රූපවාහිනී ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක ගයා රම්‍ය අල්විස් සමුගනී | Page 2 | සිළුමිණ

රූපවාහිනී ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක ගයා රම්‍ය අල්විස් සමුගනී

ශ්‍රි ලංකා ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම ගී පද රචකයකු හා ග්‍රන්ථ කතුවරයකු ද වූ ගයා රම්‍ය අල්විස් පසුගිය ජූනි 28 වෙනිදා සිය දිවි ගමන නිමා කළේය. මිය යන විට ඔහු 52 වැනි වියේ පසු විය.

කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වන ගයා රම්‍ය කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද්දේය. 1994 වසරේ නිෂ්පාදන සහකාරවරයකු ලෙස ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියට එක් වූ ඔහු ඒ ඔස්සේ කළ නිර්මාණ බොහෝය.1998 වසරේදී සිය ප්‍රථම නාට්‍ය වූ “මිරිඟු තෙර“ අධ්‍යක්ෂණය කරමින් නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඔහු විසින් ඉන් පසු ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළේය. ඔහු කළ වාර්තාමය වැඩසටහන් අතරින් යුද්ධයෙන් පසු මායිම් ගම්මානවල වෙසෙන්නන්ගේ ජන ජීවිතය ඉලක්ක කර ගනිමින් නිර්මාණය කළ “උත්තම පූජා“ වැඩ සටහන ඔහු කළ වැඩ සටහන් අතරෙන් කැපී පෙනෙන නිර්මාණයක් විය.

නැසී ගිය ප්‍රවීණ ගී පදරචකයකු වූ ඩෝල්ටන් අල්විස් බාලම පුතණුවන් වු ගයා රම්‍ය ගේ බිරිය අනූපා හිමාලි ප්‍රනාන්දු වන අතර එකම පුතණුවන් සංඛ ප්‍රභාස්වර ය. ගයා රම්‍ය අල්විස්ගේ අවසන් කටයුතු පසුගිය සිකුරාදා (30) කිරිල්ලවල පොදු සුසාන භුමියේදී සිදුකෙරිණී.

Comments