එංගලන්තයේ සහ ඇමෙරිකාවේ ඉගෙන, උපාධි කිහිපයක් ලබා එහිම රැකියාවෙහි නියුතු ව සිට, කෘෂි ආර්ථිකය සහ කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥ දැනුමක් ලද ප්‍රාමාණිකයෙකි. ඇමෙරිකානු සේවයෙන් විශ්‍රාම ලබා සිටින ඔහු, දැන් සිය මවු රට මුහුණ පා සිටින කෘෂිකාර්මික ගැටලු සඳහා විසඳුම් සෙවීමට සිය පූර්ණ කාලය වැය කරයි.

සාරභූමි ලංකා බයෝ ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමේ බිහිවීම ද ඔහු ගේ එම උත්සාහයේ ප්‍රතිඵලයකි. 

2015 වසරේ පර්යේෂණ මට්ටමින් ආරම්භ කළ එම ආයතනය, පුරා වසර දෙකක් ම සිදු කළේ, දශක ගණනාවක් රසායනික පොහොර භාවිතයෙන් විනාශව ගිය ශ්‍රී ලංකා මහපොළොව යළි සුවපත් කිරීමට හැකි 100%ක් කාබනික පොහොර නිෂ්පාදනය සහ යෙදවුම් නිෂ්පාදනය කිරීම පිළිබඳ පර්යේෂණ හෙවත් Research and Development කාර්යයන් වෙනුවෙනි.

ඒ පිළිබඳ, සාරභූමි ලංකා බයෝ ප්‍රඩක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති, රිචඩ් බහාර් මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"රසායනික පොහොර භාවිතය මේ රටට මහා ව්‍යසනයක් ඇති කර තිබෙනවා. දියුණු රටවල් කෘෂි කර්මාන්තයේ තමන්ට වැරැදුණු තැන් හදාගෙන ජනතාවට හිතකර කෘෂිකර්මාන්තයක් සිය රටවල ගොඩනඟා ගෙන තිබෙනවා.

විශේෂයෙන්, වාණිජ කෘෂි කර්මාන්තයේ සිදු වන අධික රසායනික පොහොර භාවිතය නිසා පාරිසරික ගැටලු, සෞඛ්‍ය ගැටලු සහ දේශගුණික විපර්යාස රැසකට ලෝකයේ බොහෝ රටවලට මුහුණ දෙන්නට සිදු ව තිබෙනවා. මේ ප්‍රශ්නයේ බැරෑරුම්කම දියුණු රටවල් තේරුම්ගෙන තිබෙනවා. ඒ වුවමනාව ලංකාවට තවම එතරම් දැනී නැහැ. ඉතින්, දීර්ඝ කාලයක් ඇමෙරිකාවේ කෘෂි ආර්ථිකය සම්බන්ධ රැකියාවල නියුතුව සිටි කෙනෙක් හැටියට මගේ අත්දැකීම් මං උපන් රටට හඳුන්වා දෙන්න මේ තමයි වෙලාව. මේක දිගුකාලීන ප්‍රතිඵල ගෙන දෙන ක්‍රමවේදයක්.

ඇමෙරිකාවේ වගේම චීනය, වියට්නාමය, පිලිපීනය වගේ රටවල් ගණනාවක මම විශේෂ කෘෂි ව්‍යාපෘති බැලුවා. ඒවායේ දී නවීන තාක්ෂණය යොදාගෙන හොඳ විසඳුම් දෙන්න පුළුවන් වුණා.

ලංකාවට ඇවිත් බලන කොට මට තේරුණා, මගේ රටේ මේ නවීන කෘෂි කර්මාන්තය සහ කෘෂි ආර්ථිකය පිළිබඳ දැනුමේ විශාල හිඩැසක් ඇති බව. මගේ දැනුම සහ නවීන තාක්ෂණය එක් කළා. මගේ වෘත්තීය පසුබිම තිබෙන්නේ කෘෂිකර්මය, කෘෂි ආර්ථිකය සහ සංවර්ධන කියන අංශවලින්.

