කේන්දරේ බලාගන්න දක්ෂ ජ්‍යොතිෂවේදියකු සොයා ගන්නේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

කේන්දරේ බලාගන්න දක්ෂ ජ්‍යොතිෂවේදියකු සොයා ගන්නේ මෙහෙමයි

එක් එක් විෂයට දක්ෂජ්‍යොතිෂවේදීන්ගෙන් අදාළ ක්ෂේත්‍රය ගැන  ගැටලු විසඳාගත හැකියි

නිවාස නැකැතක් හදාගන්න ගෙවල් කීපයක් අයිති ජ්‍යොතිෂවේදියකු වෙත යන්න

ඇතැමුන් ව්‍යාජ සහ වංක අයයි

කේන්දරයක් බලා ගැනීමට ජ්‍යොතිර්වේදියකු වෙත යන යම් පුද්ගලයකු හට ඒ වෙනුවෙන් සුදුසු ජ්‍යොතිර්වේදියකු සොයා ගැනීම සැබැවින්ම අභියෝගයකි. එයට හේතුව, රට තුළ වෙසෙන ජ්‍යොතිර්වේදීන්ගෙන් ඇතැමෙකු අවංක සහ දක්ෂ අය විය හැකි වුවද ඇතැම් දෙනා වංක සහ ව්‍යාජ චරිත වීමට ඉඩ තිබීමය.

මගේ අදහස වන්නේ යම් පුද්ගලයකු විසින් ජ්‍යොතිර්වේදියකු තෝරා ගැනීමේදී අවංක සහ දක්ෂ ජ්‍යොතිර්වේදියකු තෝරා ගැනීම ඵලදායක බවය. එනම් අදාළ ජ්‍යොතිර්වේදියා දක්ෂ වුවද, ඔහු අවංක නොමැතිනම් ඔහුගෙන් කේන්දරය බලවා ගැනීම ඵලදායක නොවේ. තවද අදාළ ජ්‍යොතිර්වේදියා අවංක වුවද, ඔහු දක්ෂ නොමැතිනම් ඔහුගෙන් කේන්දරය පරීක්ෂා කරවා ගැනීමද ඵලදායක නොවනු ඇත.

වර්තමානයේදී බොහෝ පුද්ගලයන් තම කේන්දරය පරීක්ෂා කරවා ගැනීම සඳහා ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදීන් වෙත යන බව පෙනේ.

සැබැවින්ම ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදීන් අතර දක්ෂ සහ අවංක ජ්‍යොතිර්වේදීන් සිටිය හැකිය. නමුත් ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදීන් අතර එසේ නොවන අයද සිටිය හැකි බව අප අමතක නොකළ යුතුය.

එනම් යම් ජ්‍යොතිර්වේදියකු ප්‍රසිද්ධ වූ පමණින්ම එම පුද්ගලයා තම කේන්දරය පරීක්ෂා කරවා ගැනීම සඳහා පූර්ණ සුදුසුකම් ලබන්නෙකු බවට පත් වනවා යැයි අප විසින් පූර්ණ නිගමනයකට නොඑළඹිය යුතුය. සමහර විට ප්‍රසිද්ධ නොවන ජ්‍යොතිර්වේදීන් අතරද දක්ෂ සහ අවංක ජ්‍යොතිර්වේදීන් සිටිය හැකි බවද අප අමතක නොකළ යුතුය.

එමෙන්ම සමහර ජ්‍යොතිර්වේදීන් සෑම ජ්‍යොතිෂ සේවාවක්ම ලබා දීමට දක්ෂ විය හැකි අතර ඇතැම් ජ්‍යොතිර්වේදීන් විශේෂිත සේවාවන් වෙනුවෙන් වඩාත් දක්ෂතා දක්වන බව නිරීක්ෂණය කළ හැකිය. උදාහරණ ලෙස ඇතැම් ජ්‍යොතිර්වේදීන් වඩාත් දක්ෂ වන්නේ පුද්ගල අනාවැකි පැවසීම පිළිබඳව විය හැකිය.

තවත් ජ්‍යොතිර්වේදියෙකු වඩාත් දක්ෂ වන්නේ සුබ නැකැත් පිළියෙල කිරීමට විය හැකිය. සමහර විට, ඇතැම් ජ්‍යොතිර්වේදීන් වඩාත් දක්ෂතාවය දක්වන්නේ ලෝකායන ජ්‍යොතිෂ අනාවැකි පැවැසීම සම්බන්ධයෙන් විය හැකිය.

