
- ටයිටැනික් බලන්න ගිහින් ඊළඟට එන්න හිටියේ ශ්‍රී පාදය වඳින්න
- 2014දි ලංකාවට ආවේ පුතාට පින්නවල අලි පෙන්නන්න
- එයා භාවනා කරන්න ලොකු කැමැත්තකින් හිටියා
- සුනාමියෙන් අවතැන්වුණු අයට බෙදන්න කන්ටේනර් 7කට බඩු එව්වා
- ලංකාවේ ව්‍යාපෘති පටන් ගන්න සැලසුම් ගොඩාක් මා එක්ක කතා කළා
- බුදු දහමේ විද්‍යාත්මක පැත්ත ගැඹුරින් අධ්‍යයනය කරපු කෙනෙක්
- හිටියා නම් විශ්‍රාම ගියාට පස්සේ ලංකාවේ පදිංචි වෙන්නත් තිබුණා
මීට වසර 111කට පෙර උතුරු අත්ලාන්තික් සාගරයේ මිහිදන් වුණු ටයිටැනික් නෞකාවේ නටබුන් නැරැඹීමේ චාරිකාවේ ගිය ටයිටන් සබ්මැරීනයට අත් වූ ඉරණම දැන් කවුරුත් දනී. නොදන්නේ එහි ගමන් ගත් බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරික හමිෂ් හාර්ඩින් සහ ශ්‍රී ලංකාව අතර තිබුණු කුතුහලය දනවනසුලු සම්බන්ධතාව ගැන පමණි. මීට වසර 9කට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කළ හමිෂ් හාර්ඩින්ගේ මුදල් පසුම්බිය අස්ථානගත වීමේ පුවතත්, අවසානයේ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයකු එය සොයා දීමේ පුවතත් පසුගිය දින කිහිපයේදී මෙරට මාධ්‍ය තුළින් රට පුරා පැතිරී යෑමෙන් පසු ශ්‍රී ලාංකේය ජනතාව අතර මේ නාඳුනන පුද්ගලයා ගැන දැනගැනීමේ කුතුහලයක් ද ඇති විය. එහෙත් මේ අපූරු මිනිසාට ශ්‍රී ලංකාව සමඟ ඉන් ඔබ්බට ගිය අපූරු සම්බන්ධතාවක් තිබූ බවක් නම් කිසිවකු නොසිතන්නට ඇත.
58 හැවිරිදි හමිෂ් සහ ශ්‍රී ලංකාව අතර තිබුණු සම්බන්ධතාව ගැන තොරතුරු රැසක් හෙළිදරවු කරගැනීමට ‘සිළුමිණ‘ සමත් වූයේ එවැනි පසුබිමකදීය. ශ්‍රී ලංකාවට අතිශය ඇලුම් කළ මේ ප්‍රකෝටිපතියා පිළිබඳ මෙරට ජනතාව මෙතෙක් නොදැන සිටි කරුණු රැසක් ජාතික පුවත්පතකින් අනාවරණය කෙරෙන පළමු අවස්ථාව ද මෙය වේ.
හමිෂ් හාර්ඩින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියේ උඩු ගුවන තරණය කිරීම සම්බන්ධ ව්‍යාපාරයක හිමිකරුවකු හා ගවේෂණයට ලොල් වූ අරුම පුදුම මිනිසකු ලෙසටය. ඇතැමුන් ඔහු හඳුන්වනු ලබන්නේ අභ්‍යවකාශය හා ගැඹුරු මුහුද එකිනෙකට යා කළ මිනිස් පුරුකක් හැටියටය. ලෙහෙසි පහසුවෙන් කිසිවකුට කළ නොහැකි වූ මේ අභියෝගය ජය ගනිමින් ගිනස් වාර්තා පොතටත් ගිය හමිෂ්ගේ ඉරණම අවසානයේදී තීන්දු වූයේ ද ගැඹුරු අත්ලාන්තික් මුහුදේ තවත් ගවේෂණයකට එක්වී සිටියදීය.
එය එසේ නොවූයේ නම් අනාගතයේ එක්තරා කාලවකවානුවක ජාත්‍යන්තර මාධ්‍ය අතර කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතර නම් පළවනු ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තාලයේ කතාවක් විය හැකිය. එය එසේ වූයේ නම් ‘සිළුමිණ‘ ඉදිරි කලාපයක මුල් පිටුවේ ද මෙවැනි පුවතක් පළ වීමට හොඳටෝම ඉඩ කඩ තිබිණි.
