බේස්ලයින් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට මහ සඟරුවනේ එකඟතාව | Page 2 | සිළුමිණ

බේස්ලයින් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට මහ සඟරුවනේ එකඟතාව

ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කළ අවස්ථාව

ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කර ගැනීමට සහ විකල්ප වැඩපිළිවෙළක් සඳහා සහයෝගය ලබාදීමට මහා සංඝරත්නය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා හමුවේ එකඟතාව පළ කර තිබේ.

කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන බේස්ලයින් මාර්ගයේ, අනවසරයෙන් ඉදිකර ඇති ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ඉදිකිරීම් කඩිනමින් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන අතර ඊට අදාළව ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

එහිදී අධිකරණ නියෝගයට අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ නීති නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කළ අතර මෙම මාර්ගය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත කුලුනු මත දිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලසුම් මේ වන විටත් සකසා ඇති අතර, ඒ සඳහා ලබාගැනීමට නියමිත විදේශ ණය ආධාර සඳහා ගිවිසුම්ගතව තිබෙන්නේ අදාළ සැලසුම් පිළිබඳව පූර්ණ එකඟතාව සහිතව බැවින් එහි සැලසුම් නැවත වෙනස් කිරීමේ හැකියාවක් හෝ නීත්‍යානුකූල බලයක් නොමැති බව ද අමාත්‍යවරයා විසින් මහා සංඝරත්නය වෙත කරුණු පැහැදිලි කර දී තිබේ.

අමාත්‍යවරයා විසින් සිදුකරන ලද පැහැදිලි කිරීම්වලට අනුව අදාළ අධිකරණ නියෝගයට ගරු කරමින් ජාතික සංවර්ධන අවශ්‍යතාවක් ලෙස සලකමින් සිදු කෙරෙන මෙම කටයුතු සඳහා සහාය දක්වමින් විහාරස්ථානයේ ඉදි කිරීම් ඉවත් කිරීමට සහාය ලබාදීමට මහා සංඝරත්නය සහ දායක සභාවේ නියෝජතයන් එකඟතාව පළ කර ඇත.

ඒ අනුව අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර වඩාත් සුදුසු විකල්ප ක්‍රියාමාර්ගයක් සඳහා යොමුවීමට දෙපාර්ශ්වයේම එකඟතාව පළ විය.

එතෙක් දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා තීන්දුව ලැබෙන තුරු හෝ විකල්ප වැඩපිළිවෙළක් සඳහා එකඟතාවක් ඇති කර ගන්නා තෙක් මෙම ඉදිකිරීම් ඉවත් නොකරන බව අමාත්‍යවරයා විසින් ගෞරවනීය මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කරන ලදී. විහාරස්ථ දායක සභාවේ නියෝජිතයන්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, නීතී අංශයේ, සැලසුම් අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්වූහ.

Comments