ශ්‍රී ලංකාවේ අපි විවෘත මනසකින් මේ පුළුල් ගැටලුව දිහා බලන්න ඕනේ. නවීන තාක්ෂණය යොදා ගත්තද, පැරැණි කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට නව තාක්ෂණය එකතු කරගෙනයි, රටක් විදියට ඉස්සරහට යන්නට ඕනේ. බොහෝ කාලයක් මම ඇමෙරිකාවේ හිටියට මගේ රටේ පැරැණි කෘෂිකර්මාන්තය පිළිබඳ බොහෝ පර්යේෂණ කළා. එහි අගය මං හොඳටම දන්නවා. ලංකාවේ ගොවි මහත්වරු ආකල්පමය වශයෙන් වෙනස් වෙන්නට ඕනේ. අඩුම තරමේ කන්න කිහිපයක්වත් මේ කාබනික කෘෂිකර්මාන්තයට ගියොත් මේ විනාශ වූ පස සහ මහපොළොව යළි ක්ෂුද්‍ර ජීවීන් බහුල සාර්ථක පසක් බවට පත් කර ගන්නට පුළුවන්. දීර්ඝකාලීන ප්‍රතිඵල ගන්නට නම් මෙය සිදු විය යුතු ම දෙයක්. එවිට ගොවීන්ට මූලික බිම් සැකසුම සඳහා යන මූලික වියදම එහෙම පිටින්ම වාගේ අඩු කර ගන්නට පුළුවන්. මේ තත්ත්වය තේරුම් ගත් සැලකිය යුතු ගොවීන් පිරිසක් දැනටමත් අප වටා සිටිනවා. එය සතුටක්.

ඒ වගේම, මම 2015 වසරේදී ආචාර්ය ලංකා උඳුගොඩ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) සමඟින් සමාගම ආරම්භ කළ අතර, තවත් කොටස් හිමියන් දෙදෙනකු මෑතකදී එක් වුණා. ඒ, චමින්ද අබේගුණසේකර සහ ආචාර්ය ඉෂාන්ත සිරිබද්දන. අපි හැමෝම එකතු වෙලා මේ උත්සාහ දරන්නේ අපේ දැනුමෙන් මේ මහ පොළවේ පස සුවපත් කරන්නට යි...."

සාරභූමි ලංකා ජෛව නිෂ්පාදන පිළිබඳ එම ආයතනයේ ව්‍යාපාර සංවර්ධන සහ විශේෂ ව්‍යාපෘති කළමනාකාරිණී, කල්පනී මනතුංග මහත්මිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"අපගේ නිෂ්පාදන පෙළ ජෛව පොහොර සහ ජෛව පාලන දියර ලෙස ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. පොහොර වර්ග හැරුණු කොට, දුගඳ පාලන දියරය හෙවත්, Odour Controlling Formulation කියන්නේ, කුකුළු ගොවිපළේ, ගව ගාලේ, ගෙදර සින්ක් එකේ, අපජලය ගලා යන කාණු පද්ධතිය වැනි දුර්ගන්ධය හමන ඕනෑම තැනක, දුර්ගන්ධය ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර දමන විෂබීජ නාශක ජෛව කාබනික දියරයක්.

ඊට අමතරව කොම්පෝස්ට් සෑදීම වේගවත් කරන රැපිඩ් කොම්පෝස්ටින් ෆෝර්මියුලේෂන් නම් තවත් ජෛව නිෂ්පාදනයක් අප හඳුන්වා දී තිබෙනවා.

අපගේ ප්‍රධාන නිෂ්පාදනය පෙළ යටතේ, Bio Fertilizer ඝන හා දියර වශයෙන් එනම්, Bio Compost සහ Bio Liquid ක් වශයෙන් දෙයාකාර ව නිෂ්පාදනය කෙරෙනවා. එම ජෛව දියර පොහොර තේ, රබර්, වී සහ එළවළු යන ඕනෑම බෝගයක් සඳහා සුදුසුයි.

ඊළඟට, Bio Controlling Formulation යටතේ ප්‍රධාන ලෙස නිෂ්පාදනය වන්නේ ජෛව පළිබෝධ නාශක, ජෛව දිලීර නාශක සහ ජෛව නෙමටෝඩා නාශක දියර වර්ග යි.

ඒ වගේම, සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා 'සේනා blaster' වැනි විශේෂිත පළිබෝධ නාශකත් අප හඳුන්වා දී තිබෙනවා. මේවායේ තිබෙන විශේෂත්වය තමයි, ඒ අදාළ පළිබෝධකයා පමණක් ඉලක්ක කොට ගෙන මෙම පළිබෝධ නාශක ක්‍රියාත්මක වීම.

