වකුගඩු රෝගයෙන් දවස ගානේ මැරි මැරී උපදින ගිරාදුරුකෝට්ටේ වැසියෝ | Page 2 | සිළුමිණ

වකුගඩු රෝගයෙන් දවස ගානේ මැරි මැරී උපදින ගිරාදුරුකෝට්ටේ වැසියෝ

හියංගණය හා ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශ ඇතුළු අවට තිබෙන තරුණ ජනපදය, බතලයාය, තිස්සපුර,කෙසෙල්පොත, රිදීමාලියද්ද, රොටලවෙල,බෙලගන්වැව, වැලිමඩයාය ඇතුළු ගොවි ගමමාන රැසක ජනතාව දිනෙන් දිනම වකුගඩු රෝගයට ගොදුරු වෙන අතර ඇතැමුන්ගේ ජීවිත අහිමිවීම් ද දිනපතා වාර්තා වෙමින් තිබේ. 

මේ ගම්මානවල දරුවන්ට මවුපියන්ට මෙන්ම ස්වාමියාට බිරියත්, බිරියට සැමියාත් අහිමි වූ පවුල් විශාල වශයෙන් තිබෙන අතර ඇතැම් ගම්මානවල වැන්දඹු කාන්තාවන් වැඩි වී ඇත්තේ ද වකුගඩු රෝගයට තම ස්වාමියා ගොදුරුවී මිය යෑම නිසාය. වැඩිහරියක් ගෙවල්වලින් ඇසෙන්නේ දුක් අඳෝනාය. දුක්ඛිත බවේ පත්ලේ ජීවත් වෙන මිනිස්සු සිය ජීවිතය පිළිබඳ හඬා වැටෙන්නේ දිවා රෑ නොතකාය. ඒ මුුහුණුවන කඳුළු බිංදු නැති මොහොතක් නැති තරම් ය.

වසර විස්සකට පමණ පෙර ගම්මානයේ නොතිබූ වකුගඩු රෝගය මෑත කාලයේ ගම්මානය ම වෙළා ගෙන ඇත්තේ ප්‍රදේශයේ වී ඇතුළු ගොවිබිම් සඳහා පසට යොදන රසායනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය යෙදීම මූලික හේතුව බව ගම්වාසීන් මෙන්න වෛද්‍යවරුද පවසති.

ගොවි බිම් සඳහා අධික ලෙස යොදන රසායනික පොහොර සහ කෘමි රසායනික ද්‍රව්‍ය නිසා ප්‍රදේශයේ ජනතාව දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වෙමින් සිටින අතර ප්‍රදේශයේ ම වන සතුන් ඇතුළු සත්ව විශේෂ පවා විනාශයට පත් වෙමින් තිබේ. විශේෂයෙන්ම ප්‍රදේශයේ තිබු මී මැසි ජනපද සියල්ල මේ වෙද්දී වසවිෂ නිසාම විනාශයට පත්ව තිබීම පරිසර සමතුලිතතාව බිඳ වැටීමට හේතු වන්නකි.

මේ ගම්මානවල ප්‍රධානම ජීවනෝපාය මාර්ගය වු වී වගාවට යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය ප්‍රදේශයේ ගලා නොයන ජල උල්පත්, ඇළදොළ, ගංගාවලට එකතු වීමෙන් ජලයේ තැම්පත්වී තිබෙන වසවිෂ මිශ්‍ර ජලය නිසාම ප්‍රදේශයේ ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වෙමින් සිටින අතර ගම්මානයේ ඇළ දොළ ගංගාවන්හි මත්ස්‍යයන් ඇතුළු ජලජ සතුන්ගේ බෝවීම පවා අඩුවී තිබේ. 

ප්‍රදේශයේ වනාන්තර හේන් වගාවන් ඇතුළු ක්‍රියාකාරකම්වලට නිතර ගිනි තැබීම, නොයෙකුත් පරිසර විනාශයන් වලින් කරන්නා වූ මිනිස් ක්‍රියාකාරකම් හේතුව නිසාම සිදුවන පරිසර විනාශයන් මෙවැනි රෝග බෝ වීමට ඉවහල් වෙනු අැත.

