
ශබ්ද ශාස්ත්‍රය සිද්ධාන්තත් නමක් තබද්දී වැදගත්
ලියන නමම උච්චාරණයේදීත් ව්‍යවහාර කළ යුතුයි
නාමකරණයේ දී හෙවත් නම් තැබීමේ දී සැලකිය යුතු බොහෝ කරුණු අතරින් ඇතැම් කරුණු ජ්‍යොතිෂය සහ එහි ම කොටසක් වන ශබ්ද ශාස්ත්‍රය සමඟ ඍජු ව ම බැඳී පවතී. තවත් ඇතැම් කරුණු ව්‍යාවහාරික වශයෙන් නාමකරණයේ දී වැදගත් වන, එ නම් ප්‍රායෝගික භාවිතය සමඟ අදාළ වන කරුණු යි. එ බඳු ප්‍රායෝගික ව සැලකිය යුතු කරුණු කිහිපයක් මෙහි දී විමසා බැලේ.
කුමන භාෂාවක වුව ද ප්‍රධාන කොටස් දෙකක් පවතී. එ නම් ලේඛනය හා භාෂණය යි. නමකට ද මේ දෙක එක සේ අදාළ ය. එ නම් නමක් අපට ලියා දැක්විය හැකි ය; එ සේ ම එය උච්චාරණය කොට දැක්විය හැකි ය. මේ ස්වරූප දෙක ම එකක් විය යුතු ය.
වඩාත් පැහැදිලි ව කිවහොත් ලියන නම ම කියැවීමේ දී හෙවත් උච්චාරණයේ දීත් යෙදිය යුතු ය. ඇතැම් විට ඇතැම් පුද්ගලයන් ගේ ලේඛන දුර්වලතා, උච්චාරණ දුර්වලතා, නොසැලකිල්ල, නොදැනුම්වත්කම ආදි හේතු සාධක නිසා ලියන නමට වඩා වෙනස් නමක් කියැවෙන, කියැවෙන නමට වඩා වෙනස් නමක් ලියැවෙන අවස්ථා ඇත. මෙය හොඳින් පැහැදිලි කිරීම උදෙසා උදාහරණ කිහිපයක් විමසා බැලීම වටී.
අබිරු, අබිනඳ වැනි වදන් හුදු හෙළ වදන් ය. ඒ හා අනුරූප සංස්කෘත, පාලි වචන අභීරු, අභිනන්ද යනු යි. මේ දෙක පටලවා ගන්නා ඇතැම්හු අබිරු යනු ද අභිරු යැ යි (මහාප්‍රාණ) ‘භි’ අකුර යොදා ලියති. එ සේ ලියූ හැටියට ම ඒ වදන් උච්චාරණය කළ හොත් සිංහලයටත් නැති සංස්කෘතයටත් නැති ‘අපභ්‍රංශ’ වචන කියැවේ.
තවත් ඇතැම් විටෙක සඤ්ඤක අක්ෂර වෙනුවට මහාප්‍රාණ අක්ෂර ලියන බව ද දැකිය හැකි ය. උදාහරණ වශයෙන් ‘සඳනි’ යන නම ‘සධනි’ යැ යි ලිවීම දැක්විය හැකි ය. මෙයට හේතු වනුයේ සඤ්ඤක-මහාප්‍රාණ වෙනස නොදැනීම යි. එහෙත් ලියූ හැටියට ම යමකු මේ නම උච්චාරණය කළ හොත් එහි මුල් නමේ අරුතට ඉඳුරා වෙනස් අරුතක් ඒ නමින් ලැබේ. එ පමණක් නොව අක්ෂර සංයෝගයෙන් ලැබෙන යම් ප්‍රතිඵලයක් ඇත් නම් එය ද වෙනස් වේ.
නම් තැබීමේ දී කෙටි ස්වර අක්ෂරයකට පසු ‘හ්’ ශබ්දය සහිත අක්ෂරයක් යෙදුණ හොත් (හිතා මතා ම නිවැරදි ව එය උච්චාරණය නොකළ හොත්) ඉක්මන් උච්චාරණයේ දී ඇසෙන්නේ ඒ මුලින් ඇති කෙටි ස්වරයේ දීර්ඝ ස්වරූපය යි. ‘හ්’ ශබ්දය ලොප් වී (ඉවත් වී) යයි. උදාහරණ ලෙස ‘අහස්’ යන්න ඉක්මන් උච්චාරණයේ දී ‘ආස්’ යනුවෙන් අසන්නට ලැබීම දැක්විය හැකි ය. ව්‍යඤ්ජන අක්ෂරයක් සහිත අවස්ථාවල දී පවා මෙ සේ සිදුවන හැටි ‘දහස්’ යනු ‘දාස්’ යැ යි ඇසෙන සැටියෙන් පෙනේ. ‘වු’ යනු ද එ බඳු අකුරෙකි. වචනයක මුල එය යෙදුණු විට එහි ‘ව්’ ඉවත් වී ‘උ’ පමණක් ඇසේ. ‘වුවනි’ වැනි නමක් ‘උවනි’ යැ යි ඇසෙන්නේ එ බැවිනි.
ඇතැම් විටෙක එක් අකුරක් වෙනත් අකුරක ශබ්දයෙන් ද කියැවේ. ‘තිහස්’ යන නම ඉක්මන් උච්චාරණයේ දී ‘තියස්’ යැ යි ඇසෙන්නාක් මෙනි. ‘හ’, ‘ය’ ලෙස ඇසෙන එ බඳු වචන බෙහෙවින් යෙදේ.
ශබ්ද ශාස්ත්‍රීය සිද්ධාන්ත, යහපත් අරුත් මෙන් ම නිවැරදි උච්චාරණය ද පැහැදිලි ශ්‍රවණය ද නමක ඉතා වැදගත් අංගයන් බව සැලකිය යුතු ය.
සමන්ති අහුබුදු