‘බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන ගණනාවක ආයෝජන ව්‍යාපෘති‘
‘බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා බුදු දහම වැලඳ ගනී‘
‘අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇරැඹීමට බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපතියෙක් ශ්‍රී ලංකාවට එයි‘
‘ලෝක කීර්තියට පත් බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපතියා නිත්‍ය පදිංචියට ශ්‍රී ලංකාව තෝරා ගනී‘
සැබැවින්ම හමිෂ් හාර්ඩින් ඉහත කී සියලුම කරුණු සඵල කරගැනීමේ අපේක්ෂාවෙන් සිටි බවත්, ඔහු ටයිටන් සබ්මැරීනයේ චාරිකාවෙන් පසු නැවත ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිය අරමුණු ඉටු කරගැනීමේ පළමු පියවර තැබීමට නියමිතව සිටි බවත් ‘සිළුමිණ‘ට හෙළිදරව් විය. එය අනාවරණය කරනු ලැබුවේ මෙතෙක් කිසිවකු නොදැන සිටි ඔහුගේ දිගුකාලීන ශ්‍රී ලාංකික මිතුරිය විසිනි. ඇය සිවිල් ඉංජිනේරුවරියක ලෙස දශක තුනකට ආසන්න කාලයක් ජාත්‍යන්තර රටවල ව්‍යාපෘති ගණනාවකට එක් වූ රංගිතා හේරත්ය.
‘ඇත්තටම මේ අවුරුද්දේ ලංකාවට එන්න ඔහුගේ සැලසුමක් තිබුණා. මමත් දැන් ලංකාවේ ඉන්න නිසා කොහොමහරි එනවා කියලා ටයිටන් චාරිකාවට යන්න මාස දෙකකට කලින් මට දුරකතන ඇමැතුමකින් දැනුම් දුන්නා. 2014 අවුරුද්දේ හමිෂ් ආපු වෙලාවේ මං ලංකාවේ හිටියේ නෑ. ඒත් එයා මගේ මහනුවර ගෙදරට ඇවිත් ගිහින් තිබුණා. මගේ සේවිකාවෝ ඔහුට තේ පැන් සංග්‍රහයකුත් ලැස්ති කරලා දීලා තිබුණා.‘ එසේ කියමින් රංගිතා හේරත් ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක් වූවාය.
‘ඔහුට යන්න ඕන වෙලා තිබුණේ ශ්‍රී පාදය වැඳ පුදා ගන්නයි. ආරුගම්බේ යන්නත් ඔහුගේ කැමැත්තක් තිබුණා. ටයිටන් චාරිකාව ඒ වෙද්දි සැලසුම් කරලයි තිබුණේ. මට කිව්වේ මේ ගමනට පස්සේ ලංකාවට එනවා කියලයි. ඒ ඉස්කෝලේ නිවාඩුවට පුතාලාවත් එක්කගෙන. බැරිවෙලාවත් කාර්ය බහුලත්වය නිසා එන්න බැරිවුණොත් පුතාලව ලංකාවට එවන්න අපේ ගෙදර නවත්තගෙන මම බලාගන්නම් කියලත් මම කිව්වා.‘ ඇය හමිෂ්ට එසේ කියා තිබිණි.
හමිෂ්ගේ මිත්‍රත්වය දශක දෙකක ඉතිහාසයකට හිමිකම් කියන බව ඇය ‘සිළුමිණ‘ට කීවාය.
‘හමිෂ්ව මට මුලින්ම මුණ ගැහෙන්නේ 2002 වසරේ ඩුබායිවලදි. ඒ වෙද්දි මමත් රැකියාව කළේ එහේ. ඔහුට ගුවන් නියමුවෙක් විදිහට තිබුණු අත්දැකීම් මත ඩුබායි නුවර දැවැන්ත ආයෝජන ව්‍යාපෘතිවල හෙලිකොප්ටර් ගොඩ බැස්වීම් සඳහා ඉදිකරන ස්ථාන සම්බන්ධව ඔහුගේ දැනුම ලබා ගැනීම අතිශය වැදගත් වුණා. ඒ නිසා විවිධ ව්‍යාපෘති රැස්වීම්වලදී ඔහු මට නිතර නිතර හමු වුණා. මට ඔහුගෙන් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. ඔහු ඉතාම සතුටින් මාව පිළිගත්තා. එකක් තමයි මම කාන්තාවක් විදිහට ඒ වගේ අතිවිශාල ව්‍යාපෘතිවලට සම්බන්ධ වීම. මොකද ඒවා අති දුෂ්කර වගේම වෙහෙස දනවන සුලු ව්‍යාපෘති විදිහටයි සැලකෙන්නේ. අනික් හේතුව මම ශ්‍රී ලාංකිකයකු වීම. එතැන හිටපු එකම ශ්‍රී ලාංකිකයා මමයි. ඒ නිසා හමිෂ් සතුටු වුණා කාන්තාවක් හැටියටත්, ශ්‍රී ලාංකිකයකු හැටියටත් අරාබි රටක දැවැන්ත ව්‍යාපෘතිවලට මම සම්බන්ධ වීම ගැන. විශේෂයෙන් කාන්තාවක් හැටියට මම අභියෝග ජයගැනීම ගැන ඔහු නිතරම මාව අගය කළා‘
දෙදෙනාගේ මිත්‍රත්වය වැඩිදියුණු වීමට හේතු වූ කරුණු කාරණා තවත් තිබිණි. ඒවා පසුකාලීනව දෙදෙනාටම ඔවුනොවුන්ගේ සිතුම් පැතුම් බෙදා හදා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දුන් බවත් ඇය කීවාය.
