සාමකාමීව සහ සොම්නසින් ජීවත් වන මඟ | Page 2 | සිළුමිණ

සාමකාමීව සහ සොම්නසින් ජීවත් වන මඟ

‘කාර්යබහුල ලෝකයක දිවි ගෙවන මනස නිරතුරුවම ව්‍යාකූලය. එම ව්‍යාකූල බවින් මිදී සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරී වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකිය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝදෙනා ථේරවාදී නිකායන්ගේ භාවනානුයෝගීත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අ‍ෙමරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සතිපතා කොටස් වශයෙන් සිළුමිණෙහි පළ වන අතර, මේ එහි දාහත් වැනි කොටසයි.

මෛත්‍රී භාවනාව උදෑසන පිබිදුණු විගසම හා රාත්‍රියේ නින්දට යෑමට පෙර කළ හැකි භාවනාවක් ලෙස නිර්දේශ කර ඇත. බියකරු සිහිනවලින් තොර සුවදායී නින්දක් ලබා දීමට එයට හැකියාව ඇති බව ද කියැවේ. එය උදෑසන පිබිදීම ද පහසු කරයි. එය ඔබ සෑම මනුෂ්‍යයන් වෙත හෝ සියලුම ජීවීන් වෙත හා යහළුවන් හෝ සතුරන් වෙත මිත්‍රශීලී බව ඇති කර, විවෘත කරයි. සිත නිශ්චලව පවතින විට එහි නැඟෙන වඩාත් හානිකර මානසික පීඩාකාරී බව අමනාපයයි. ඔබට ශාරීරික හෝ මානසික වේදනාව ගෙන දුන් අතීත සිද්ධියක් සිහිකරන විට ඔබ අමනාපය නොහොත් නුරුස්සනා බව අත්දකිනු ඇත. මෙම අත්දැකීම ඔබ තුළ අපහසුතාව, ආතතිය, කැලඹීම සහ චිත්ත පීඩාව ඇති කිරීමට පිළිවන. වාඩිවී එක එල්ලේ මෙම මානසික ස්වභාවය අත්දැකීම ඔබට දුෂ්කර විය හැකිය. එම නිසා ඔබ භාවනාව මුළු විශ්වය කෙරෙහි මෛත්‍රිය ඉපදවීමෙන් ආරම්භ කළ යුතු බව අපි නිර්දේශ කරමු.

"මගේ සතුරන් හට ප්‍රීතිය හා සාමය අත්වේවා. ඔවුන් වෙත නපුරක් ළඟා නොවේවා! දුෂ්කරතා ඔවුන් වෙත නොපැමිණේවා. සැමවිටම ඔවුන් සාර්ථක වේවා. නොවැළැක්විය හැකි ජීවිත අසාර්ථක වීම්, දුෂ්කරතාවලට හා ගැටලුවලට මුහුණදී, ඒවායින් ජය ගැනීමට අවශ්‍ය ඉවසීම, ධෛර්ය, තේරුම් ගැනීම හා අධිෂ්ඨානය ඔවුන්ට ලැබේවා" කියා ප්‍රාර්ථනා කරන්නේ කෙලෙසද යන්න ඔබ කල්පනා කරනු ඇත.

වේදනාවෙන් හා දුකින් මිදී, තමාටම සාමය හා විමුක්තිය ලබා ගැනීම සඳහා භාවනාවේ යෙදෙනවා සේම, මෛත්‍රී භාවනාව පුහුණු වන්නේ සිත පවිත්‍ර කිරීම සඳහා බව ඔබ මතක තබා ගත යුතුය. පූර්ව නිගමනයෙන් හා වෙන්කර සැලකීමෙන් හෝ වෛරයෙන් හෝ තොරවූ මිත්‍රශීලි බවකින් හැසිරීමට ඔබට හැකිවනු ඇත. ඉතාම ප්‍රායෝගිකව, අන් අයගේ වේදනාව හා දුක අවම කර ගැනීම සඳහා ඔබගේ මෙම ශ්‍රේෂ්ඨ හැසිරීම උපකාරී වේ. අන් අයට උපකාර කළ හැක්කේ කරුණාවන්ත පුද්ගලයන්ට පමණි. කරුණාවන්ත බව මෛත්‍රිය ක්‍රියාවට නැංවීමක් වන අතර, මෛත්‍රිය නොමැති පුද්ගලයන්ට තවත් කෙනෙකුට උදවු කළ නොහැකිය. උතුම් හැසිරීම යනුවෙන් අදහස් කරනුයේ අතිශයින්ම සුහදශීලිව හැසිරීමයි.

