
ලෝකයේ ඉහළම පෙළේ රූපලාවණ්‍ය ආයතනවලට සම්බන්ධ නිරූපණ ශිල්පිනියන් (Models) වීමට එම ක්‍ෂේත්‍රයේ කටයුතු කරන ශිල්පිනියන් හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැත. එය අතිශයින් දක්‍ෂ සහ රූමත් සුළු පිරිසකට පමණක් ලැබෙන අවස්ථාවකි. නමුත් අප මේ කියන්නට යන්නේ එවැනි දුර්ලභ අවස්ථාවක් හිමි කරගත් 14 හැවිරිදි ඉන්දියානු දැරියක ගැන ය. ඇයගේ නම මලීෂා ඛර්වා යි. මලීෂා පිළිබඳව ඇති සුවිශේෂීම කාරණය වන්නේ ඇය ලෝකයේ ලොකුම මුඩුක්කු නිවාස පද්ධතියක් ලෙස සැලකෙන මුම්බායි හි ධාරවි මුඩුක්කුවෙහි ජීවත් වන්නියක වීම ය.
එවැනි පරිසරයක ජීවත් වන්නියක වුව ද ඇය ඉතා කුඩා වියේ පටන්ම දුටු අපූරු සිහිනයක් විය. එනම් කවදා හෝ දිනෙක ප්‍රධාන පෙළේ නිරූපණ ශිල්පිනියක බවට පත් වීමයි. නමුත් ඇයගේ සමාජ ආර්ථික තත්ත්වය තුළ එය බොහෝ දුරට සදාකාලික සිහිනයක් පමණක්ම වීමට වැඩි ඉඩක් තිබිණි. එහෙත් දෛවය ඇයට එතරම් කුරිරු වූයේ නැත.
මලීෂා පවසන ආකාරයට ඇයත්, ඇයගේ මව, පියා සහ සොහොයුරාත් ගත කර තිබුණේ අතිශයින් දුඃඛිත සහ කරදරවලින් පිරි ජීවිතයකි. ‘මගේ ලොකුම ප්‍රශ්නය වුණේ අපිට කවදාවත් බඩ පිරෙන්න කන්න දෙයක් නොලැබීමයි. බොන්න වතුර හොයා ගන්න එකත් ඉතාම අසීරු වැඩක්. ඒ වගේම වැහි කාලයට අපේ ගෙවල් ඇතුළේ නිදාගන්න හරි අමාරුයි. ගෙදර වහල ලොකු වැස්සකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතිං අපි නිදා ගන්නේ ලොකු ඉටි කොල යටට ගුලි වෙලා. ඒත් හයියෙන් සුළඟ හමනකොට ඒවත් ගහගෙන යනවා’ තම දුක්බර ජීවිතය ගැන මලීෂා විස්තර කරන්නේ එලෙසිනි.
අගහිඟකම් මැද ජීවත් වුවත් ඇයට ආකර්ෂණීය රූපයක් පිහිටා තිබිණි. මොන දුෂ්කරතා තිබුණත් අධ්‍යාපනය ගැන ඇය උනන්දුවක් දැක්වූ නිසා ඉංග්‍රීසි භාෂාව ද ඇයට හොඳින් හැසිරවිය හැකි විය. මේවා ද ඇයගේ ඉරණම වෙනස් කරන්නට දායක වූ ආකාරයක් දැකිය හැකිය.
මලීෂාගේ ජීවිතය අලුත්ම මාවතකට යොමු වන්නට පටන් ගත්තේ ඉන්දියාවට පැමිණි හොලිවුඩ් රංගන ශිල්පියකු නිසා ය. සිනමා නළුවකු වන ඔහුගේ නම රොබට් හොෆ්මාන් ය. 2020 වසරේ හොෆ්මාන් ඉන්දියාවට පැමිණියේ සංගීත වීඩියෝවක වැඩ කටයුතු සඳහා යි. මෙම වීඩියෝවේ රූපගත කිරීම්වලින් පසු හොෆ්මාන් යුරෝපය බලා පිටත් වීමට නියමිතව සිටියත් ඒ වන විට ලොව පුරා පැතිරෙමින් තිබූ කොවිඩ් වසංගතය ඔහුට හරස් විය. මේ නිසා ඔහුට ටික දිනක් ඉන්දියාවේම ගත කරන්නට සිදුව තිබිණි. ධාරවි මුඩුක්කුවෙහි සිටි මලීෂා ඔහුට හමු වූයේ මෙම කාලයේයි. හොෆ්මාන්ට ඇය ගැන පවසා තිබුණේ ඔහුගේ මිත්‍රයකු බව සඳහන් වේ. මලීෂා ගැන මෙන්ම ඇයගේ පවුල ගැන ද ඔහු හොෆ්මාන්ට පවසා තිබිණි. තම පවුල වැටී සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ඇය නිරූපණ ශිල්පිනියක වීමට සිහින මවන බව ද හොෆ්මාන් තම මිතුරාගෙන් දැන ගත්තේය. ඔහු මලීෂා හමු වීමට පියවර ගත්තේ එයින් පසුව යි.