‘ඒ වෙද්දී මම ‘රියල් එස්ටේට්' කියන සංකල්පයේ අත්දැකීම් බහුල පුද්ගලයෙක්. ඒ වගේම ඩුබායි නගරයේ අයෝජන ව්‍යාපෘති සම්බන්ධව භාරධූර වගකීමක් ඉටු කරමිනුයි හිටියේ. හමිෂ්ට තිබුණේ අභ්‍යවකාශ හා ගුවන් යානා වගේම මුහුද සම්බන්ධව අත්දැකීම් සම්භාරයක්. අපි මේ දැනුම බෙදා හදාගත්තා. මේ ‘රියල් එස්ටේට්‘ සංකල්පය කොයිතරම් කාලයකට පවතීවිද, ඒවායෙන් රටක සංවර්ධනයට බලපාන සාධක වගේ කරුණු කාරණා ගැන ඔහු නිතරම මාත් එක්ක සාකච්ඡා කළා. ඒ වගේම මටත් එයාර් ක්‍රාෆ්ට් ගැන දැනුමක් අවශ්‍ය වෙලයි තිබුණේ. අනික මුහුද සම්බන්ධව වැඩ කරන කොට මුහුදු මට්ටම ගැන සුළං බලය ගැන මට ඔහුගෙන් අසීමිත දැනුමක් ලබාගන්න පුළුවන් වුණා. මුහුද සම්බන්ධව මට ඉගෙන්නුවේ ඔහුයි. ඔහු ඇත්තටම හොඳ දැනුමක් තිබුණු කෙනෙක් වගේම කිසිම ලෝබකමක් නැතිව තමන් දන්න දේ තව කෙනකුට කියා දෙන්න, උපදෙස් දෙන්න පුදුම කැමැත්තක් දක්වපු කෙනෙක්.‘ ඇයට මේ ප්‍රකෝටිපතියා ගැන ඇත්තේ විශාල පැහැදීමකි.
‘ඒ වගේම හමිෂ්ට බෞද්ධ දර්ශනය ගැන ඉගෙන ගන්න ලොකු වුවමනාවක් තිබුණා. විශේෂයෙන් දර්ශනය හා විද්‍යාව ගැන. ඔහු ඒ ගැන තදින්ම විශ්වාස කළා. විශ්වාස කළා විතරක් නෙවෙයි බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නත් පටන් ගත්තා. ඒ ගැන ගැඹුරින් අධ්‍යයනය කළා. මමත් ලංකාවට ඇවිත් යද්දී වරින් වර බෞද්ධ දර්ශනය ගැන ඉංග්‍රිසියෙන් ලියැවුණු පොත්පත් එයාට ගිහින් දුන්නා. අපි දෙන්නම ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන සංගමයේ විධායක කමිටු සාමාජිකයන් විදිහටත්, ඒවියේෂන් ක්ලබ් එකේ සාමාජිකයන් විදිහටත් වැඩ කරපු නිසා ඒ වගේ තැන්වලදි සෙනසුරාදා දවස්වලට මුණ ගැහිලා කතාබහ කරන්න පුරුදු වෙලා හිටියා.‘ ඇය වැඩිදුරටත් කීවාය.
