ගුවන් හමුදාව ඩොලර් මිලියන 100ක් සාම සාධක හමුදාවෙන් උපයයි | Page 4 | සිළුමිණ

ගුවන් හමුදාව ඩොලර් මිලියන 100ක් සාම සාධක හමුදාවෙන් උපයයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට පහසුකම් සැපයීම මගින් මේ වන විට ඇ‍ෙමරිකන් ඩොලර් මිලියන 100කට වඩා මුදලක් උපයා ගෙන ඇතැයි නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සිළුමිණට කීය. මේ තත්ත්වය තව දුරටත් වර්ධනය කර මේ වසරේ සිට එම විදේශ විනිමය උපයා ගැනීම තව දුරටත් වර්ධනය කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවේය.

වසර 6කට අඩු කාලයක් තුළ මේ මුදල් උපයා ගැනීමට අමතරව මෙහෙයුම්වලට සහභාගි වූ ගුවන් හමුදා නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ අනෙකුත් පහසුකම්ද එක්සත් ජාතීන් විසින් සපයා ඇති නිසා මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි වූ බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙවන් අතිවිශාල මුදලක් උපයා ගැන්මට හැකිව ඇත්තේ හෙලිකොප්ටර් යානා 3ක් හා ගුවන් හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් 110ක් වැනි සංඛ්‍යාවක් යෙදවීමෙන් බව පෙන්වා දුන් ගුවන් හමුදාපතිවරයා පැවසුවේ හැකි ඉක්මනින් සාම සාධක හමුදාවන්ට සැපයුම් කරන යානා හා නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු යොදන බවයි.

Comments