ජීවිතයේ මොන තරම් දුක්ගැහැට වින්දත් නිතර මලීෂාගේ මුහුණේ තැවරී තිබූ සුන්දර සිනහව ඔහුගේ සිත් ගත්තේය. නිරූපණ ශිල්පිනියක සහ නර්තන ශිල්පිනියක වීමට ඇය තුළ ඇති ආශාව ගැන හොෆ්මාන්ට මලීෂාගෙන් තවදුරටත් දැන ගන්නට ලැබිණි. මේ සියල්ල දැන ගැනීමෙන් පසු ඔහු ඇය වෙනුවෙන් ඉන්ස්ටග්‍රෑම් පිටුවක් විවෘත කළේය. එහි ඇය ගැන, ඇයගේ හැකියාවන් ගැන වීඩියෝවක් ද ඇතුළත් වූ බැව් සඳහන් වේ. මලීෂාගේ මෙම ඉන්ස්ටග්‍රෑම් පිටුව ෂෙයාර් කිරීමට ද හොෆ්මාන් කටයුතු කර තිබිණි. කෙසේ හෝ වේවා, ඇයගේ වාසනාවට මෙම සමාජ මාධ්‍ය පිටුව විශාල ආකර්ෂණයක් දිනාගන්නට සමත් විය. මේ හරහා මලීෂා වටා විශාල රසික පිරිසක් නිර්මාණය වන්නට පටන් ගත්තේය. ඇය හැඳින්වුණේ ’මුඩුක්කුවේ කුමාරිකාව’ (Princess of the Slums) යන නමිනි. ඉතාම කෙටි කාලයක් තුළ ලක්‍ෂ ගණනක පිරිසක් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව හා සම්බන්ධ වූවෝය. මේ තුළින් ඇයට බොහෝ අවස්ථාවන් විවර වීමට වැඩි කලක් ගියේ නැත.
අද වනවිට මෙම ‘මුඩුක්කුවේ කුමාරිකාව’ ලෝකයේ ඉහළම පෙළේ රූපලාවණ්‍ය සමාගමක් වන Forest Essentials සමාගමේ නිල නිරූපණ ශිල්පිනියක බවට පත් වීමට සමත්ව සිටියි. එයින් පසු ඇය එක් අවස්ථාවක එම ආයතනයේ ප්‍රදර්ශනාගාරයකට ඇවිද යන අන්දමත්, එහි ඇති තමාගේ විශාල ඡායාරූපයක් දෙස පුදුමයෙන් බලා සිටින අන්දමත් දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ මහත් ආකර්ෂණයක් දිනාගෙන තිබිණි.
මුඩුක්කුවක ඉපදුණත් ඇය නිරූපණ ශිල්පිනියක වීම සඳහා පස්වැනි වියේ සිට දුටු සිහිනය අද සැබෑ වී තිබේ. කවදා හෝ මලීෂාගේ නම ලොව ඉහළම පෙළේ නිරූපණ ශිල්පිනියන්ගේ නම් අතර සටහන් වන්නට වුව ද බැරිකමක් නැත. තවමත් ඇය සිය ගමන ආරම්භ කළා පමණි. ඇය යන මේ ගමන ලොව පුරා විසිර සිටින, බොහෝ දුක්ගැහැට මැද වුවත් ජීවිතය පිළිබඳ සුන්දර සිහින දකින සුවහසක් යුවතියන්ට මහත් වූ ආදර්ශයක් වනු නොඅනුමාන ය.