‘2004 අවුරුද්දේ ඔහු තමයි ඩුබායි නුවර ඇක්ෂන් ඒවියේෂන් කියන සමාගම ආරම්භ කළේ. ඒක ඔහුගේ කාලයක් තිස්සේ තිබුණු සිහිනයක් වෙන්න ඇති. මේ සමාගම ආරම්භ කරද්දී ඇත්තටම මම ඔහුගේ අතේ පිරිත් නූලකුත් ගැට ගැහුවා. ඒ සමාගමට මුළු හිතින්ම ආශිර්වාද කරන බවත් කිව්වා. ඔහුගේ වියෝව ඇත්තටම දුකක්. මුහුදත් එක්ක ඉතාම ආසාවෙන් වැඩ කටයුතු කළ කෙනෙක්. ඔහුගේ ජිවිතයත් ඒ වගේ ගමනකින්ම කෙළවර වීම කනගාටුදායකයි. ඔහු පරිසරයට. මුහුදට, අහසට පුදුම විදිහට ආදරය කළ, ආසා කළ කෙනෙක්. මටත් කිහිප සැරයක්ම මුහුදේ යාත්‍රා කරන්න කතා කරලයි තිබුණේ. ඒත් වැඩ රාජකාරි බහුල නිසා මට බැරි වුණා කාලය වෙන් කරගන්න. කාලය කළමනාකරණය කිරීම මගේ රැකියාවත් එක්ක ලොකු ගැටලුවක් නිසා ඒක කරන්න බැරිවුණා. ඒත් මම පස්සේ කාලයක අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී ගිහින් සැහැල්ලු ගුවන්යානා පැදවීම පුහුණු වෙන්න තීරණය කළාම ඔහු ඒකට අවශ්‍ය හැම පහසුකමක්ම සපයලා දුන්නේ ඉතා සතුටෙන්. මට ආයතන ප්‍රධානින් හඳුන්වලා දුන්නා. ගයිඩ්ලයින් සේරම දුන්නා. මම ගුවන්යානා පදවන්න ඉගෙන ගත්තේ එයාගේ උදව්වෙන්. සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ ඉඳලා මේ වගේ ක්ෂේත්‍රයකට යොමු වෙනවාට ඔහු ගොඩාක් සතුටු වුණා. මොකද ඔහු යම්කිසි දවසක ඕබිට් කියන ව්‍යාපෘතියක් ඩුබායි වල පටන්ගන්නයි හිටියේ. ඒ සම්බන්ධව මමත් වැඩ කටයුතු ආරම්භ කළා. ඒක අභ්‍යවකාශය ගැන කරන ව්‍යාපෘතියක්. ඒ හැම දේටම මාව සම්බන්ධ කරගන්න ඔහුට අවශ්‍ය වුණා.‘ ඇය එසේ සඳහන් කළාය.
සිය මතකයට අනුව හමීෂ් හාර්ඩින් මුලින්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබුවේ 2014 වසරේ ජූනි හෝ ජූලි මාසයේදි බවත් ඇය සඳහන් කළාය.
‘මොකද එයාගේ ලොකු පුතාට වුවමනාවක් තිබුණලු පින්නවල අලි බලන්න යන්න. ඒ වගේම හමිෂ්ට වුවමනා වෙලා තිබුණා ලංකාවේ මොනවහරි ආයෝජන ව්‍යාපෘතියක් පටන් ගන්න. කෙටි නිවාඩුවක් ගත කරන ගමන් එයා ඒකට අවශ්‍ය පසුබිම සොයා බලන්න ඇති. ඒ අතරතුර තමයි ඔහුට මේ කරදරය සිද්ධ වෙලා තිබුණේ. ඔහු මට කතා කරලා කිව්වා රංගිතා මගේ පර්ස් එක නැතිවෙලා කියලා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඒක හොයාගන්න මොනවද ඔයාට කරන්න පුළුවන් උදව්ව කියලා මගෙන් ඇහුවා. මම ඒ වෙද්දී හිටියේ අබුඩාබි රජයට වැඩ කරමිනුයි හිටියේ. මම ඉක්මනට ශ්‍රී ලංකාවේ ඒවියේෂන් එකට කතා කරලා කිව්වා මෙයා අත්‍යවශ්‍ය පුද්ගලයෙක්. විශේෂිත පුද්ගලයෙක්. ඔහු වෙනුවෙන් කොහොමහරි මේ ප්‍රශ්නය විසඳලා දෙන්න උත්සාහ කරන්න කියලා. හැබැයි හමිෂ්ගේ පසුබිම ගැන මොකුත්ම කිව්වේ නෑ. ඒත් එක්කම පැය කිහිපයකට පස්සේ තමයි පර්ස් එක ගැන ආරංචියක් හමිෂ්ට කුරුණෑගලින් ලැබිලා තිබුණේ. ඒක හොයලා දීලා තිබුණේ කුරුණෑගල පැත්තේ තරුණයෙක්. එයාලා ගැන හමිෂ් මා එක්ක ලොකු පැහැදීමකින් කතා කළා. ඇත්තටම කුරුණෑගල ඒ අයවත් දැනගෙන හිටියේ නෑ මම ලංකාවේ කෙනෙක් කියලා.‘ ඇය සිනාසෙමින් එසේ කීවාය.
