දබරැඟිල්ල හෙළි කරන රහස් | Page 2 | සිළුමිණ

දබරැඟිල්ල හෙළි කරන රහස්

නායකත්වය බලය ආත්ම විශ්වාසය දබරැඟිල්ලෙන්  ප්‍රකට කරයි

ගු රු මණ්ඩලයට සම්බන්ධ නිසා ගු රු ඇඟිල්ල නමින්ද හඳුන්වයි

දෙවැනි පුරුක කොටනම් මෝඩකම් කරන්නෙක්

 

මහපට ඇඟිල්ල සහ එහි පිහිටීම පිළිබඳව පසුගිය කලාපයෙන් විස්තර කළා ඔබට මතක ඇති. අද මම විස්තර කරන්නේ අතේ පිහිටි තවත් විශේෂ ඇඟිල්ලක් පිළිබඳවයි. "බලාගෙනයි" යනුවෙන් තර්ජනාත්මකව දික්කරන ඇඟිල්ල කුමක්ද කියා ඔබ දන්නවානේ. අන්න ඒ ඇඟිල්ල පිළිබඳවයි අද ඔබ දැනුම්වත් කරන්නේ. කෙනෙකුට තර්ජනය කරන අවස්ථාවක දිගු කරන ඇඟිල්ල නිසා මෙම ඇඟිල්ල තර්ජන ඇඟිල්ල නමිනුත්, අතේ ගුරු මණ්ඩලයට සම්බන්ධ ඇඟිල්ල නිසා ගුරු ඇඟිල්ල නමින් හඳුන්වන්නේ මෙයයි. මේ සමඟ පළවන රූප සටහන බලා අද අපි දබරැඟිල්ල පිළිබඳව කතා කරමු.

නායකත්වය, බලය, ආත්ම විශ්වාසය ප්‍රකට කෙරෙන දබරැඟිල්ල අතැඟිලි අතර ප්‍රකට තැනක් ගනී. දික්වූ මෙම ඇඟිල්ලෙන් ඉහත කී ගුණාංග බලවත්වද, කෙටි ඇඟිල්ලෙන් එම ලක්ෂණ දුබලවද පෙන්නුම් කරයි. දබරැඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක අයත්වන්නේ මේෂ රාශියටයි. අනිත් පුරුක් දෙකට වඩා මෙම පුරුක දිග නම් එම පුද්ගලයා තමන් පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව වැඩ කරන්නෙක් වෙයි. නමුත් ආත්මාර්ථකාමි බව ඔවුන් තුළින් කැපී පෙනෙයි. තමන්ගේම වාසිය බලාගෙන වැඩ කරන අයගේ දබරඟිල්ලේ පළමු පුරුක දිගට පිහිටා ඇති බව ඔබටම දැනගත හැකිය. කෙසේ වුවත් එවැනි අයට ව්‍යාපාරික කටයුතුවලින් ඉතා උසස් දියුණුවක් ලබාගත හැකි වන්නේ ඔවුන් තුළ ඇති කපටි, කෛරාටික බව නිසාමය. දබරැඟිල්ල මැදඟිල්ල තරමටම පිහිටියේනම් ඔවුහු උදාර ගති පැවතුම් ඇතත් උඩඟු ස්වභාවයක් ද පෙන්නුම් කරයි. ලස්සනට කැපී පෙනී සිටීමට උත්සාහ කරන ඔවුන් ඉන්ද්‍රියන් සතුටු කිරීමට වඩා ලොල් බවක් දක්වති. අසභ්‍ය කතා කියන්න දක්ෂ වගේම සමාජයේ කෙරෙන වැරදි වැඩවලටත් ඔවුන්ගේ සිත් ඇදී යන්නේ නිරායාසයෙනි. දබරැඟිල්ල කුඩා වීම කර්මාන්ත ආදියෙහි දක්ෂතාව පෙන්නුම් කළත් ඉක්මන් කෝප සහගත වීම ඔවුන්ගේ දුර්වලකමක් වෙයි. දබරැඟිල්ල මනාව දිග්ව පිහිටීම අන් අයව පාලනය කිරීමට දක්ෂ පාලකයෙකුගේ ලක්ෂණයකි. ඔවුන් බොහෝ විට ආධිපත්‍යය දරන්නෝය. උසස් වීමේ ආශාව ඇති අයයි. ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධ ඒකාධිපතියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ දබරැඟිල්ල අනිත් ඇඟිලිවලට වඩා දිග්ව පිහිටි බව සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන් වෙයි.

