
භාෂාවක් අවැසි වන්නේ එකිනෙකා හා සන්නිවේදනයේ යෙදීමටයි. සන්නිවේදන කාර්යය නිසි පරිදි සිදු නොවූ විට එකිනෙකා කෙරෙහි ඇතිවන අනවබෝධයෙන් විවිධ ගැටලු මතු විය හැකිය. එහි ප්‍රතිඵල හොඳින්ම විඳි රටක් ලෙස අපට එය මැනවින් පැහැදිලිය. භාෂා කිහිපයක් දැන සිටීම මඟින් දැනුම වැඩිකර ගැනීමට මෙන්ම වැඩි පිරිසක් සමඟ කිසිදු බාධාවකින් තොරව සන්නිවේදන ක්‍රියාවලියේ නියැළිය හැකිය.
අපේ රටේ රජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගේ භාෂා දැනුම ඉහළ නැංවීම් වස් විවිධාකාර වූ වැඩසටහන් දියත් කෙරේ. ඒ අනුව රාජ්‍ය භාෂා සතියක් නම් කොට එම සතිය තුළ දී විවිධ වූ ක්‍රියාකාරකම් සිදු කරයි. මේ ගැන වැඩි දුරටත් කරුණු දැන ගැනීමට අපි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා, ප්‍රින්ස් සේනාධීර මහතා හමු වුණෙමු.
රාජ්‍ය භාෂා සතියක් පැවැත්වීමේ අරමුණ කුමක්ද?
සෑම වසරකම ජූලි මස 01 වැනි දා සිට 05 වැනි දින දක්වා රාජ්‍ය භාෂා සතිය ලෙස සැලකෙනවා. මේ සතිය තුළ දී තරුණ පිරිස වෙනුවෙන් මෙන්ම පාසල් සිසුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. මෙතැනදී අපි බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය භාෂා සම්බන්ධයෙන් සමාජයේ විවිධ තරාතිරම්වල, විවිධ කොටස්වල අවධානය ලබා ගැනීමයි. ඒ වගේම ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන්න. ලෝකයේ භාෂා හත්දහසකට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. අපේ රටේ සිංහල හා දෙමළ භාෂා ලෝකයේ ඇතිවන නව ප්‍රවණතා සමඟින් වෙනස් විය යුතුයි. එසේ නැති වූ විට මේ භාෂා දෙකත් ලෝකයේ පැවැති බොහෝ භාෂා මෙන් මළ භාෂා බවට පත් වෙනවා.
ඒ නිසා ජනතාව මේ පිළිබඳ දැනුම්වත් කිරීමට රාජ්‍ය භාෂා සංරක්ෂණය කරමින් සහ ඒවා කාලීන අවශ්‍යතා අනුව වැඩි වර්ධනය කිරීමට මේ රාජ්‍ය භාෂා සතිය තුළ දී ක්‍රියා කරනවා. විශේෂයෙන් ම මේ සතිය ඇතුළත රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මෙහිදී සිංහල සහ දෙමළ භාෂාවල උන්නතිය වෙනුවෙන් කටයුතු කළ සහ ඒ වෙනුවෙන් දැනටමත් සිදුවෙන කටයුතු ඇගයීමක් සිදු කරනවා. මෙහිදී අප දැනගත යුතු මූලිකම දෙයක් වන්නේ භාෂා අයිතිය යනු පුරවැසි අයිතිය බව. ඒ කියන්නේ මේ රටේ සිටින ඕනෑම පුරවැසියකුට රාජ්‍ය භාෂා දෙකෙන් තමා කැමැති භාෂාවකින් සේවය ලබා ගැනීමට අයිතියක් තිබිය යුතුයි. එය රජයේ සේවකයකුට ප්‍රතික්ෂේප කිරීමේ කිසිදු අයිතියක් නැහැ. මෙහිදී රාජ්‍ය භාෂා සතියේ අවසාන දිනයේ දී මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.