ලංකාවේ හුඟක් අය කාබනික පොහොර භාවිත කළාට, කාබනික විදියට ම පළිබෝධකයින් විනාශ කිරීම කරන්නේ නැහැ. රසායනික බෙහෙත් ගහපුවා ම එයින් හොඳ නරක කෘමීන් සහ ක්ෂුද්‍ර ජීවීන් දෙපාර්ශ්වය ම මිය යනවා.

නමුත් ලංකාවේ කාබනික විදියට ම සහතික කරපු එකම ජෛව පළිබෝධ නාශක සහ ජෛව දිලීර නාශක තිබෙන්නේ සාරභූමි නිෂ්පාදන යටතේ පමණයි. කාබනික විදියට වගා කරන කෙනෙක් වුණත් මේ විදියට පළිබෝධකයන් විනාශ කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යෙදුවොත්, එතැනින් ම ඒ කාබනික දම්වැල කැඩෙනවා. එවැනි ආහාර පිටරට යවන කෙනකුට, අවසානයේ කාබනික සහතිකය ලබා ගන්නටත් බැහැ. ඒ ගැන වැඩි දෙනෙක් හිතන්නේ නැහැ.

සාරභූමි ඝන පොහොර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් යොදාගනු ලබන්නේ Absolute Tea Refuse (ATR) / Spent Leaf, ගිණිසීරියා, ඇකේෂියා වැනි නයිට්‍රජන් බහුල කොළ අතු වර්ග, බයෝ චා/ කර දහයියා සහ එප්පාවල රොක් පොස්පේට් හෙවත් ERP යන වර්ග කිහිපය සහ තවත් ද්‍රව්‍ය ඊට ඇතුළත්.

ඊට අමතරව, ඝන පොහොර දිරා පත් වීම වේගවත් කිරීමට අපිම හදන Rapid Composting Formulation එක සහ පාංශු හිතකර ක්ෂුද්‍ර ජීවීන් එකතුවක් යොදනවා. දැනටමත් වායුගෝලයේ තිබෙන නයිට්‍රජන් සහ පසේ තිබෙන පොස්පරස් සහ පොටෑසියම් ශාකයට උරා ගැනීමේ දී විශාල වැඩ කොටසක් සිදු කරන විශේෂ ක්ෂුද්‍ර ජීවීන් වර්ග ගණනාවක් ද ඊට එක් කරනු ලබනවා.

අප ජෛව කොම්පෝස්ට් නිෂ්පාදනයේ දී කිසි විටෙකත් කුකුළු පොහොර, ගොම පොහොර හෝ එළු පොහොර යොදන්නේ නැහැ. මොකද, මේ සතුන්ට ෆාම්වල දී විවිධ එන්නත් සහ හෝමෝන වර්ග ශරීරගත කරනවා. ඒ දේවල්වල තිබෙන කෙමිකල් ඒ සතුන්ගේ මළ අපද්‍රව්‍යවලටත් එකතු වනවා. එවිට ඒවා මිශ්‍ර වූ කොම්පෝස්ට්, control union එකේදි කාබනික අමුද්‍රව්‍ය ලෙස අනුමත කරන්නේ නැහැ. අප control union සහතික ලත් 100%ක් කාබනික නිෂ්පාදන සමාගමක් නිසා, ඒ දේවල් කිසි විටෙකත් භාවිත කරන්නේ නැහැ. 

අනික අප දන්නේ නැහැ, ඒ සතුන් ගන්නා තණකොළ වර්ගවල දිලීර ආසාදන තිබුණාද කියා. එම තණකොළවල තිබූ ඕනෑම දිලීර ආසාදනයක් ගොමවලටත් එන ප්‍රවණතාව වැඩියි. ඒ ගොම මිශ්‍රණය අප තව පොහොර වර්ගයකට යෙදුවොත් රෝග ව්‍යාප්තිය සිදු වන ප්‍රවණතාව වැඩියි. ඒ නිසා අප එවැනි අවදානමක් ගන්නෙ නැහැ. ඒ නිසා තමයි අප ප්‍රධාන මාධ්‍යය ලෙස ATR භාවිත කරන්නේ.