දබර ඇඟිල්ලේ මුල අයත් වන්නේ ගුරු මණ්ඩලයටයි. එම ස්ථානයේ පිහිටන කොටු සලකුණ ත්‍රිකෝණ, කතිර සලකුණ ඉතාමත් සුබයි. කතිර සලකුණ වාසනාවන්ත විවාහයක සංකේතයක් ලෙස සැලකේ.

දබර ඇඟිල්ලේ දෙවැනි පුරුක කොටවී නම් අනුවණකම් කිරීමට පෙලඹේ. අනිත් පුරුක් දෙකට වඩා දිගින් මහතින් යුක්තනම් බොහෝ කටයුතු එක විට පාලනය කිරීමට දක්ෂතාවක් පෙන්වයි. දබරැඟිල්ලේ මැද පුරුක අනිත් පුරුක්වලට වඩා දිගින් වැඩිනම් කීර්ති ප්‍රශංසා ලැබීමට දැඩි ආශාවක් දක්වන අතර ඔවුන් තමාගේ මුදල් යොදවා හෝ තමාගේ නම ප්‍රසිද්ධ කරගැනීමට උනන්දුවක් දක්වයි. මෙම පුරුක දිගින් මහතින් එක සමාන නම් ඔවුනට නියත වශයෙන්ම උසස් නිලතල හා නම්බුනාම ආදිය හිමි වෙයි. බොහෝ විට ජනතාව අතරද නායකත්වය හිමි වෙයි. මැද පුරුක සිහින්ව පිහිටියේනම් ඔවුනට උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙයි.

දබර ඇඟිල්ලේ තුන්වන පුරුක හෙවත් මුල පුරුක හිමි වන්නේ මිථුන රාශියටයි. මිථුන රාශියට හිමි සලකුණත් එම පුරුකේම පෙන්නුම් කර ඇත. එම පුරුක අනිත් පුරුක් දෙකට වඩා දිගින් වැඩිනම් එමඟින් තීක්ෂණ බුද්ධියක් ඇති පුද්ගලයෙකු හඳුන්වා දෙයි. දක්ෂ අයගේ අත්ලේ පිහිටන විශේෂ ලක්ෂණයක් ලෙස එය හැඳින්විය හැක.

දබරැඟිල්ල කෙටි වීම සුබදායක නොවේ. දිය යටින් ගින්දර ගෙන යා හැකි තරම් කපටි පුද්ගලයෙකුගේ ගතිගුණ එමඟින් පෙන්නුම් කරයි. එසේ වුවත් එවැනි අයට කාර්ය කටයුතුවලින් දියුණු විය හැකිය. ඉතාමත් කෙටි වූ දබර ඇඟිල්ලක් හිමි අය පහත් ගති ඇති පුද්ගලයෝ වෙති.

දබරැඟිල්ල මැදඟිල්ල දෙසට බරව පිහිටියේනම් එවැන්නෝ තමන්ට වඩා කෙනෙක් නැතැයි යන සිතිවිල්ල ඇති ආඩම්බරකාරයෝ වෙති. දබරැඟිල්ල මැද ඇඟිල්ල දෙසට බරව දබරැඟිල්ලත්, මැද ඇඟිල්ලත් අතර වැඩි හිදැස් වීමක් ඇති අය අන් අයගේ අවවාද නුරුස්සති.

දබරැඟිල්ලේ තුඩ හෙවත් කෙළවර කෝණාකාර වේනම් ඔවුන් කලා ළැදි හදවත් ඇති අය ලෙස හැඳින්විය හැක. සංගීතඥයන්, නළු නිළියන්, චිත්‍ර ශිල්පීන් වැනි අයගේ ඇඟිලි තුඩු මේ ආකාරයෙන් තිබෙනු දැකිය හැක.

අත්ලේ ඇඟිලි මත වැටෙන සියුම් රේඛා හා සලකුණු මගින්ද ඔබේ දෛවයේ යම් යම් තොරතුරු පෙන්නුම් කරයි. ඇඟිලි පුරුක් අතර යව සලකුණු (වී ඇට ලකුණු) සෞභාග්‍යයේ සංකේතයක් වෙයි. දබර ඇඟිල්ලේ මුදුන් පුරුකේ තාරකා ලක්ෂණය වඩා සුබ පල දෙන අතර බලාපොරොත්තු නොමැති හදිසි ධනයක් ලැබීමට ද එය හේතු වෙයි. මුල පුරුකේ චක්‍ර සටහනක් ඇති වීම අන් අයෙකුගේ වස්තුවකට හිමිකාරයෙකු වන බැව් ප්‍රකට කරයි.

ලබන කලාපයෙන් මැද ඇඟිල්ල පිළිබඳව බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

හිඹුටානේ පියතිලක ද අල්විස්

Comments