රාජ්‍ය භාෂා ඉගෙනීමේ වැදගත්කම ගැන පැහැදිලි කිරීමක් කරනවා නම්...
මුලින් ම 1956 දී රාජ්‍ය භාෂා පනත යටතේ රාජ්‍ය භාෂාව ලෙස නම්කොට තිබුණේ සිංහල භාෂාව පමණයි. නමුත් 1958 දී පමණ පැමිණි දෙමළ විශේෂ විධි විධාන පනත යටතේ උතුරු නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව දෙමළ ලෙස සැලකුණා. නමුත් රාජ්‍ය භාෂාව අතරට දෙමළ භාෂාව ප්‍රධාන ලෙස පැමිණෙන්නේ 1978 ව්‍යවස්ථාවේ සිදු කළ 13වැනි සංශෝධනයත් සමඟයි. මේ වෙනතෙක් දෙමළ ජනතාවට තමාගේ කටයුතු රාජ්‍ය ආයතනයකින් සිදුකර ගැනීමේ දී බොහෝ අපහසුතාවලට මුහුණ දීමට සිදු වුණ බව අපි දන්නවා. අවුරුදු 30ක පමණ කාලයක් ලෙයින් යකඩෙන් විසඳා ගැනීමට තැත් කරමින් යුධ වැදීමට මේ පීඩාවන් පවා හේතු වුණා. මේ වෙන විට දෙමළ ජනතාවට තමාගේ භාෂාවෙන් හා සිංහල ජනතාවට සිංහල භාෂාවෙන් සේවය ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
විශේෂයෙන් ම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හැටියට මේ වන විට උතුරු නැගෙනහිර සිංහල භාෂා පාඨමාලා විශාල ප්‍රමාණයක් පවත්වනවා. ඒ වගේම දකුණේත් දෙමළ භාෂාව පිළිබඳ පාඨමාලා විශාල ප්‍රමාණයකුත් අපි පවත්වනවා. ඒ නිසා මේ ජාතීන් දෙක අතර යම් දුරස්ථ බවක්, එකිනෙකා අතර සන්නිවේදනය කිරීමට නොහැකි තත්ත්වයක් තිබුණා නම් එම බාධකය ජය ගැනීමට තමයි අපි උත්සාහ කරන්නේ.
ඒ සඳහාම අපි ලබන වසරේ සිට අලුත් වැඩපිළිවෙළක් සූදානම් කළා. එහිදී දෙමළ භාෂා පාඨමාලාව කරන 100 දෙනෙක් අපි දුම්රියෙන් යාපනයට රැගෙන ගිහින් ඔවුන් එහි සිංහල භාෂා පාඨමාලාව හදාරන සිසුන් 100 දෙනකුගේ නිවෙස්වල සතියක් නතර කරනවා. මෙහිදී තමාගේ නිවෙසේ සිටින පුද්ගලයාගේ බරපැන දරන්නෙත් ඒ නිවෙසේ අයමයි. නමුත් ඔවුන් එහිදී කතා කළ යුත්තේ දෙමළ භාෂාවෙන් පමණයි. ඉන් පසුව අපි එම දෙමළ සිසුන් සියදෙනා සිංහල සිසුන්ගේ නිවෙස්වල සතියක් නවත්වා තබනවා. එහිදී එම සිසුන් කතා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණයි. මෙයින් අපි බලාපොරොත්තු වන්නේ භාෂාව ප්‍රායෝගිකවත් භාවිතයට ගැනීමට එම සිසුන්ට අවස්ථා සලසා දීමටයි. මෙහිදී භාෂාව හඳුන්වා දීම පමණක් නෙවෙයි සිදුවන්නේ.. එකිනෙකාගේ සංස්කෘතීන් පවා හඳුනාගැනීමේ අවස්ථාවක් ඔවුනට උදා වෙනවා. මෙය මෙතනින් නොනවත්වා, රජයේ නිලධාරීන් පවා එසේ හුවමාරු කරමින් සංස්කෘතික හුවමාරුවක් කිරීමට අනාගතයේ කටයුතු කරනවා.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් ඉටුවෙන්නේ මොන වගේ කාර්ය භාරයක්ද?