2014 වසරේ එවකට අට හැවිරිදි වියෙහි පසු වූ සිය වැඩිමල් පුත්‍රයා වන ගිල්ස් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ හමිෂ්ගේ මුදල් පසුම්බිය අස්ථානගත වූයේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානය ආසන්නයේදීය. ඒ වන විට ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය නිමා කර යළි බ්‍රිතාන්‍ය බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපොළට යමින් සිටි අතර, මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට යාබද තැනක මඳක් ගිමන් නිවාගන්නට ඇත. ඔහුගේ මුදල් පසුම්බිය වැටී ඇත්තේ කුලියට ගත් මෝටර් රථයෙන් බැස ඇවිද යමින් සිටියදීය. ගුවන්තොටුපොළට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ දැනගත් විගස ඔහු රංගිතාට දුරකතන ඇමැතුමක් දෙන්නට ඇත්තේ ඒ වනවිට ඔහු දැන සිටි එකම ශ්‍රී ලාංකිකයා ඇය නිසා වන්නට ඇත. අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩිරාම් මුදල් නෝට්ටු සහිත එම මුදල් පසුම්බියේ ඔහුට වඩාත්ම වැදගත් වූයේ ඔහු ඇක්ෂන් ඒවියේෂන් නමැති ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවකු බවට සහතික කරනු ලැබූ හැඳුනුම්පතය. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ්පත් රැසක් ද එහි තිබූ බව කියැවේ. ඊට පසු දින අලුයම සිය සොහොයුරිය දුම්රියට ඇරලවීමට මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටි එවකට 18 හැවිරිදි වියෙහි පසුවූ තිලිණ බණ්ඩාර දිසානායක එය අහුලාගෙන තිබිණි. පසුව ඔහු එම මුදල් පසුම්බිය ඔහුගේ මවගේ සොහොයුරකු වූ වයඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට භාර දුන් බවත්, පසුව එම මුදල් පසුම්බිය තුළ තිබූ හමිෂ්ගේ ජංගම දුරකතන අංකයට ඇමැතුමක් දී ඔවුන්ට එය ලබා දීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධව පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තා මඟින් සඳහන් වී තිබිණි. මුදල් පසුම්බිය අහුලා එය නැවත භාර කළ එම තරුණයාට හමිෂ් මුදල් ත්‍යාගයක් ද ලබා දුන් බවත්, නැවත පසුදින ආසන වෙන් කරගනිමින් බ්‍රිතාන්‍ය බලා පිටත් වූ බවත් පසුව වාර්තා විය.
ගවේෂණය වෙනුවෙන් ඕනෑම ත්‍රාසජනක අවදානමක් ගැනීමට නොපැකිළෙන මිනිසකු බව කියන හමිෂ් හාර්ඩින් මුහුදු පතුලට ගියේ අමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස්දහසක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිලට ගනිමිනි. ඒ සඳහා ඔහුට ඇති තරම් මුදල් තිබිණි. වැඩි ප්‍රසිද්ධියක් නැති වුවත්, හමිෂ්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන ගණනාවක් බවට පසුගියදා විදෙස් මාධ්‍යවල තොරතුරු පළ වී තිබිණි. ඉතිහාසයේ වඩාත්ම දරුණු ඛේදවාචකය ලෙස සැලකෙන 1912 වසරේ සිදු වූ ටයිටැනික් නෞකාව මුහුදු බත් වීමේ සිදුවීම ගැන ගවේෂණය කිරීමට හමිෂ් තුළ නොතිත් ආශාවක් තිබුණු බවත් එම වාර්තාවලින් කියැවේ. මේ ඓතිහාසික නටබුන් සියැසින් දැකබලා ගැනීමට මුහුදු පතුලේ අඩි දහතුන් දහසකට ආසන්න ඝන අඳුරින් හා දැඩි සිසිලෙන් යුතු ස්ථානයට පිටත් වූ ඔහුගේ ගමන අවසන් වූයේ තවත් එවැනිම ඉතිහාසගත ඛේදවාචකයකිනි.
සැබැවින්ම මේ ගමනේ අවදානම හමිෂ් වේලාසනින්ම දැනගෙන සිටි බවත් තවත් වාර්තාවකින් කියැවිණි. ඊට නිදසුන වූයේ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් දූපතේ සිට මේ චාරිකාව ආරම්භ කළ දිනයට පෙර දිනයේ ඔහු සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනකි. ඉන් කියැවුණේ අවුරුදු 40කට පසු නිව්ෆවුන්ලන්ඩ් දූපතට උදා වුණු නරකම ශීත කාලය නිසා මේ මෙහෙයුම මිනිසුන් රැගෙන මේ වසරේ ටයිටැනික් නැරඹීමට යන පළමු හා අවසන් චාරිකාව වනු ඇති බවය. එය එලෙසින්ම සිදු වූයේ දෛවෝපගත ආකාරයටය. සැබැවින්ම මෙය මේ වසරට පමණක් නොව සදහටම අවසන් චාරිකාව බවට පත්වීමට ද ඉඩකඩ ඇත්තේ නැවත කිසිවකු ටයිටැනික් නටබුන් නැරැඹීමේ චාරිකාවකට එක් නොවන තරමට එය ලොවට දැනී ඇති බැවිනි.