ඔබගේ සිතුවිලි, කථාව හා ක්‍රියාව යන සියල්ල හැසිරීමට අයත් වේ. ඔබගේ හැසිරීම ප්‍රකාශ වන ත්‍රිවිධ ක්‍රම අතර, පරස්පරයක් පවතී නම් එහි වරදක් ඇත. පරස්පර විරෝධී හැසිරීම් උතුම් නොවෙයි. අනෙක් අතට ගත්කළ "සියලු සත්ත්වයෝ ප්‍රීතියෙන් වෙසෙත්වා! යනුවෙන් උතුම් ප්‍රාර්ථනාවක් ඇතිකර ගැනීම "මම ඔහු වෛර කරමි" යන සිතිවිල්ලට වඩා ඉතාමත් යහපත්ය. යම් දිනෙක අපගේ උතුම් සිතිවිලි උදාර හැසිරීමකින් ප්‍රකාශ වනවා මෙන්ම ඊර්ෂ්‍යාසහගත සිතිවිලි දුෂ්ට ක්‍රියාවකින් ප්‍රකාශ වනු ඇත.

අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා දීම සඳහා ඔබගේ සිතිවිලි, කථාව හා ක්‍රියාව බවට පරිවර්තනය වන බව සිහි තබා ගන්න. ක්‍රියාවට පරිවර්තනය වන කථාව ඔබට පැහැදිලිව දැකගත හැකි ප්‍රතිඵල ලබා දෙයි. ඔබ නිතරම කථා කළ යුත්තේ හා ක්‍රියා කළ යුත්තේ මෛත්‍රියෙන් යුතු එළැඹි සිහියකිනි. මෛත්‍රීය පිළිබඳ කථා කරන ඔබගේ හැසිරීම එයට හාත්පසින් විරුද්ධ ආකාරයට සිදු වන විට, ප්‍රඥාවන්තයන් ඔබට දෝෂාරෝපණය එල්ල කරනු ඇත. මෛත්‍රියෙන් යුතු එළැඹි සිහිය ඔබ තුළ වර්ධනය වන විට ඔබගේ සිතිවිලි, වචන හා ක්‍රියාව කාරුණික, ප්‍රියමනාප, අර්ථවත්, සත්‍යශීලි මෙන්ම ඔබට හා අන් අයට ප්‍රයෝජනවත් ද වෙයි. ඔබගේ සිතුවිලි, වචන හා ක්‍රියාව ඔබට හෝ අන් අයට හානිදායක නම් ඔබ සත්‍ය වශයෙන්ම මෛත්‍රිය පිළිබඳ සිහියෙන් සිටිනවාද කියා ඔබගෙන්ම විමසන්න.