එපමණක් නෙවෙයි. ඝන පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ගිණිසීරියා ඇකේෂියා වැනි නයිට්‍රිජන් බහුල කොළ වර්ග අපිට කපා ගෙනැවිත් දෙන ග්‍රාමීය සැපයුම්කරුවන් සිටිනවා. නමුත් අප එම කොළ වර්ගවල සාම්පල කන්ට්‍රෝල් යුනියන් එකේ සහතිකය සඳහා යවනවා. ඒ එක සාම්පලයක හෝ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී තිබෙනවා නම් එම කොළ වර්ග අප මිශ්‍ර කරන්නේ නැහැ. සෑම විටම කන්ට්‍රෝල් යුනියන් අනුමැතිය ලද අමුද්‍රව්‍ය පමණයි, අප සැපයුම්කරුවන්ගෙන් ලබා ගන්නේ සහ පොහොරවලට මිශ්‍ර කරන්නේ.

කාබනික පොහොරක කාබන් සහ නයිට්‍රජන් අනුපාතය තුනට එකක් තිබිය යුතුයි. අප ලබා ගන්නා අමුද්‍රව්‍යවලින් කාබන් සහ නයිට්‍රජන් අනුපාතය තුනට එකක් ලෙස සපුරා ගත හැකි නිසා, කුකුළු හෝ ගොම පොහොර දැමීමක් අත්‍යවශ්‍ය වන්නේ නැහැ.

වෙළෙඳපොළේ ඇති අනෙකුත් කාබනික පොහොරවලින් සාරභූමි කොම්පෝස්ට් වෙනස් වන විශේෂත්වය තමයි, සාමාන්‍යයෙන් කොම්පෝස්ට් කියන්නේ දිරා පත් වූ ශාක හා සත්ත්ව කොටස්වලට. නමුත් අපි හදන ජෛව කොම්පෝස්ට්වල ඒ දෙකට අමතරව, පසට හිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ග ගණනාවක් ඇතුළත් වනවා. ඔවුන් තමයි පසේ තිබෙන පෝෂ්‍ය පදාර්ථ ගහට උරා ගන්නා ආකාරයට පරිවර්තනය කිරීමේ කාර්යය සිදු කරන්නේ. ඒ පරිවර්තනීය කාර්යය ඉටු කරන ක්ෂුද්‍ර ජීවීන් සහ පස සාරවත් කරන ක්ෂුද්‍ර ජීවීන් කියන දෙවර්ගය ම ඉන්න එක තමයි, අපේ ජෛව පොහොරවල සුවිශේෂී ගුණය.

අප මේ ක්ෂුද්‍ර ජීවීන් සොයා ගෙන තිබෙන්නේ හොඳම ක්ෂුද්‍රජීවී ඝනත්වයක් සහිත සිංහරාජය වැනි වැසි වනාන්තරවලින්. අවුරුදු දෙකක්ම අප ආයතනය research කළේ ඒ වෙනුවෙන්. හිතකර අහිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ගීකරණය කොට, අපිට අවශ්‍ය අය පමණක් වෙන් කරගෙන තමයි, රසායනාගාර තුළ ගුණනය කරගෙන තිබෙන්නේ. එවැනි හිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ග 37ක් අප සතුයි.

ඒ වගේම, දියර පොහොර සහ ජෛව පාලන දියර කියන වර්ගීකරණයේ 90%ක් ම තිබෙන්නේ ජලය, එවැනි ක්ෂුද්‍ර ජීවීන් සහ ක්ෂුද්‍ර ජීවීන් ගුණය කරවන පෝෂණ මාධ්‍යයක්.

ඔය කාරණා සියල්ලට අමතරව, අප නිෂ්පාදනය කරන පොහොර , නිසි ආකාරයෙන් ඉසීම සඳහාත් පළපුරුදු සේවකයන් ලබා දෙනවා. ලංකාවේ වතු කර්මාන්තය ගත් විට විශාල කම්කරු හිඟතාවක් පැන නැඟී තිබෙනවා. වී, තේ සහ රබර් වතු මුහුණ දී තිබෙන මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඩ්‍රෝන තාක්ෂණය පාවිච්චි කර අපගේ ජෛව දියර පොහොර ස්ප්‍රේ කරන විශේෂ පුහුණු කණ්ඩායමක් සිටිනවා. එය ක්‍රියාත්මක වන්නේ, අපගේ Total Solution Provider සේවාව යටතේ යි..."

Comments