නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට නොතිබිය යුතු දෝෂ 18 මෙන්න | Page 2 | සිළුමිණ

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට නොතිබිය යුතු දෝෂ 18 මෙන්න

ප්‍රධාන දොරට ඉදිරියෙන් අතුපතර විහිදුණු ගසක් තිබීමත් හොඳ නෑ

දෝෂ මඟ හැර ප්‍රධාන දොර තැබීම සුදුසුයි

මේ දෝෂ ප්‍රධාන දොර ඉදිරිපිට නම්  නිවැසියන්ට අසුබයි

 

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට නොතිබිය යුතු අශුභතා දහඅටක් අෂ්ට දශවේද දෝෂ නමින් වාස්තු විද්‍යාවේ පෙන්වා දී ඇත. සෘෂිවරුන් විසින් දක්වා ඇති මෙම අසුබ කරුණුවලට නිවසේ ප්‍රධාන ද්වාරය එල්ල වී ඇත්නම් එය නිවැසියන්ට මහත් පීඩා ගෙන දීමට හේතුවක් වේ. එබැවින් ඔබ නිවසක් ඉදි කිරීමේ දී හෝ දැනට පදිංචි නිවසේ මෙබඳු දෝෂ හඳුනාගෙන, ඒවා මඟ හැර කටයුතු කිරීමෙන් වඩාත් වාසනාවන්ත නිවසක් බවට ඔබේ නිවස පත් කර ගත හැකි වනු ඇත.

1. බ්‍රහ්ම වේද දෝෂය

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපස බිත්තියේ හරි මැදින් එනම් බ්‍රහ්ම පාදය දර්ශනය වන පරිදි තැබීම බ්‍රහ්ම වේද දෝෂයයි. මෙමඟින් නිවැසියන්ට කීර්ති ප්‍රශංසා අහිමි වන අතර සොර සතුරු බිය ඇති විය හැකිය.

2. වෘක්ෂවේද දෝෂය

නිවසේ ප්‍රධාන දොරටුවට එල්ල වන සේ අතු පතර විහිදුණු විශාල ගසක් පිහිටීම වෘක්ෂ වේද දෝෂයයි. එමඟින් නිවසට ආලෝකය නොලැබීම, සුළඟින් හානි සිදුවීම මෙන්ම මෙම දෝෂයෙන් ගෙහිමියාට හා දූ දරුවන්ට හානි, සොර සතුරු කරදර, සතුන්ගෙන් හානි, දියුණුවට බාධා වැනි අහිතකර ප්‍රතිඵල ඇති වේ.

3. සුසාන වේද දෝෂය

නිවසේ ප්‍රධාන ප්‍රධාන දොරටුව ඉදිරිපිට සුසාන භූමියක්, ආදාහනාගාරයක්, සොහොන් කොත් ආදිය පිහිටිම සුසාන වේද දෝෂයයි. මෙම දෝෂය නිසා ධන විනාශය, රෝග පීඩා, සිත්තැවුල්, නිවස තුළ හා අසල්වැසියන් සමඟ සාමය සමගිය බිඳ වැටීම, ⁣ගෘහ මූලිකයා නිවසේ නොරැඳීම වැනි දේ සිදු විය හැකිය.

4. මාර්ග වේද දෝෂය

නිවසේ ප්‍රධාන දොරට එක එල්ලේම පාරක වංගුවක් හෝ හන්දියක් පිහිටා තිබීමෙන් ගෙහිමියාට කරදර බාධක, රෝග පීඩා, විපත්, රාජ බය, සොර බය, මරණ බය ආදිය ඇතිවිය හැකිය.

5. කෝණ වේද දෝෂය

නිවසේ ප්‍රධාන දොරට කෙළින් වෙනත් නිවසක මුල්ලක් පිහිටීම හෝ මංසන්ධියක්, නගර සන්ධියක්, ග්‍රාම සන්ධියක් පැවතීම මෙම දෝෂයට අයත් වේ. එයින් හදිසි අනතුරු, සොර සතුරු කරදර, භූත ප්‍රේත දෝෂ, බලාපොරොත්තු කඩවීම වැනි අසුබ දේ සිදු වේ.

6. පංක වේද දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට පාළු පතලක්, ගොහොරු වළක්, අපිරිසිදු මඩ වළක් පිහිටා තිබීමෙන් මෙම දෝෂය යෙදේ. මෙම දෝෂය ඇති විට නිවැසියන්ට නිතර රෝග පීඩා, සිතට අසහනය, සමඟියට බාධා, ගෞරවය කීර්තිය නැති වීම ආදිය සිදු වේ.

7. ස්තම්භ වේද දෝෂය

ප්‍රධාන දොරට ඉදිරියෙන් කණුවක් පිහිටා තිබීමෙන් ඇතිවන මෙම දෝෂය නිසා නිවසේ ස්ත්‍රීන් නොමනා ක්‍රියාවන්ට පෙලඹිය හැකිය. නිවස තුළ සාමය, සමගිය, යස ඉසුරු දුරු වන බවද සොර සතුරු බිය, දඬුවම් ආදි විඳීමට සිදුවන බව ද වාස්තු විද්‍යාවේ දැක්වේ.

8. වර්චස්ථාන වේද දෝෂය

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට වැසිකිළි, කැසිකිළි, කුණු කසළ දමන ස්ථාන ආදී අපිරිසිදු ස්ථාන පැවතීමෙන් නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම, සර්පයන් වැනි සතුන්ගෙන් බිය, සොර සතුරු බිය සහ සාමය බිඳ වැටීම් ආදිය ඇති වේ.

