සඳු අපලය දුරු කරන වත්පිළිවෙත් | සිළුමිණ

සඳු අපලය දුරු කරන වත්පිළිවෙත්

ග්‍රහ අපලවලින් ගැලවෙන හැටි

 ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගස්ති ප්‍රනාන්දු

ඔබ වෙත මෙතෙක් ඉදිරිපත් කළ නවග්‍රහයන්ගෙන් ඇතිවන අපල උපද්‍රවයන් සහ එයින් වැළකී ජීවිතය ගෙන යෑමට කළ යුතු වත්පිළිවෙත් ගැන ඔබ දැනුවත් කළ ලිපි පෙළක අවසාන ලිපිය ලෙස ග්‍රහ මණ්ඩලයේ මාතාව වශයෙන් සැලකුම් ලබන චන්ද්‍රයා හෙවත් සඳු මවු වශයෙන් සැලකුම් ලැබුවද අපගේ ජීවිත සඳහා බලපෑමක් ඇති කරන ග්‍රහයකු වශයෙන් ජ්‍යොතිෂයේ දක්වා ඇත.

සඳු සුරූපී වුවද කාන්තාවක් වන නිසා එක් එක් අවස්ථාවලදී එකිනෙකට වෙනස් එනම් පූර්ණ චන්ද්‍රයා ඇති දිනක ආලෝකය උපරීමයෙන් ද මාසේ පෝය දිනයට අධික කළුවරක් ද ආදී වශයෙන් දක්වන්නා සේම ජීවිතවලට ද එම ආලෝකය සහ අඳුරේ වෙනස බල පවත්වන, ගෙදර ද මව තරහ කරගතහොත් සිදුවන දෙයද අමුතුවෙන් කිව යුතු නැත.

සමස්තයක් වශයෙන් ගත් කල සඳුගේ මහ දශාව අවුරුදු දහයක් වශයෙන් දක්වා ඇත. එසේම අනෙකුත් සෑම ග්‍රහයකුටම අයත් මහ දශාවේ අන්තර් දශා කාලයක් ද සඳුට අයත්ව ඇත. අප ශරීරයේ සඳුට අයත් කොටස් ලෙසට යටිබඩ ප්‍රදේශය, පුරුෂයන්ගේ වම් ඇස, කාන්තාවන්ගේ දකුණු ඇසද මීට අමතරව ආමාශය, ශරීරයේ මේදය යන කොටස්වලට අධිපතිත්වය දරනවා ඇත.

සඳු හෙවත් චන්ද්‍රයා සිසිල් තෙත් සහිත ග්‍රහයකු වන බැවින් එම මහ දශාවේ හෝ අන්තර් දශාවේ යම් දරුවකුගේ උප්පත්තිය සිදුවූයේ නම් ඔහුට හෝ ඇයට නිතර සෙම් රෝගවලට ගොදුරු වීමට සිදුවන දෙයකි. එසේම වැඩිහිටි අයකුගේ වුවද මෙම සඳුගේ නරක කාලයන්හිදී සෙම් රෝග, ආමාශගත රෝගයන්, ක්ෂය රෝගය, මොළය ඉදිමීම, උණ සන්නිපාත, රක්ත වාතය, බෝවන රෝගයන් ඇති වීමට හැකියාව ඇත. ඇතැම් අවස්ථාවන්වලදී මොළයට ඇති කරන බලපෑම මත ස්නායු ආබාධයන්ට මුහුණ දීමට ද සිදුවන බව අත්දැකීමෙන් කිව හැකිය.

විශේෂයෙන් සඳුගේ මහ දශාවෙන් උපන් දරුවන් හට වයස අවුරුදු 4ක් පමණ වන තෙක් සෙම ආශ්‍රිත රෝග පීඩාවන්ට මුහුණ පෑමට සිදු වනවා ඇත. එසේම මෙම දශාවේ ගැහැනු දරුවකු උපත ලදහොත් රූප සොබාව ඉතාමත් පියකරු ඉක්මන් රූපවත් වන කෝල කතාබහ සහිත බවද දක්වා ඇති දෙයකි. එසේම සඳු එම දරුවාගේ කේන්දර සටහනේ පිහිටන ස්ථානය අනුව මවටද බලපෑම් ඇතිවිය හැකි බවද දැනගත යුතුමය.

එසේම එම පිහිටන ස්ථානය අනුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද බලපෑමක් ඇති කරනුයේ සෙම ආශ්‍රිත රෝගයන් නිසා අධ්‍යාපන කටයුතු අතපසු වීම නිසාය. විශේෂයෙන් මෙම චන්ද්‍රයාගේ බලපෑම ඇති ගැහැනු දරුවන් ගැන අවධානයෙන් සිටිය යුතු වන්නේ දරුවාගේ රූපය, කතා විලාසය, හැඩ ගතිය, ඇඳුම් පැලඳුම් ගැන, අන් අයගේ විවේචනයන් නිසා එම දරුවාට චිත්ත පීඩාවන් ඇතිවිය හැකි බැවිනි. මෙය බොහෝ විට අන් අයගේ ඊර්ෂ්‍යාව නිසා ඇතිවන දෙයකි.

