ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය - 19 රට යන්න හැකි වෙයි ද? | සිළුමිණ

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය - 19 රට යන්න හැකි වෙයි ද?

තත්කාල කේන්දරයක 12 වැනි භාවයෙන් හෙළි වන කරුණු

නිවසින් පිටවී ගමන්බිමන්වල නිරත වීම පෙන්වන්නේ 3 වැනි භාවයෙන්

 

ජන්මියකුට විදේශගත වීමේ වාසනාවක් ඇත්තේදැයි කළ විමසුමකට පිළිතුරු ලබාගත් ආකාරය මෙම ලිපිය මඟින් පැහැදිලි කර ඇත. තත්කාල කේන්දරයක 12 වැනි භාවය මඟින් වෙනත් කරුණුවලට අමතරව දිගු ගමන් මෙන්ම විදේශයකට යාමේ වාසනාව ඇත්තේදැයි පෙන්වා දෙයි.

ජන්ම පත්‍රයක 3 වැනි භාවය මඟින් නිවසින් පිටවී ගමන්බිමන්වල යෙදීම ද, 9 වැනි භාවය සමඟ 12 වැනි භාවයද සම්බන්ධ වීම මඟින් විදේශගත වීමේ හැකියාවද හඳුනාගත හැකි වෙයි.

මෙම තත්කාල කේන්‍දරයේ සඳු, 12 වැනි භාවය අධිපතිව 10 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මෙම සඳු තැන්පත්ව සිටියේ කුජගේ නක්‍ෂත්‍රයකය. කුජ, 4 වැනි සහ 9 වැනි භාව අධිපතිව 12 වැනි භාවයේ තැන්පත්ව සිටියේය.

ඒ අනුව සඳු, ප්‍රශ්නය පිළිබිඹු කර ඇත.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව තත්කාල කේන්දරයේ 9 වැනි භාවයේ උප ස්ථානය අධිපති ග්‍රහයා සහ 3 වැනි සහ 9 වැනි භාව නිවේදකයෙකු වන විට නිවසින් පිටවීම සහ දිගු ගමන්වල යෙදීම පෙන්වයි.

12 වැනි භාවයේ උප ස්ථානය අධිපති ග්‍රහයා සහ 3 වැනි හෝ 9 වැනි හෝ 12 වැනි භාව නිවේදකයෙකු වන විට ප්‍රශ්නකරු නිවසින් පිටවීම සහ විදේශ ගමන්වල යෙදීම පෙන්වයි. 3 වැනි, 9 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලවලදී විදේශ ගමන්වල යෙදීම සිදුවෙයි.

මෙම තත්කාල කේන්‍දරයේ 9 වැනි භාවය කුජ ග්‍රහයා හිමි රාශියේ කේතු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ සිකුරු ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත. සිකුරු ග්‍රහයා තත්කාල කේන්‍දරයේ 3 වැනි සහ 10 වැනි භාව අධිපතිව, 12 වැනි භාවයේ තැන්පත්ව සිටියි.

12 වැනි භාවය සඳු ග්‍රහයා හිමි රාශියේ ගුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ කුජ ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත. කුජ ග්‍රහයා තත්කාල කේන්‍දරයේ 4 වැනි සහ 9 වැනි භාව අධිපතිව, 12 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ඒ නිසා ප්‍රශ්නකරුට විදේශ ගමන් යාමේ වාසනාව ඇත.

3 වැනි භාවය; භාවය අධිපති සිකුරු ග්‍රහයාය, සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත. 3 වැනි භාවයේ කේතු ග්‍රහයා තැන්පත්ව සිටියි. කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල ගුරු සහ රාහු තැන්පත්ව ඇත.

9 වැනි භාවය; භාවය අධිපති කුජ ග්‍රහයාය, කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල රවි සහ සඳු යන ග්‍රහයන් තැන්පත්ව සිටියි. මෙම 9 වැනි භාවයේ රාහු සහ ගුරු යන ග්‍රහයන් තැන්පත්ව ඇත.

12 වැනි භාවය; භාවය අධිපති සඳු ග්‍රහයාය, සඳු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක, බුධ ග්‍රහයා තැන්පත්ව සිටිති. මෙම 12 වැනි භාවයේ සිකුරු සහ කුජ යන ග්‍රහයන් තැන්පත්ව සිටියි.

මේ අනුව, 3 වැනි, 9 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, කේතු, ගුරු, රාහු, කුජ, රවි, සඳු සහ බුධ යන ග්‍රහයන් වෙති. මෙම ග්‍රහයන්ගේ ඵලදායී නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මගින් තහවුරු කරන විට ප්‍රශ්නකරුට විදේශ ගතවිය හැකි වෙයි. මෙම ග්‍රහයන්ගේ භලදායී නිවේදකත්වය ඇති ග්‍රහයන් තෝරා ගමු.

භාව නිවේදක ග්‍රහයන් - සිකුරු, කේතු, ගුරු, රාහු, කුජ, රවි, සඳු සහ බුධ

පාලක ග්‍රහයන් - රවි, බුධ, කුජ, සඳු සහ ශනි

පොදු ග්‍රහයන් - රවි, බුධ, කුජ, සඳු

මෙම ඵලදායී නිවේදකත්වය ඇති ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මගින් තහවුරු කරන විට ප්‍රශ්නකරුට විදේශගත විය හැකි වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2019 ජනවාරි මාසයේ 16 වැනි දින සිට 2026 ජනවාරි මාසයේ 16 වැනි දින දක්වා කුජ ග්‍රහයාගේ මහ දශාවද, ක්‍රිස්තු වර්ෂ 2023 ජූලි 14 වැනි දින සිට 2023 දෙසැම්බර් මාසයේ 10 වැනි දින දක්වා කුජ ග්‍රහයාගේ මහ දශාව සහ කේතුගේ භුක්තියද පවතියි. මෙම කාල සීමාව තුළ විදේශගත වීමේ අවස්ථාව සැලසෙයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

Comments