තවත් අතකින් බැලූ විට ටයිටැනික් නටබුන් නැරැඹීමට අඩි දහතුන්දහසක් මුහුදු පතුලට යෑම ඔහු එතරම් බියට පත් කළ සිදුවීමක් ද විය නොහැකිය. මන්ද ඊට පෙර ඔහු බටහිර පැසිෆික් සාගරයේ පිහිටි මරියානා අගාධයේ පෘථිවියේ ගැඹුරුම ස්ථානය වන ‘චැලෙන්ජර් ඩීප්‘ ගවේෂණය කළ මිනිසෙකි. එය අඩි තිස්හයදහසක් ගැඹුරුය. එය ටයිටැනික් නටබුන් තැන්පත්වී ඇති මුහුදු පතුලට වඩා තුන්ගුණයක ගැඹුරකි. උසින් බැලූ විට එවරස්ට් කන්දට වඩා උසය. පැය හතරකුත්, මිනිත්තු 15ක අනතුරුදායක ගමනකි. අහසයි, මුහුදයි දෙකම ගවේෂණය කළ හමිෂ් හාර්ඩින්ට සැබැවින්ම ටයිටැනික් හැරෙන්නට තවත් ගවේෂණය කිරීමට දෙයක් ඉතිරිව නොතිබුණු තරම්ය.
ශ්‍රී ලංකාව සමඟ හමිෂ්ට තිබුණු බැඳීමට තවත් නිදසුනක් ගෙන හැර පාමින් රංගිතා හේරත් සිහිපත් කරනු ලැබුවේ 2004 සුනාමි ව්‍යවසනයයි. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත ආසන්නයේ සිදු වූ රිච්ටර් මාපකයේ 9.3ක අගයක් ගත් භූ කම්පනයෙන් පසුව තමිල්නාඩු වෙරළාසන්න මුහුදු සීමාව හරහා ශ්‍රී ලංකාවට කඩා වැදුණු මේ සුනාමියෙන් ශ්‍රී ලංකාවට සිදු වූ විනාශය අතිශය බරපතළ විය.
‘සුනාමි කාලයේ මම ඩුබායි රජයට වැඩ කරමින් හිටියේ. මට මුලින්ම ඒ ගැන කිව්වේ හමිෂ්. ඔහු දුරකතන ඇමතුමකින් මගෙන් ඇහුවේ මේ වගේ දෙයක් වෙනවා ඔයා දන්නවද කියලයි. මම කිව්වා ඔව්, ඒත් අපිටත් හරි තොරතුරක් දන්නේ නෑ කියලා. පස්සේ තමයි හැමදේම ආරංචි වුණේ. ඒක හරි දුක හිතෙන සිද්ධියක්. ඒ වෙලාවේ හමිෂ් ශ්‍රී ලංකාවට සෑහෙන්න උදව් කළා. එතකොට මම මාදුළුවාව සෝභිත ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරලා දුන්නා. හමිෂ් ඇතුළු පිරිසක් එකතු වෙලා කන්ටේනර් 7කට වැඩියෙන් ඒ වෙලාවේ ආධාර යැව්වා සුනාමි විපතින් අවතැන් වුණු අයට බෙදන්න කියලා. සෝභිත ස්වාමීන් වහන්සේ යටතේ තමයි ඒ ව්‍යාපෘතිය තිබුණේ මං හිතන්නේ. දකුණු පළාතට බෙදා දෙන්න කියලා කෑම වර්ග, ඇඳුම් පැලඳුම් හැම දෙයක්ම ඒ අතර තිබුණා.‘ ඇය අතීතය සිහිපත් කරමින් එසේ කීවාය.
‘පස්සේ කාලෙක මම ඩුබායි ඉඳලා අබුඩාබි රජයේ සේවයට එක්වුණාට පස්සේ අබුඩාබි නුවර ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශන සංවිධාන කරද්දීත් හමිෂ්ගේ සහාය නොඅඩුව ලැබුණා. ඒ ආරක්ෂක ප්‍රදර්ශනවලට අදාළ ගුවන් ක්ෂේත්‍රයට සම්බන්ධ දේවල් ඔහු තමයි අපිත් එක්ක සම්බන්ධිකරණය කළේ. ඒ ප්‍රදර්ශන සංවිධාන කරද්දී මට හමිෂ්ගේ අදහස් යෝජනා අවශ්‍ය වුණා. ඒක ලෝක රාජ්‍ය නායකයන්ට පවා ආරාධනා කරලා සංවිධාන කරන ප්‍රදර්ශනයක්. ලොව පුරා සියලුම යුද විශේෂඥයන් ඒකට එනවා.‘ ඇය කීවාය.