ඒ නිසා ජ්‍යොතිර්වේදියකුගෙන් සේවාව ලබා ගන්නා පුද්ගලයාට, පුද්ගල අනාවැකි පැවසීමට දක්ෂ ජ්‍යොතිර්වේදීන් කවුරුන්ද, සුබ මුහුර්ති පිළියෙල කිරීමට දක්ෂ ජ්‍යොතිර්වේදීන් කවුරුන්ද, ලෝකායන ජ්‍යොතිෂ අනාවැකි පැවසීමට දක්ෂ ජ්‍යොතිර්වේදීන් කවුරුන්ද යන්න පිළිබඳව අවබෝධයක් තිබුණහොත් ඒ අනුව එක් එක් සේවාව වෙනුවෙන් එක් එක් ජ්‍යොතිර්වේදියා වෙත යාම තුළින් වඩාත් ඵලදායක සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගත හැකි වනු ඇත.

යම් සේවාවක් ලබා ගැනීම සඳහා ජ්‍යොතිර්වේදියකු වෙත යාමට පෙර එම ජ්‍යොතිර්වේදියාගෙන් සේවය ලබා ගත් අයගෙන් අඩු වශයෙන් කිහිපදෙනෙකු සමඟවත් සාකච්ඡා කිරීම තුළින් එම ජ්‍යොතිර්වේදියාගේ දක්ෂ බව පිළිබඳව සහ අවංක බව පිළිබඳව යම් තරමකට හෝ අදහසක් ලබා ගත හැකි වනු ඇත. තවද යම් කේන්දර සටහනක් ජ්‍යොතිර්වේදියකුගෙන් පරීක්ෂා කරවා ගැනීමට යාමේදී එම කේන්දර හිමියාට අදාළ අතීත තොරතුරු පිළිබඳව විමසිය හැකි අතර එම තොරතුරුවල ප්‍රමාණවත් සත්‍යතාවක් ඇත්නම් එම ජ්‍යොතිර්වේදියා අනාගතය පිළිබඳව පවසන අනාවැකිද සත්‍ය වේයැයි උපකල්පනය කළ හැකි වනු ඇත.

තවද යම් පුද්ගලයකුට ජ්‍යොතිර්වේදියකු ලවා කේන්දර සටහන් කිහිපයක් පරීක්ෂා කරවා ගැනීමට අවශ්‍යනම් මුලින් ම එක් කේන්දර සටහනක් පරීක්ෂා කර ගෙන ඒ පිළිබඳව සෑහීමට පත් විය හැකිනම් පමණක්, අනෙක් කේන්දර සටහන් පරීක්ෂා කරවා ගැනීමටද එම ජ්‍යොතිර්වේදියාගේම සේවය ලබා ගත හැකි වනු ඇත.

මුද්‍රිත මාධ්‍ය මඟින් සහ විද්යුත් මාධ්‍ය මඟින් ලෝකායන ජ්‍යොතිෂ අනාවැකි සහ ලග්න පලාපල අනාවැකි පවසන ජ්‍යොතිර්වේදින් පිළිබඳව අදහසක් ලබා ගත හැකි වනු අතර ඒ අනුව පෞද්ගලික කේන්දර සටහන් පරීක්ෂා කරවා ගැනීම සඳහාද එම ජ්‍යොතිර්වේදීන්ගේ සේවාව ලබා ගත හැකි වනු ඇත.

කෙසේ වෙතත් ලෝකායන අනාවැකිවලදී අනාවැකිය පිළිබඳව පමණක් නොව අනාවැකිය සිදු වේ යැයි පවසන කාලවකවානුව පිළිබඳවද සැලකිලිමත් වීම තුළින් වඩාත් දක්ෂ ජ්‍යොතිර්වේදීන්ව හඳුනාගත හැකි වනු ඇත.

අවසන් වශයෙන් කිව යුතු වන්නේ නිවාස නැකතක් පිළියෙල කර ගැනීමට නිවාස කිහිපයක් පෞද්ගලිකව ගොඩනඟාගෙන ඇති ජ්‍යොතිර්වේදියකු වෙත යාම තුළින්ද, විවාහ නැකතක් පිළියෙල හා ඉතා සාමකාමී ලෙස යුග දිවිය ගත කරන ජ්‍යොතිර්වේදියෙකු වෙත යාම තුළින්ද, දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු පිළිබඳව වත්පිළිවෙත් සිදු කර ගැනීමට තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී ඇති ජ්‍යොතිර්වේදියකු වෙත යාම තුළින්ද වඩාත් ඵලදායක සේවාවක් ලබා ගත හැකි බවය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

Comments