9. ජල නිර්ගමන වේද දෝෂය

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට බිත්තිය මෙන් තුන් ගුණයකට නුදුරින් ගලා බස්නා ඇළක් දොළක් වැනි දිය පාරක් පැවතීම ජල නිර්ගමන වේද දෝෂයයි. මෙබඳු පිහිටීම් ඇති විට නිවසේ අයට ලෙඩ රෝග, වස්තු විනාශ වීම, මැසි මදුරු උවදුරු, ජල ගැලීම් වැනි දේ ඇති විය හැකිය.

10. රජක වේද දෝෂය

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට රෙදි සේදීම සඳහා භාවිත කරන තොටමුණක්, පොදු ළිඳක් වැනි ස්ථානයක් පිහිටා තිබීම ද අසුබය. නිවැසියන්ට නිලතල තනතුරු ලබා ගැනීමට අපහසු වීම, සතුරු කරදර, සෞඛ්‍ය පිරිහීම, පෞද්ගලිකත්වයට හා කීර්තියට හානි වීම යන අසුබ යෙදේ.

11. රාජ වේද දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට රාජ්‍ය ආයතන, රාජරාජ මහාමාත්‍යාදීන්ගේ නිවාස, කාර්යාල, හමුදා මූලස්ථාන ආදිය පැවතීම රාජ වේද දෝෂයයි. මෙමඟින් රාජ බය, දණ්ඩ බය, සොර සතුරු කරදර, හදිසි විපත්, අනවශ්‍ය සබඳතා, දූ දරුවන්ගේ වැඩ කටයුතුවලට බාධා ඇතිවීම මෙන්ම නිවැසියන් තුළ ඊර්ෂ්‍යාව ක්‍රෝධ සහිත සිතිවිලි ද ඇති වේ.

12. කුම්භකාර වේද දෝෂය

උළු ගඩොල්, වළං, පෝරණු නිවස ඉදිරිපිට පිහිටීමෙන් මෙම දෝෂය යෙදේ. එබඳු නිවැසියන්ගේ ගේදොර, දේපළ පිළිබඳ ආරවුල්, නීති ප්‍රශ්න, සොර සතුරු බිය, බලතල අහිමි වීම, සෞඛ්‍යයට හානි ආදිය ඇති වේ.

13. කූප වේද දෝෂය

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට ළිඳක් පිහිටා තිබීම මෙම දෝෂයට අයත් වේ. මේ දෝෂය නිසා නිවැසියන්ට මානසික අසහනය, මීමැස්මොරය වැනි කල් පවතින රෝගාබාධ, සාමය සමගිය බිඳ වැටීම, නින්දා අපහාස විඳීමට සිදුවීම වැනි දේ සිදු වේ.

14. තිරශ්චීන වේද දෝෂය

ගව ගාල්, කුකුළු කොටු ,බලු කූඩු වැනි දේ ප්‍රධාන දොර ඉදිරිපිට පිහිටීමත්, ගව ඝාතකාගාර, මස් මාළු අලෙවි සැල් ආදිය නිවස ඉදිරිපිට පැවතීමත් මෙම දෝෂයට අයත් වන අතර එමඟින් නිවැසියන්ට ලෙඩ රෝග, මානසික බිඳ වැටීම්, නීති ගැටලු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ වීම, වස්තු විනාශ වීම, හදිසි විපත් ආදිය ඇති වන බව ශාස්ත්‍රීය නියමයයි.

15. දේවතා වේද දෝෂය

ප්‍රධාන දොරට එල්ල වන සේ බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා එවැනි මන්දිර පිහිටීමෙන් දේවතා වේද දෝෂය යෙදෙන අතර එවිට නිවැසියන්ට වස්තු විනාශය, බලාපොරොත්තු රහිත කරදර බාධක, මානසික ශක්තිය හීන වීම ආදී දෝෂ ගණනාවක් ඇති වන බව වාස්තු විද්‍යාවේ දැක්වේ.

16. ද්වාර වේද දෝෂය

නිවසේ ප්‍රධාන දොරට අබිමුඛව බිත්ති උසින් දෙගුණයකට වඩා වෙනත් නිවසක ප්‍රධාන දොර තිබීමෙන් ඇති වන මෙම දෝෂය නිසා නිවැසියන්ට කීර්ති ප්‍රශංසා, උසස් අයගේ සබඳතා අහිමි වන අතර සොර සතුරු බිය, ඇස්වහ කටවහ වැනි දේ ඇති වේ.

17. ම්ලේච්ඡ වේද දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට අහිගුණ්ඨික, පහත් අදහස් ඇති, පහත් වෘත්තීන්වල යෙදෙන අය හා අංශභාග වැනි රෝගාබාධ, මානසික ආබාධ ඇත්තන් සිටීමෙන් යෙදෙන මෙම දෝෂය නිසා නිවැසියන්ගේ දියුණුව අඩාළ වීම, මානසික ආතතිය, තනතුරු අහිමි වීම, සබඳතා බිඳ වැටීම, ධන හානිය ආදිය ඇති වේ.

18. ගණිකා වේද දෝෂය

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට ගණිකා මඩමක් තිබීම නිසා මෙම දෝෂය යෙදේ. මෙමගින් නිවැසියන්ගේ ආත්ම ගෞරවය පිරිහෙන බව ද වස්තු විනාශය, දූ දරුවන්ගේ පරිහානිය, අකල් මරණ, පවුලේ අසමගිය ඇති වන බවද ශාස්ත්‍රීය නියමයයි.

ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ආචාර්ය කපිල  ඉන්දික ගුණදාස

Comments