‘ඇත්තටම හමිෂ් අපේ රටට අවශ්‍ය කෙනෙක්. එයාට ලොකු වුවමනාවක් තිබුණා ලංකාවට ඇවිත් ආයෝජනය කරලා රැකියා අවස්ථා දීලා අපේ අයට උදව් කරන්න. ඔහු අපේ රටේ පරිසරයට ගොඩාක් ආදරය කළ කෙනෙක්. ඔහු නිතරම මට කිව්වේ ලංකාවේ උගත් පුරවැසියන් කොටසක් ඉන්නවා. එයාලාට ලෝකයේ ඕනෑම රටක ඕනෑම ඉහළ රැකියාවක් පවා කරන්න පුළුවන් හැකියාව හා දැනුම තියෙනවා කියලයි. ඔහුට ලොකු විශ්වාසයක් තිබුණා ශ්‍රී ලාංකිකයන්ට ලෝකයේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැනත් ඔහු මා එක්ක හරි පැහැදීමකින් කතා කරලා තියෙනවා. ඔයා දැන් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ අපේ රටෙන් ඔයාලගේ රටට ඉංග්‍රීසි දුන්නු නිසානේ කියලා සමහර වෙලාවට හමිෂ් මට විහිළු කරනවා. එතකොට මම කියන්නේ ඔව් ඔයාලගේ රටින් අපේ රටට ඉංග්‍රීසි භාෂාව ආවේ නැතිනම් මට මේ දේවල් කරන්න ලැබෙන්නෙත් නෑ තමයි කියලා. හැමෝම එක්ක නිතරම විහිළුවෙන් හිනාවෙලා කතාබහ කරපු කෙනෙක්. සමහර වෙලාවට මට හිතෙනවා ඔහු කාර්යබහුල ජීවිතයට විශ්‍රාම දුන්නු දවසක ලංකාවේ පදිංචියට එන්නත් තිබුණා කියලා. මොකද අපේ රටේ මිනිස්සු ගැන හමිෂ්ට ලොකු පැහැදීමක් තිබුණා. විශේෂයෙන් අර පර්ස් එක හොයලා දුන්නු වෙලාවේ ඒක වැඩිපුර දැනෙන්න ඇති.‘ රංගිතා හේරත් එසේ කියා සිටියාය.
ඇය කියන ආකාරයට සැබැවින්ම හමිෂ් මීට වසර කිහිපයකට පෙර මෙරට ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අඩිතාලම දමා තිබිණි.
‘ 2019 අවුරුද්දේ හමිෂ්ගේ නියෝජිතයන් කණ්ඩායමක් ආයෝජන ව්‍යාපෘතියක් ගැන සාකච්ඡා කරන්න ලංකාවට ආවා. කැනඩාවෙන් හා අමෙරිකාවෙන් ඒ අය ඇවිත් හිටියේ. අමෙරිකාවේ පයිලට්ලා කිහිපදෙනකුත් ඒ අතර හිටියා. ඒක ‘මෙඩිවැක්‘ ව්‍යාපෘතියක්. ඒ කියන්නේ රෝගාතුර වුණු අය තවත් රටකට ගෙනියන ව්‍යාපෘතියක්. ඒක කොළඹ පවත්වන්න හැම දෙයක්ම සංවිධාන කළේ මමයි. ඒත් අවාසනාවකට ඒක පටන් ගන්න ලැබුණේ නෑ. ඒ වගේ ව්‍යාපෘතියක් පෝට් සිටි එකේ පටන් ගන්නත් හමිෂ්ගේ වුවමනාවක් තිබුණා. නොයෙකුත් හේතු මත මේවා පටන් ගන්න අවස්ථාවක් හමිෂ්ට ලැබුණේ නෑ.‘ ඇය සඳහන් කළාය.
‘අපි දෙන්නගේ හිතවත්කම වැඩි වෙන්න බෞද්ධ දර්ශනයට හමිෂ්ගේ තිබුණු උනන්දුව සෑහෙන්න බලපෑවා. මොකද කොයිතරම් ලොකු කෝටිපතියෙක් වුණත් හමිෂ් සරල ජීවිතයක් ගත කළේ. හරිම සැහැල්ලු ජීවිතයක්. එයාට භාවනා කරන්න ලොකු කැමැත්තක් තිබුණා. ලංකාවට ආපු වෙලාවක ඒ වගේ පසුබිමක් හදාගන්නත් හමිෂ්ගේ බලාපොරොත්තුවක් තිබුණා. මොකද එක වතාවක් එයා අයර්ලන්තයයි ස්කොට්ලන්තයයි අතර තියෙන හෝලි අයිලන්ඩ් කියන දූපතේ සංචාරයකට ගියා. එතැන ඔක්කොම හිටියේ වියට්නාමයෙන් වගේ රටවලින් ආපු භික්ෂූන් වහන්සේලා. එතැනදී හමිෂ් බෞද්ධ දර්ශනය ගැන ගොඩාක් දේවල් අත් විඳින්න ඇති. ඊට පස්සේ දවසක මට කිව්වේ ‘රංගිතා ඔයා බෞද්ධ දර්ශනය ගැන කියපු සේරම දේවල් ඇත්ත‘ කියලයි.‘ ඇය එසේ කීවාය.