ප්‍රායෝගික වශයෙන් ගත් කළ ඔබගේ සියලුම සතුරන් නීරෝගිමත්ව, සතුටින් හා සැනසිල්ලෙන් සිටිත් නම් ඔවුන් තවදුරටත් ඔබගේ සතුරන් නොවේ. ඔවුන් ගැටලුවලින් වේදනාවෙන්, දුකෙන්, පීඩාවෙන්, ස්නායු ආබාධවලින්, මානසික රෝගවලින්, බියෙන්, ආතතියෙන් හා කාංසාවෙන් මිදී නිදහස් ව සිටී නම් ඔවුන් ඔබගේ සතුරන් වන්නේ නැත. ඔබගේ සතුරන් කෙරෙහි ප්‍රායෝගික විසඳුම වන්නේ ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට උදවු වී, ඔබට සාමයෙන් හා ප්‍රීතියෙන් ජීවත් වීමට මඟ පාදා ගැනීමයි. ඔබගේ සියලුම සතුරන්ගේ හිත් මෛත්‍රියෙන් පුරවා, ඔවුන් සියලු දෙනාටම සාමකාමී බවේ නියම අරුත තේරුම් ගැනීමට සලසා දීමට හැකි නම් එමඟින් ඔබට ද සාමකාමීව සහ සොම්නසින් ජීවත් වීමට හැකි වෙයි. ඔවුන් වඩාත් ස්නායුගත හා මානසික ආබාධවලින් පෙළෙන, බියෙන්, ආතතියෙන් හා කාංසාවෙන් ජීවත් වන විට වැඩි වැඩියෙන් ගැටලු, වේදනාව හා දුක ලෝකයට ගෙන එනු ඇත. එවැනි දුෂ්ට, අයහපත් පුද්ගලයකු ඔබට ශ්‍රද්ධාවත් මුනිවරයකු කළ හැකි නම් එය ප්‍රාතිහාර්යයකි. අයහපත් සිතක් යහපත් සිතක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රමාණවත් මෛත්‍රීය හා ප්‍රඥාව අපි තුළ ඇතිකර ගනිමු.

ඔබ යමෙකුට වෛර කරන විට, "ඔහු අවලක්ෂණ වේවා, ඔහු වේදනාවෙන් වැතිර සිටිත්වා, සෞභාග්‍ය දුරුවේවා, ඔහු දුප්පත් වේවා, ඔහුට මිතුරන් නොලැබේවා, මරණින් මතු අපා දුකට පත්වේවා," යයි ඔහු සිතනු ඇත. නමුත් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ ඔබගේම සිරුර හානිකර රසායනික ද්‍රව්‍ය නිපදවා, ඔබට වේදනා ඇතිකර හදගැස්ම හා ආතතිය වැඩි කර මුහුණේ පෙනුම වෙනස් කර, කෑම අරුචිය ඇතිකර, නිදි නොලබා ඔබව ඉතා අවලස්සන කිරීමයි. ඔබගේ සතුරාට පැතූ දේ ඔබට ද සිදු වෙයි. එමෙන්ම ඔබ සත්‍යය නොදකිනු ඇත. ඔබගේ සිත උතුරන ජලය මෙනි. නැතහොත් ඔබ ඕනෑම රසවත් ආහාරයක් නීරස සේ දැනෙන සෙංගමාල රෝගියකු මෙනි. ඒ හා සමානවම ඔබට අන් අයෙකුගේ පෙනුම ජයග්‍රහණය හෝ සාර්ථකත්වය අගය කිරීමට නොහැකි වෙයි. මෙම ස්වභාවය පවතින තුරු ඔබට හොඳින් භාවනා කළ නොහැකිය.

එහෙයින් ඔබගේ විධිමත් භාවනාව පුහුණු වීමට පෙර මෛත්‍රී භාවනාවේ යෙදෙන ලෙස අපි තදින්ම නිර්දේශ කරමු. ඉහත සඳහන් ඡේදය ඉතාමත් සිහියෙන් යුතුව හා අර්ථවත් ලෙස නැවත නැවතත් කියන්න. එසේ පවසන අතර, පළමුව ඔබ තුළ මෛත්‍රිය අත්දකින්න. පසුව එය අන් අය හා බෙදා ගන්න. මක්නිසාද ඔබ තුළ නොපවතින දෙයක් අන් අය සමඟ බෙදා ගැනීමට ඔබට නොහැකි නිසාය.

එනමුදු මේවා ඉන්ද්‍රජාලික සූත්‍ර නොවන බව ද සිහියේ තබා ගන්න. ඒවාට තනිව ක්‍රියාකළ නොහැකිය. ඔබ එලෙසින් ඒවා පාවිච්චි කිරීම, ඔබගේ කාලය හා ශ්‍රමය අපතේ හැරීමකි. නමුත් ඔබ නියම අයුරින් මෙම කියමන්වලට සහභාගි වී ඔබගේ ශ්‍රමය සමඟ යෙදූ විට ඒවා ඔබට සේවය සලසයි. වරක් උත්සාහ කර ඔබම එය දැකගන්න.