එසේ වුවද පිරිමි දරුවකු නම් ඔහු හා මව අතර ඇති බැඳීම තවත් ළං වනු ඇත. මක් නිසාද යත් මවු ගැන දරුවාගේ ඇතිවන ආදරය, සෙනෙහස මෙම කාල සීමාවේදී වැඩි වන නිසාය. මෙහිදීද මව දරුවා සමඟ එක්ව කටයුතු කළ යුතු වන්නේ එම කාලය තුළ තමා බලාපොරොත්තු වන්නා වූ ඒ ආදරය, සෙනෙහස නොලැබී යාම නිසා දරුවාගේ මානසික තත්ත්වය වෙනස් වී වෙන යම් අයකුගෙන් එම ආදරය සෙනෙහස ලබා ගැනීමට පෙලඹවීමෙන් තමන්ට නුසුදුසු කාන්තාවක් කරා එම දරුවා ඇදී යා හැකි නිසාය. එනම් වයස, කුලමල ආදිය කිසිවක් එම දරුවාට එම අවස්ථාවේදී හිතට නොදැනෙන නිසාය. මෙය දරුවාගේ ඉදිරි ගමනට බොහෝ සෙයින් බලපාන බව සිත්හි තබාගන්න. එනිසාම මෙහි වැඩි වගකීම මවට පැවරෙනු ඇත. මෙම සිදුවීම වැඩිහිටි පවුල් ජීවිතයට ද ඇතිවිය හැකි බවද කිව යුතුමය. වැඩිහිටි අයකු වුවද සඳුගේ මහ දශාවේදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දෙපාර්ශ්වයටම ශරීරයේ පැහැපත් බව, රූපවත් බව ඇතිවීම වෙනදාට වඩා ප්‍රියමනාප ගතියක් ඇතිවීම නියත දෙයකි. එම නිසා එම කාලය තුළදී ඒ ගැන හොඳින් වටහාගෙන තමාගේ පෞද්ගලික ජීවිතය යහපත්ව තබා ගැනීමට සිතට ගත යුතුය.

එනම් මෙම වකවානුවේදී නුහුරු නුපුරුදු අය සමඟ ඇතිවන බැඳීම් සෙනෙහස නිසා නොදැනුවත්වම ප්‍රශ්න ඇතිවී සිත්තැවුල්, කලකිරීම්, පවුල් ප්‍රශ්න මඟින් ජීවිතයට බොහෝ බලපෑම් ඇතිවිය හැකි නිසා විශේෂයෙන් මෙම කාලසීමාවන්වලදී කටයුතු කාරණා සිදු කරන විට සිත්හි තබාගත යුතුම වෙනවා ඇත. එසේම ස්වාමියා තම බිරියට ද බිරිය තම ස්වාමියා හටද ආදරය සෙනෙහස දක්වා අවබෝධ‍යෙන් යුතුව කටයුතු කාරණා සිදු කළ යුතු වෙනවා ඇත. විශේෂයෙන් සැකයක් ඇතිවන අවස්ථාවන්වලදී ඉවසීමෙන් කටයුතු කර එය නිරාකරණය කරගත යුතුය.

මෙම කාලයේදී එනම් සඳුගේ දශාවන්වලදී ඇතිවන බලපෑම අවම කරගැනීම සඳහා කළ යුතු පිළියම් කළයුතු ආකාරය තමාගේ උප්පත්ති කේන්දරය දක්ෂ ජ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවාගෙන එම කාලසීමාව ලැබෙන විට ඒ ගැන දැනුවත් වී විශේෂයෙන් වැඩිහිටි අයට මෙම දශා කාලය තුළදී ඇතිවිය හැකි සෙම් රෝග, පපුවේ මහන්සිය, හතිය මෙන්ම හිසේ ඇතිවන පීනස තත්ත්වයන් ද ඒ නිසාම ඇතිවන හිසරදය වැනි දේවලින් ආරක්ෂා වීම සඳහා තමන්ගේ ආහාරපාන ආදියෙන් එනම් ශීත ආහාරවලින් වැළකී අවේලාවන්හි ස්නානය වැනි දේවලින් ප්‍රවේසම් වීමට සිතට ගත යුතුය. සඳු ද සිකුරු ග්‍රහයා මෙන්ම අපගේ ජීවිත ගමනට අවශ්‍යම අයකු බැවින් ඇයගෙන් සිදුවන උපද්‍රවයන් අපල වශයෙන් සඳහන් නොකර ඒ සඳහා වත්පිළිවෙත් සිදුකර ඒවායින් සහනයක් ලබා ගැනීමට සිතට ගත යුතුය. මේ සඳහා ප්‍රථමයෙන්ම සඳුදා දිනයක හිමිදිරියේ ස්නානය කර පිරිසිදුවී සුදු නෙළුම්, ඉද්ද, දෑ සමන්, සමන්පිච්ච වැනි සුවඳවත් වර්ණවත් මල්, ගිතෙල්, විලඳ, ගිලන්පස, කැවිලි වර්ග සහ පලතුරු සමඟ විහාරස්ථානයකට ගොස් බුදුන් වහන්සේට පූජා කර පත්තිනි මෑණියන් හට, සමන් දෙවියන් හට ඒ පින් අනුමෝදන් කරන්න.