මේ ගම්මාන වලින් දිනෙන් දින හමුවෙන රෝගීන්ට පසුගිය කාලයේ තිබූ වෛද්‍ය සායන ද අද වෙද්දී නැවතී ඇත්තේ ඖෂධ හිඟය නිසා විය හැකිය. යමක්කමක් ඇති ඇතැම් රෝගීන් පමණක් දිනපතා හෝ සතිපතා පුද්ගලික රෝහල් වෙත ගොස් රුධිර පිරිපහදු ක්‍රියාවලිය සිදුකරගනී. එම සේවාව නොමිලේ ලබාදීමට රජයෙන් ගිරාදුරුකෝට්ට රෝහලේ වසර පහකට පෙර ඉදිකර තිබෙන රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලිවලට අවශ්‍ය උපකරණ හා පහසුකම් නැතිව වසා දමා තිබෙන අතර කෝටි ගණනක් වටිනා රෝගීන්ට ජංගම ප්‍රතිකාර සඳහා ගෙනා නවීන පන්නයේ සියලුම යන්ත්‍ර උපකරණ සවි කළ බස් රථයක් රෝහලේ ගාල්කර තිබීම කනගාටුවට කරුණකි.

ගම්මානයේ තොරතුරු සොයා යද්දී හමුවූ ආර්.ඩී වීරසිංහ, අපේ ගම්මානවල ජනතාව ශීඝ්‍ර ලෙස වකුගඩු රෝගයට ගොදුරු වෙනවා. ප්‍රදේශයේ තිබෙන මහා පරිමාණ පලතුරු වගා භූමි සඳහාත් ගොවිබිම් සඳහාත් ඉසින කෘමි රසායනික ද්‍රව්‍ය හා රසායනික පොහොර භාවිතය තමයි මේ රෝගයට ප්‍රධාන හේතුව. ප්‍රදේශයේ ජලයට දිනපතා වසවිෂ ශීඝ්‍ර ලෙස මුසුවීම ජනතාවට පමණක් නොව වන සතුන්ට පවා තර්ජනයක්ව පවතිනවා. අපේ ඉදිරි පරම්පරාව නීරෝගි කරගන්න ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර ලබා දෙන්න. තවදුරටත් වගා භූමිවලට වසවිෂ ඇතුළු රසායනික පොහොර යෙදුවොත් සියලුම දෙනා රෝගීන් වෙලාම මිය යයි. 

ප්‍රදේශයේ තිබෙන උල්හිටිය සහ රත්කිද යන ජලාශවල මත්ස්‍ය සම්පත මේ වෙද්දී ශීඝ්‍ර ලෙස අඩුවී තිබෙන බව ආර්. වෙරෝනිකා පවසයි. වැව් ජලය ඉමත්තේ රසායනික ද්‍රව්‍ය වැනි ද්‍රාවණයන් උදේ කාලයේ පාවෙනවා. වසවිෂ ජලයට මුසුවීම නිසාම මාළුන් වඳවීගෙන යනවා. දැන්වත් වසවිෂ නැතිව වී ඇතුළු භෝග වගා කරන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා.

මේ ගම්මානවල හැම නිවසකම වගේ වකුගඩු රෝගියකු ඉන්නවා යැයි පවසන එස්.එම්. චිත්‍රානන්ද, ගෙදරක මව හෝ පියා රෝගී වුණොත් ඒ පවුලම ඉවරයි. එහෙම පවුල් ගොඩාක් තියෙනවා. මමත් රෝගියෙක්, ඇතැම් රෝගීන්ට බෙහෙත් ගන්න ක්‍රමයක් නැතුවම මැරෙනවා. එවැනි අයගේ පවුලේ ආර්ථිකය කඩා වැටී දරුවන්ගේ අධ්‍යාපනය පවා අහිමිවී යනවා. මේක මහා ඛේදවාචකයක්. රෝගයට හේතු හොයලා විසඳුමක් දෙන්නේ නෑ. රජයෙන් කරන්නේ රෝගියාට ප්‍රතිකාර සඳහා කීයක් හරි දෙනවා නැති නම් සායන පවත්වෙනවා විතරයි. අපි අනාගත පරම්පරාව බේරාගන්න රෝගයට පිළියමක් සොයන්න ඕනෑ. මේකට ප්‍රධාන හේතුව විදියට අපි දකින්නේ රසායනික පොහොර හා බෙහෙත් භාවිතය තමයි. ඉදිරියේදී නිසි ප්‍රමිතියකට හදන කාබනික පොහොර නිසි ක්‍රමයකට ලබා දුන්නොත් හොඳයි. එහෙම නොවුණොත් අපේ ගම්මානවල ජනතාවගේ අනාගතයම ඉවරයි.