භාවනා පුහුණුවේදී ඔබ ගැටලුවලට මුහුණපානු ඇත. එය සැම කෙනෙකුටම පොදු කරුණකි. එම ගැටලු විවිධ ආකාරයෙන් පැමිණෙන අතර, ඔබටත් යම් ගැටලු මතු විය හැකි බව පමණක් නිසැකවම කිව හැකිය. මෙවැනි ගැටලු සමඟ ගනුදෙනු කිරීමේ ප්‍රධාන උපක්‍රමය නිවැරැදි ආකල්පයක් ඇතිකර ගැනීමයි. දුෂ්කරතා ඔබගේ පුහුණුවේ ම කොටසක් වන අතර ඒවා මඟ හැරිය යුතු නැත. අගනා ඉගෙනුම් අවස්ථා සලසන මෙම දුෂ්කරතා ප්‍රයෝජනයට ගත යුතුය.

ප්‍රශ්නවලින් පැනයෑමේ මෙන්ම ආශාවන් පසුපස හඹා යෑමේ හේතුවෙන් අප සියලු දෙනා ජීවිත මඩගොහොරුවේ එරී සිටිමු. මෙවැනි තත්ත්ව විමසා බලා ඒවා සමඟ ගනුදෙනු කිරීමට හැකි උපක්‍රමයක් ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම භාවනාව මඟින් අපට සපයා දෙනු ලබයි. භාවනා පුහුණුවේදී ඉස්මතු වන නොයෙක් මාදිලියේ බලාපොරොත්තු නොවූ අකරතැබ්බ බෙහෙවින් ප්‍රයෝජනවත්ය. අප කටයුතු කරන්නේ එම ද්‍රව්‍ය සමඟයි. තරමක හෝ වේදනාවක් රහිත වින්දනයක් මෙලොව නැත. ජීවිතය සොම්නස සහ කනගාටුවේ සම්මිශ්‍රණයකි. ඒවා අන්‍යෝන්‍යව බැඳී තිබේ. භාවනාව ද එසේමය. යහපත් හා අයහපත් කාල මෙන්ම ප්‍රමෝදජනක හා බියකරු අත්දැකීම් ද ඔබට ලැබෙයි.

එබැවින් ඔබට ගඩොල් බිත්තියක හැපුණා සේ දැනෙන හැඟීමක් දැනුණු විට පුදුමයට පත්විය යුතු නැත. ඔබ සුවිශේෂී පුද්ගලයකු යැයි නොසිතන්න. අත්දැකීම් ඇති සෑම භාවනානුයෝගියකුටම පාහේ මෙවැනි බාධක තිබුණි. ඒවා නැවත නැවතත් මතුවනු ඇත. එවැනි දේ බලාපොරොත්තුවෙන් මෙන්ම හසුරුවා ගැනීමට සූදානමින් සිටින්න. ගැටලු හසුරුවා ගැනීමට ඇති ඔබගේ හැකියාව ඔබගේ ආකල්ප මත රඳා පවතියි. මෙම බාධක ඔබගේ පුහුණුව වර්ධනය කර ගැනීමේ අවස්ථාවක් ලෙස සැලකිය හැකි නම් ඔබ සාර්ථක වනු ඇත. භාවනාවේදී මතුවන යම් ගැටලු නිරාකරණය කර ගැනීමට ඔබට ඇති හැකියාව ඉන් ඔබ්බට ගොස්, ඉදිරි ජීවිතයේදී ඔබව පීඩාවට පත්කරන මහත් ගැටලු සමථයකට පත්කරගැනීමට ඉඩ සලසනු ඇත. භාවනාවේදී මතුවන අත්දැකීම් මඟ හැරීමට ප්‍රයත්න දැරීම, ජීවිතය දරා ගත නොහැකි යැයි සමහර විටකදී ඔබට ඇතිවන හැඟීම සනාථ කරයි.