ඉන් පසුව පත්තිනි දේවාලයකට ගොස් පූර්ණ පලතුරු පූජාවක් සමඟ පාට පහකින් යුත් සළුවක් පූජා කර තමාට සහනයක් ලබා දෙන ලෙස කන්නලව් කර පඬුරු ගැට ගසන්න. එසේම එම බාරය කටයුතු කාරණා ඉටුවූ පසුව ඔප්පු කිරීමට ද සිත්හි තබාගන්න. මෙහිදී හිමිදිරි ස්නානය සඳහා සේපාලිකා මල් තැම්බූ වතුර පිරිසිදු ජලය සමඟ ස්නානය කරන්නේ නම් වඩාත් යහපත් ප්‍රතිඵලදායක වනු ඇත. එසේම එම තැම්බූ සේපාලිකා මල් වතුර ස්වල්පයක් ද පානය කරන්න.

යහපත් ගුණවත් වැඩිහිටි කාන්තාවක් හට රසකැවිලි, පලතුරු, කිරි සහිත ආහාර සමඟ ප්‍රණීත ආහාර සහ වස්ත්‍රයන් ද පූජා කර පත්තිනි මෑණියන් හට පින් අනුමෝදන් කරන්න. ඔබට හැකියාව ඇත්නම් කිරි මවුවරු හත්දෙනෙකු සඳහා කිරි අම්මලාගේ දානයක් ද දෙන්නේ නම් ඔබට ඉතාමත් යහපත් ප්‍රතිඵල අත්විඳීමට ලැබෙනවා ඇත. එම කාල සීමාව තුළදී ඉතාමත්ම වැදගත් කාරණයක් වනුයේ සිවුපා මාංශයන්ගෙන් විශේෂයෙන් ගව මස් කෑමෙන් වැළකී සිටීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වනවා ඇත. ජීවිත කාලයට ගව මස් කෑමෙන් වැළකී සිටීමෙන් මෙම ලිපි මාලාවේ ඉහත සඳහන් වූ සියලුම ග්‍රහ දෝෂයන්ගෙන් සහනයක් ලැබීමට කරනු ලබන කටයුතුවලදී මහත් ප්‍රතිඵල ලබාගත හැකි වනවා ඇත.

සඳුගේ තවත් අයුරකින් බලපෑමක් ඇති වනුයේ මානසික පීඩනයක්, ආබාධයක් ඇති අයට මුහුදේ ඇතිවන වඩදිය බාදිය අනුව මානසික ආතතියද ඉහළ යෑම වැනි දේ සිදුවිය හැකි බවින් එවන් අයට නිතර කොහොඹ කොළ, සේපාලිකා මල් සමඟ තම්බා ස්නානය කිරීමට සලස්වන්න. එමෙන්ම චන්ද්‍ර මණ්ඩල යන්ත්‍රය පලඳා කොහොඹ කොළ දලු ප්‍රමාණයේ ඒවායින් මිටි 9ක් සාදා ඖෂධ සමඟ බෝධින් වහන්සේට පූජා කරන්න. මෙය සිදු කරන අතර මේ ආනුභාවයෙන් මාගේ හෝ එම පුද්ගලයාගේ නම සඳහන් කර මේ ඇතිවන්නා වූ දෝෂයන්ගෙන්, ලෙඩ දුක්වලින් ඇතිවන මානසික ආතතිය, ව්‍යාදීන් පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් දුරු වේවා සෙත ශාන්තිය ලැබේවා කියා ප්‍රාර්ථනය කරන්න.

ඔබ වෙත මෙතෙක් ඉදිරිපත් කළ මෙම ලිපි මාලාවේ අඩංගු වත්පිළිවෙත් නිසි අයුරින් සිදුකර එම ග්‍රහයන්ගෙන් ඇති විය හැකි දෝෂයන් මඟහරවා ගන්න. මේ සියලුම ලිපි අත්දැකීම් තුළින්ම ඔබ වෙත ඉදිරිපත් කළ අතර විශ්වාසයෙන් භක්තියෙන් යුතුව කටයුතු කර ජීවිතය ජය ගන්න.

Comments