මේ වගේ රෝගවලට ගම්මානවල ඉන්න ජනතාවම තමයි වග කියන්න ඕනෑ, යැයි චෝදනා කරන දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලඇත්තන්, ආශාව තණ්හාව නිසා මෙවැනි රෝග පැතිරී යනවා. ගම්මානවලට ගියාම හැම තැනම රෝගීන්, මේ අය කාලයක් ගොවිතැන් කළා, බෙහෙත් පොහොර යෙදුවේ නෑ, අපේ රටට සුදුසු බීජ නැති නිසා ඒවා හදා ගන්න පොහොර දාන්නම වෙනවා. අපේ බිම්වල පැරණි බීජ වගා කළ යුතුයි. හිටපු ජනපති ගෙනාපු කාබනික වැඩපිළිවෙළ ඉතාම සාර්ථකයි. ඒත් ඒවා ගොවීන්ට ලබා දුන්න ක්‍රමය වැරදියි. කන්නයෙන් කන්නයට පොහොර ක්‍රමය දුන්නා නම් සාර්ථක වෙනවා.

අද වකුගඩු රෝගීන්ම පොහොර ඉල්ලා උද්ඝෝෂණත් කරනවා. මේ අයම හිතලා බලලා පරිසර හානිය හා පොහොර භාවිතය ගැන සිතා කටයුතු කරන්න ඕනෑ.

ජනතාව කියන්නේ රසායනික පොහොර නිසා වකුගඩු රෝගය හැදෙන බවයි. ඒත් වෛද්‍යවරුන් හරියට හේතුව කියන්නෙත් නෑ, රසානික පොහොර නිසා වකුගඩු රෝගය හැදෙනවා කියන කතාව ඇත්ත.

ගිරාදුරුකෝට්ටේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආර්. එම්. යු. බුද්ධිකට අනුව, කෘමිනාශක ද්‍රව්‍ය හා රසායනික පොහොර භාවිතය වැනි පරිසර විනාශයන් හා ජලය නිසා ගිරාදුරුකොට්ටේ ප්‍රදේශයේ පමණක් වකුගඩු රෝගීන් 2000ක් පමණ සිටිනවා. එයින් 200ක් පමණ දෙනා ජීවිතයේ අවසන් කාලය ගෙවනවා. මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම විතරයි අපිට කරන්න පුළුවන්, ඒත් අපිට තියෙන පහසුකම්වලින් අපි රෝගීන්ට උපරිම සේවය ලබා දෙනවා, නමුත් රෝගීන් සඳහා මෙයට වසර පහකට පෙර අප රෝහල් භූමියේ ඉදිකළ පරිතාන කාන්දුකරණ ඒකකය, (ලේ පිරිසිදු කිරීම) සහ රෝගී නේවාසිකාගාරය ඇතුළු ගොඩනැඟිලි සඳහා යන්ත්‍ර හා උපකරණ නැති නිසා වසා දමා තිබෙනවා. මගේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් හා නායකත්වය යටතේ මගේ රෝහලේ සියලුම සේවකයන් ප්‍රදේශයේ රෝගී ජනතාවට උපරිම සේවයක් ලබාදෙනවා යැයි වෛද්‍යවරයා පැවසීය.

ප්‍රසන්න පත්මසිරි-ඌව පළාත් සමුහ

Comments