අපගේ ජීවිතයේ එතරම් ප්‍රියජනක නොවන අංගයන්ට මුහුණදීමට ඉගෙන ගැනීම අත්‍යවශ්‍යය. භාවනාවේ යෙදෙන්නන් ලෙස අපගේ කාර්යය වනුයේ තමන් සමඟම ඉවසීමෙන් කටයුතු කරන්නටත්, දුක්ඛ දෝමනස්සයන් හා අඩුලුහුඬුකම් සහිත පුද්ගලයන් ලෙස තමන් දෙස අපක්ෂපාතීව බැලීමට හැකිවීමත්ය. අපටම කරුණාවන්ත වීමට ඉගෙන ගත යුතුය. අමිහිරි සිදුවීම් මඟහැරීම ඉදිරි කාලයේදී තමන්ටම අකරුණාවන්ත වීමකි. තේරුම් ගැනීමට අපහසු ලෙස පෙනුණද, කරුණාවන්ත වීම යනු පැන නඟින අප්‍රසන්නජනක තත්ත්වයන්ට මුහුණ දීමට හැකි වීමයි.

ස්වයං යෝජනා කිරීම ගැටලු සමඟ ගනුදෙනු කිරීමේදී ජනප්‍රිය මානව උපක්‍රමයකි. එනම්, කටුක අත්දැකීමක් පැමිණි විට එය සිදුනොවූ බව හෝ අප්‍රසන්න නොව ප්‍රසන්න අත්දැකීමක් බව ඔබටම ඒත්තු ගැන්වීමයි. නමුත් බුදුන්වහන්සේගේ ක්‍රමය මීට ඉඳුරාම වෙනස්ය. එනම්, සැඟවීමක් හෝ වෙස් ගැන්වීමක් නොමැතිව එය ඉවත්වී යන තෙක්ම විභාග කිරීම උන්වහන්සේගේ ඉගැන්වීමයි. නොපවතින හැඟීමක් ආදේශ කිරීම හෝ පවතින හැඟීමක් මඟහැරීමට බුදු දහම උපදෙස් නොදෙයි. ඔබ අසතුටින් නම් ඔබ සිටින්නේ අසතුටිනි. යථාර්ථය එයයි. බයෙන් නොහැකිළී ඍජුවම එදෙස බලන්න. ඔබ නරක කාලයක් ගතකරන විට එහි නරක විමසා ඒදෙස සිහියෙන් යුතුව බලා ප්‍රපංච අධ්‍යයනය කර එහි ක්‍රියාකාරිත්වය ඉගෙන ගන්න. උගුලකින් ගැලවීමට නම් එය අධ්‍යයනය කර සාදා ඇති ආකාරය ඉගෙන ගත යුතුය. කැබැල්ලෙන් කැබැල්ල ගලවා ඉවත් කිරීමෙන් එය ඉගෙන ගැනීමට පිළිවන. කැබලිවලට වෙන්වුණු උගුලකට ඔබව හසුකර ගත නොහැකිය. නිදහස ලැබීම එහි අවසන් ප්‍රතිඵලයයි.

මෙය බුදු දහමේ ඉතාම වැදගත්වූත්, එහෙත් අඩුවෙන්ම අවබෝධ කරගත්තා වූත් කරුණකි. බෞද්ධ ධර්මය මතුපිටින් පමණක් උගත් පුද්ගලයෝ එය නිතරම වේදනාව, මරණය, රෝගපීඩා වැනි දේට මුහුණදීමට පොලඹවන, දුක වැනි කටුක අත්දැකීම් ගැන සැමවිටම කථා කරන අශුභවාදී ඉගැන්වීම් මාලාවක් ලෙස කඩිනම් තීරණයකට එළඹෙති. බෞද්ධ චින්තකයෝ තමන් අශුභවාදීන් ලෙස නොසලකති. සැබැවින්ම එහි අනිත් පැත්තයි. විශ්වයේ වේදනාව පවතියි. හැමවිටම එය මඟ හැරිය නොහැකිය. එය සමඟ ගනුදෙනු කිරීමට ඉගෙනීම අශුභවාදය නොව ඉතාමත් ප්‍රායෝගික ශුභවාදයකි.

 

(ලබන කලාපයෙන් වේදනාව හසුරුවා ගන්නා

ආකාරය ගැන දැන ගනිමු)

Comments