අනාගතය ගැන අද හිතන U අකුර හිමියෝ | Page 2 | සිළුමිණ

අනාගතය ගැන අද හිතන U අකුර හිමියෝ

හැම පැත්තකින්ම වාසනාව උරුමක්කාරයෝ

වැඩ කටයුතු  කල් නොදාන අය

නමේ මුල් අකුරෙන් කියැවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ U අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කෙරේ. මීට පෙර ලිපිවලින් A අකුරේ සිට T අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදී. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ U අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි. ඔබට U අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේ නම් එහි බලපෑම අවම වෙයි.

ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ U අකුරෙන් පටන් ගන්න නමක් භාවිත කරන කෙනෙක්නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කෙතරම් සමීපද කියා.

දුරදක්නා නුවණින් යුතුව තීක්ෂණ බුද්ධියකින් අනාගතය පිළිබඳව සැලසුම් සහගතව කටයුතු කරන පුද්ගලයින් ලෙස මෙකී අකුර හිමියන් හැඳින්වීමට පුළුවනි. U අකුරින් නම පටන් ගන්න ඉතා ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයන් මෙන්ම ආයතනද බොහෝ ප්‍රමාණයක් වෙයි. වැඩ කල් නොදමන මොවුන් අද කළ යුතු දේ ඒ මොහොතේම කිරීමට පෙළඹෙන පුද්ගලයන් පිරිසකි. කරන කියන කටයුතුවල ක්‍රමානුකූල බවක්ද දැකිය හැකිය. ආගිය තැන බොහෝ පිළිගැනීමටත් ගෞරවයට ලක්වීමටත් මොවුන්ට වාසනාව ඇත. සැබැවින්ම U අකුර හිමියන් ජීවිතයේ සෑම පැත්තකින්ම වාසනාව උරුම කරගෙන උපන් අය ලෙස හඳුන්වන්න පුළුවනි. නමුත් බොහෝ විට මොවුන්ගේ ජීවිතවල වාසනාව සැඟවී පවතින අතර සමහර අය එය මතුකර ගැනීමට අපොහොසත් වනු ඇත. සිනහව, කතාව මෙන්ම හැසිරීම ද මොවුන්ගේ ආකර්ෂණීය බව තව තවත් වැඩි කරයි.

අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට මොවුන් දක්ෂ වෙයි. බොරුව වංචාව ගරු නොකරන U අකුර හිමියන් සත්‍යගරුක ලෙස තම කටයුතු පවත්වාගෙන යෑමට උනන්දු වෙයි. මෙකී පුද්ගලයන් තැනට සුදුසු නුවණින් යුක්ත පුද්ගලයින් ලෙසද හඳුන්වන්නට හැකිය. අවස්ථාවට අනුව වෙනස් වන ස්වභාවය මොවුන් තුළ පවතී. හරිම අවස්ථාවේදී හරිම තීරණය ගන්නටද දක්ෂයන් කොට්ඨාසයකි. නිර්මාණශීලී බව අතින් ද මොවුන් ඉදිරියෙන් සිටී. කලාත්මක හැකියාවන් ද මොවුන් සතුව පවතී. සමාජයට අවශ්‍ය පුද්ගලයෙක් ලෙස තම ජීවිතය සකස් කර ගැනීමටද U අකුර හිමියන් දක්ෂ වෙයි. ජීවිතයේ කරදර බාධක අපහසුතා මැඬගෙන ඉදිරියට යන්නටද සමත්කමක් දක්වයි.

මොවුන් වඩාත් ප්‍රවේශම් විය යුත්තේ මුදල් පරිහරණයේ දීය. ජීවිතයේ සමහර කාලවල විටින් විට මුදල් අතින් ඉතා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වනු ඇත. මූල්‍ය කළමනාකරණය පිළිබඳ හොඳින් සිතා බලා කටයුතු කිරීම වැදගත් වනු ඇත. U අකුර හිමියන් මුදල් ණයට දීමත් ණයට ගැනීමත් එතරම් සුදුසු නැත. ණය ගත්තොත් ගෙවීමට නොහැකි තත්ත්වයන් ඇතිවිය හැකිය. සමාජ ඇසුරේදී ඕනෑවට වඩා පුද්ගලයන් විශ්වාස කිරීමද කල්පනාකාරීව කළ යුතුය. මිතුරන් නිසා නොමඟ යෑමට වුවද ඉඩ තිබේ. තමාට ගැළපෙන අය තෝරාගෙන ඇසුරු කිරීම ඉතා වැදගත් වෙයි. කුමන අපහසුතා තිබුණත් තම ගෘහ ජීවිතය සාර්ථකව ගෙන යෑමට U අකුර හිමියන් සමත් වන අතර තම සමීපතමයින් පිළිබඳ වඩාත් උනන්දුවකින් කටයුතු කිරීම සමගිය පවත්වාගෙන යෑමට වැදගත් වනු ඇත.

ආදරය විවාහ ජීවිතය වැනි කාරණාවලදී මොවුන්ට වඩාත් ගැටලුවක් වන්නේ තම කාලය කළමනාකරණය කර ගැනීමයි. සමාජ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට යාමේදී තම පවුලේ ආදරණීයයන්ගේ යුතුකම් ඉටු කිරීමට ද කාලය වෙන් කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙයි. මොවුන්ට එක තැනකට වී කරන රැකියා ව්‍යාපාරවලට වඩා මිනිසුන් හා බොහෝ පිරිසක් සම්බන්ධ කරගෙන කරන රැකියා ව්‍යාපාර වඩාත් ගැළපෙන බව පෙනේ. ජීවිතයේ සාර්ථකත්වයත් වාසනාවත් උරුම කරගෙන උපන් U අකුර හිමියන් එය නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තොත් විශිෂ්ට පුද්ගලයකු බවට පත්වීම නොඅනුමානය.

V අකුර පිළිබඳ තොරතුරු ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 

 ඒ. ජේ. දීපාලෝක

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන

ජ්‍යොතිෂ සේවය)

Comments