මෙහිදී දැනට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සිංහල භාෂාව කතා කරන අයට දෙමළ භාෂාවත්, දෙමළ භාෂාව කතා කරන අයට සිංහල භාෂාවත් ඉගැන්වීමට ලංකාව පුරා දෙමළ භාෂා හා සිංහල භාෂා පාඨමාලා පවත්වනවා. මෙහිදී අපි කියන්නේ නැහැ අපි දෙන පැය 200 -150 පාඨමාලා වලින් භාෂාවේ ප්‍රවීණයෙක් වෙන්න පුළුවන් කියලා. නමුත් උත්සාහයක්, උනන්දුවක් තියෙන අයට අපි මූලික අකුරු, ව්‍යාකරණ, වාක්‍ය ගොඩනගන ආකාරය කියාදුන් පසුව එතැනින් එහාට භාෂාව වර්ධනය කරගැනීමට පුළුවන්. එහෙම භාෂා දැනුම වර්ධනය කරගන්නා අයට අපි විභාගයක් පවත්වා අමතර වැටුප් වර්ධකයක් ලබා දෙනවා.
ඊට අමතරව අපේ දෙපාර්තමේන්තුව තුළ අනෙකුත් විදේශීය භාෂාවන් ඉගැන්වීමේ පාඨමාලාවන් පැවැත්වෙනවා. එහි පළමු කණ්ඩායම මැයි අග විසිරිලා ගියා. දෙවැනි කණ්ඩායම ජුනි මාසයේ දී බඳවා ගත්තා. ඔවුන් දෙසැම්බරයේ දී විසිරී යාමට නියමිතයි. නැවතත් ජනවාරි මාසයේ දී කණ්ඩායමක් බඳවා ගන්නවා. ජර්මන්, ප්‍රංශ, ජපන්, ඉංග්‍රිසි, කොරියන්, චීන යන භාෂා ඉතාමත් අඩු මුදලට, සම්පත් දායකයාට ගෙවන මුදල පමණක් අයකරගෙන පවත්වන්නේ.
ඒ වගේම රජයේ නිලධාරීන්ගේ භාෂාව සම්බන්ධ සියලුම විභාග පැවැත්වීම, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, පිළිතුරුපත්‍ර බැලීම ඇතුළු සියලුම කාර්යයන් සිදු කරනු ලබන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින්. රජයේ නිල පරිවර්තකයා වෙන්නෙත් අපි. කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය රහස් ඔත්තු සේවය, පොලීසිය, ආරක්ෂක අංශය වැනි සියලුම ආයතනවල පරිවර්තන සිදු කරන්නේ භාෂා දෙපාර්තමේන්තුවේ පරිවර්තකයන් විසින්. ඉන්පසුව තමයි ඒවා නිල පරිවර්තනයක් ලෙසින් පිළිගන්නේ. උදාහරණයක් ලෙස පසුගිය දවස්වල අපි බරපතළ වංචා දූෂණ කොමිසන් සභාවේ වාර්තාව, බැඳුම්කරය සම්පූර්ණයෙන් ම පරිවර්තනය කිරීම හරිම අසීරු කටයුත්තක් වුණා. එයට අවුරුදු එකහමාරක් පමණ ගතවුණා. ආයතන සංග්‍රහය දෙමළ භාෂාවට පරිවර්තනය කළා. මෙවැනි රජයේ සියලුම සිංහල, දෙමළ, ඉංග්‍රීසි පරිවර්තන කටයුතු අපි විසින් සිදු කරනවා.