සිය ළමා විය හොංකොං දේශයේ ගත කළ හමිෂ් හාර්ඩින්ට ගවේෂණය හිත යොමු වූයේ 1969 දී සඳට ගිය ‘ඇපලෝ දෙක‘ රොකට්ටුව යළි පෘථිවියට පැමිණීම රූපවාහිනිය ඔස්සේ නැරැඹීමෙන් පසුවය. ඒ වන විට පස් හැවිරිදි වියෙහි පසු වූ ඔහු අවුරුදු 13 වෙද්දී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ තරුණ සංවිධානය මෙහෙය වූ ගුවන් පුහුණු කඳවුරට එක්වූයේ සිය අනාගත බලාපොරොත්තු ඉටු කරගැනීමටය. ඒ බලාපොරොත්තු දිනෙන් දින ඉහළ ගිය අතර, සිය අරමුණු ඉටු වනතුරු ආපසු හැරුණේ ද නැත.
ලින්ඩා නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමඟ විවාහ වී සිටි හමිෂ්ට රොරී සහ ගිල්ස් නමින් පුතුන් දෙදෙනකි. ඊට අමතරව ඔහුට පළමු විවාහයෙන් ලොරේන් සහ බ්‍රයන් නමින් තවත් දරුවන් දෙදෙනෙකි. ලින්ඩා සහ දරුවන් දැනට ජීවත් වන්නේ ඩුබායි නුවරය.
හමිෂ් ත්‍රාසජනක වැඩ කිරීමට පමණක් නොව අනෙක් අය ද ඊට කැමති කරගැනීමට දැක්වූයේ පුදුමාකාර දක්ෂතාවකි. එමෙන්ම තමා අත්කර ගන්නා සියලු ජයග්‍රහණ සඳහා තවත් කෙනකු සම්මාදම් කරගැනීමට ඔහු නිරතුරුවම අවධානය යොමු කර තිබිණි. මීට වසර කිහිපයකට පෙර ඔහු දක්ෂිණ ධ්‍රැවයට බස් ඕල්ඩ්‍රින් කැටුව ගියේය. බස් ඕල්ඩ්‍රින් යනු ඇපලෝ දෙක රොකට්ටුවෙන් සඳ මත පා තැබූ ලොව දෙවැනි මිනිසාය. මේ ගමනින් පසු ඕල්ඩ්‍රින් දක්ෂිණ ධ්‍රැවයට ගිය ලොව වයස්ගතම මිනිසා ලෙස වාර්තා පොතට එක් විය. ඊට වසර හතරකට පසු හමිෂ් සිය වැඩිමල් පුත්‍රයා ගිල්ස් රැගෙන නැවත දක්ෂිණ ධ්‍රැවයට ගිය අතර, ගිල්ස් හාර්ඩින් වාර්තාපොතට එක් වූයේ දක්ෂිණ ධ්‍රැවයට ගිය ලොව ළාබාලතම පුද්ගලයා හැටියටය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 12කි.
‘හමිෂ් ජනප්‍රිය චරිතයක් වගේම ප්‍රතිපත්තිගරුක කෙනෙක්. ඇසුරු කළේ යම්කිසි වැඩක් කරන්න පුළුවන් අය විතරයි. ඒ අතර මාත් හිටපු එක ගැන මට හරි සතුටුයි. ඔහු සමීපව ඇසුරු කළ එකම ශ්‍රී ලාංකිකයා මම වෙන්නත් ඇති. මට අන්තිමට කතා කරපු වෙලාවේ කිව්වේ මෙච්චර ලොකු දේවල් කරලා ඔයා ඇයි දැන් ලංකාවට වෙලා විවේකීව ඉන්නේ කියලා. ඇවිත් මා එක්ක වැඩ කරන්න කියලත් කිව්වා. එතකොට මම කිව්වේ අවුරුදු 25කට වැඩිය වැඩ කරපු නිසා මට දැන් විවේකය අවශ්‍යයි කියලයි. ඒත් එක්කම මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පවා ආරම්භ කරලා ඉන්න නිසා ඒකටත් මට කාලය අවශ්‍යයයි කියලයි. හමිෂ්ගේ මරණය එයාගේ දරුවන්ටත්, ලින්ඩාටත් ලොකු වේදනාවක් වේවි. එයාලට මම මගේ ශෝකය ප්‍රකාශ කරනවා.‘ රංගිතා අවසන් වශයෙන් එසේ කියා සිටියාය.
ඡායාරූප - ශාන් රූපස්සල