සිංහල හා දෙමළ භාෂාවලට අලුත් වචන එකතු කිරීමේ කාර්ය, පද මාලා සම්පාදනය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කාර්යයක්. ලෝකයේ අලුතින් ඇතිවන තත්ත්වයන් සමඟ නව තාක්ෂණීක වචන, නව විෂයධාරාවලට අදාළ වචන විශේෂයෙන් ම තොරතුරු තාක්ෂණ විෂයට අදාළ වචන ආදිය අපි අලුතෙන් සකසනවා. එලෙසින් අලුත් පද මාලා සැකසීම සිදු නොකළහොත් අනෙකුත් භාෂාවන් හා තරග කිරීමට නොහැකිව අපේ සිංහල හා දෙමළ භාෂාවන් ඉබේම ගැළවී යනවා. මේ නිසා ලෝකයේ සංරක්ෂණය කළ යුතු භාෂාවන් අතරින් සිංහල භාෂාව 23 වැනි ස්ථානයේ තිබෙන බව යුනෙස්කෝ සංවිධානයත් පසුගියදා ප්‍රකාශයට පත් කළා. එක් එක් විෂයයන්ට අදාළ පාරිභාෂික වචන පවා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් තමයි සකස් කළේ. මෙහිදී ඒ සඳහා ඒ ඒ විෂයයන්හි ප්‍රවීණයන්, ආචාර්ය, මහාචාර්යවරුන්ගේ උපදේශකත්වය ලබා ගන්නවා.
භාෂා ප්‍රවර්ධනය හා උන්නතිය වෙනුවෙන් විවිධ ප්‍රකාශන එළිදැක්වීමත් සිදු කරනවා. අප සතුව භාෂාවට අදාළ ඉතා දුර්ලභ වටිනා පොත්පත් ඇතුළත් පුස්තකාලයක් තිබෙනවා. එය ඕනෑම අයකුට භාවිත කරන්න පුළුවන්. බොහෝ විශ්වවිද්‍යාල සිසුන් හා ආචාර්ය මහාචාර්යවරුන් පවා එය පරිශීලනය කරනවා. මේ සියල්ලම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන කාර්ය භාරයන්.
රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් සිදු කරන කාර්ය භාරයන් මොනවද?
රාජ්‍ය භාෂා ප්‍රවීණතා පාඨමාලාව සම්පූර්ණ කළ කණ්ඩායමකට සහතික පත් ප්‍රදානය, සිංහල හා දෙමළ පාඨමාලා සහ අනෙකුත් විදේශීය භාෂා පාඨමාලා සම්පූර්ණ කළ විශ්ව විද්‍යාල සහ පාසල් සිසුන් ගණනාවකට සහතික පත් ලබා දීම, බදුල්ල දිස්ත්‍රික්කයේ යෞවන සමාජ අධ්‍යක්ෂතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව පුස්තකාලවලට පොත් ලබා දීමක් සිදු කරනවා. භාෂා පරිවර්තන සංචිතයක් අප සතුයි. එහි සිටින්නේ පරිවර්තකයින් ලෙස රාජ්‍යසේවයේ කටයුතු කිරීමෙන් පසුව විශ්‍රාම ගිය පිරිසක් අප මේ සංචිතයට අනුයුක්ත කළා. මේ රටේ විවිධ රාජ්‍ය ආයතනවල පරිවර්තන කටයුතුවලදී ඔවුන් තමයි ක්‍රියා කරන්නේ. අප මේ රාජ්‍ය භාෂා සතියේ දී ඔවුන්ව ඇගයීමටත් කටයුතු කරනවා. ලංකාවේ පරිවර්තන මාර්ගෝපදේශ සංග්‍රහයක් මෙතෙක් කල් තිබුණේ නෑ.
පළමු වරට අපි කැනඩාවේ විශ්වවිද්‍යාලයක් සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ද සම්බන්ධ කරගෙන මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසුවා. පසුගිය වසරේ එහි සිංහල හා ඉංග්‍රීසි පරිවර්තනය කළා මේ වසරේ දෙමළ පරිවර්තනය සිදුකර විශේෂයෙන් ම භාෂා සතිය තුළ ජනගත කිරීමට කටයුතු කරනවා. භාෂාව වෙනුවෙන් පරිවර්තනය වෙනුවෙන් විශාල සේවයක් කළ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇගයීමත් මෙහිදී සිදු කරනවා. එමෙන්ම එතැනට රාජ්‍ය භාෂා කොමිසම, භාෂා පුහුණු අධ්‍යයන ආයතනයේ නිලධාරීන්, අමාත්‍යංශයේ රාජ්‍ය භාෂා අතිරේක ලේකම් තුමා ආදී සියලුම දෙනා පැමිණෙන නිසා රාජ්‍ය භාෂාව පිළිබඳ කතිකාවතක් ඇතිකර ගන්න මේ කටයුතු ඉදිරියට ගෙනයාමේ මූලාරම්භයක් ලෙසත් මේ රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් කරන වැඩසටහන යොදා ගන්න බලාපොරොත්තු වෙනවා.
පාසල්වල සිංහල හා දෙමළ භාෂාවන් ඉගැන්වීම වඩාත් කාලෝචිත ක්‍රියාවක්. ඒත් ඒ සම්බන්ධයෙන් අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
මේ වන විට පාසල්වල දෙවැනි බස ඉගැන්වීම සිදු කළත් එය නව වැනි පන්තියෙන් හමාර කරනවා. නමුත් මම හිතන්නේ එය දරුවන්ට ප්‍රමාණවත් නොවන බවයි. හැකිනම් අ.පො. ස. (උ.පෙළ) දක්වා ම දෙවන බස ඉගැන්වීමක් සිදු කරනවා නම් අපිට නැවතත් රාජ්‍ය සේවයට එන අයට රජයෙන් වියදම් දරමින් සිංහල හෝ දෙමළ භාෂාව ඉගැන්වීමට සිදු වන්නේ නෑ. ඔවුන්ට නිතැතින් ම භාෂාවේ ප්‍රවීණතාව ඇතිවෙනවා. එසේ නමුත් මෙය පාසල්වල දිගින් දිගටම ඉගැන්වීම අපහසු වී ඇත්තේ භාෂාවන් ඉගැන්වීමට සමත් භාෂා දෙකෙහිම ප්‍රවීණ හා දක්ෂ ගුරුවරුන් ප්‍රමාණයෙන් අඩු වීමයි. දෙමළ හා සිංහල භාෂා දෙකම හොඳින් හැසිරවිය හැකි පුද්ගලයන් අපේ සමාජයේ සිටින්නේ ඉතාම අඩු සංඛ්‍යාවක්. අපි ගුරුවරුන් බඳවා ගැනීමට 150ක් සම්මුඛ පරීක්ෂණයකට කැඳෙව්වත් ඉන් 10-12ක් වත් තෝරා ගැනීම හරිම අසීරුයි. ඇත්තටම භාෂා ප්‍රවීණත්වයක් ලබා ගන්නා අයට අනාගතයේ දී ගුරු වෘත්තියේ රැකියාවක් ලබා ගන්න පුළුවන්. එමනිසා මේ භාෂා දෙකේම ප්‍රවීණතාවක් තිබෙන අයට මෙය හොඳ අවස්ථාවක්.
මෙලෙසින් දිගින් දිගටම භාෂා ඉගැන්වීමෙන් සමාජයේ එක් එක් ජාතීන් අතර ඇති දුරස්ථභාවය දුරුකොට අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව මිත්‍රත්වයක් ඇතිකර ගැනීමට හැකිවේ. ඒ අනුව සංහිඳියාවෙන් පිරුණු සාමකාමී සමාජයක් බිහිකර ගැනීමට පුළුවන.
සටහන - අයන්ති උඩුගම්පල
ඡායාරූප - සුදත් මලවීර