කාමරේ හොරකමක් | Page 2 | සිළුමිණ

කාමරේ හොරකමක්

පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ කෙළවරක වූ ෆයිබර් පුටුවක අසුන්ගත් මම හාත්පස සිසාරා වටපිට බැලුවෙමි. අවශේෂ මිනිස් මුහුණු සියල්ලේම පාහේ ඇත්තේ කුමක්දෝ වියළි බවකි.

"ඔන්න ඔය ඔසරියක් ඇඳලා තරුණ ගෑනු ළමයෙකුගේ අතින් අල්ලගෙන එන්නෙ ඔය කේස් එකට මාට්ටුවෙලා ඉන්න මෑන්ගෙ කසාද නෝනයි දුවයි තමයි..."අසල වූ පොලිස් නිලධාරියා කනට කොඳුරා කළ ප්‍රකාශයෙන් තිගැස්සුණු මා හට පෙනෙන්නේ ළා රෝස පැහැති ඔසරියක් හැඳ සිටිනා ගුරුවරියකගේ වැනි තැන්පත් පෙනුමක් සහිත හතළිස් විය පසුකළ පැහැපත් කාන්තාවකි. ඇයගේ සුරතෙහි එල්ලී සිටිනා පියකරු දියණියට වයස දාසයක් හෝ දාහතක් පමණ විය හැකිය. ඔවුන් අපරාධ විමර්ශන අංශයට ඇතුළු වූ සැණින් පැමිණිල්ලක් ලියමින් සිටි රාළහාමි කෙනෙක් පවා කෘතවේදී පිළිගැනීමේ සිනාවක් පාමින් "ඉඳගන්න මිස්.." යැයි කීවේ කිසියම් ගරුසරුවක් සහිතවය.

ගැඹුරු හුස්මක් උඩට ඇද සුසුමක් ලෙසින් මුදාහල මා සිදුව ඇති අලකලංචිය මුල සිට අගට මෙනෙහි කළෙමි.

අපගේ තානායමට නිතර එන යන වැඩිහිටි යුවළක් පසුගියදා අපගේ තානායමට පිටස්තර ගෙස්ට් හවුස් එකක නවාතැන් ගත් අවස්ථාවක බරපතළ ගැටලුවකට මුහුණ දී තිබේ.

එම යුවළ අතර සිටි පිරිමි තැනැත්තා ඔවුන්ගේ කුටියේ නාන කාමරයේ සිටිනා අතරේ එම පිරිමියා සමඟ ලැගුම් ගත් කාන්තාව තමා සමග පැමිණි පුරුෂයාගේ මුදල් පසුම්බිය සහ පවුමකට වඩා බරැති රන් අත් පලඳනාව සොරකම් කරගෙන රහසේම කාමරයෙන් පිටවී ගොස් තිබේ.

ඒ පිළිබඳ පොලීසියට පැමිණිළි කිරීමෙන් පසුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

අප තානායමේ ද මෙබඳුම සොරකමක් මීට හය මසකට පමණ ඉහතදී සිදු විය. එදා එම යුවළ අතර සිටි පිරිමියාගෙන් අස්ථානගතව තිබුණේ රත්‍රන් සුරයක් සහිත පවුම් එකහමාරකට වඩා බරැති රන් මාලයක් සහ පවුමකට ආසන්න පිරිමි රන් මුදුවකි.

තානායමේදී එම අගතිය සිදුවූ පිරිමියා මේ වන විට එතෙර රැකියාවකට විදේශගතව සිටිනා බැවින් මෙම ගෙස්ට් හවුස් සොරකම සිදු කළ කාන්තාව තානායමේදී එම සොරකම සිදු කළ කාන්තාවම දැයි හඳුනා ගැනීමට පොලීසියට මාගේ සහාය අවශ්‍යව තිබේ.

අද දිනයේ මා පොලීසියට පැමිණියේ එම ඉල්ලීම අනුවය.

"ආ.. ඔහේලා ආවාද? පොඩ්ඩක් ඉන්න අපේ ලොකු මහත්තයා උදේම පොඩි වැටලීමකට ගියා.. දැන් එනවා.. එතකොට අඳුනනවාද මිස් මේ මහත්තයා.. ඔහේලා අඳුනන්නේ නැති වුණාට ඔහේගේ මහත්තයා නම් මෙතුමා හොඳ හැටි අඳුනනවා ඇති."

මීට මොහොතකට පෙර එම මවත් දියණියත් පිළිබඳ මා හට රහසින් තෙපලූ පොලිස් නිලධාරියා කොහේදෝ සිට පැමිණ ඒ මවටත් දුවටත් මාගේ තනතුර ද පවසා මා හඳුන්වා දුන්නේ ශබ්ද නඟාය. සිනාසෙනවාද? නැද්ද? යන තීරණයට එළැඹිය නොහැකි වූ නිසාදෝ කාන්තාව යාන්තමට දෙතොල් මෑත් කළා පමණය. ඇය සමඟ සිටිනා දියණිය බිම බලාගත් වනමය.

"ගෙස්ට් හවුස් එකේදි ඔහේගෙ මහත්තයා බාත්රූම් එකේ ඉන්න අතරේ මහත්තයාගෙ සබ්බ සකලමනාවම අරගෙන පැනලා ගියපු ඒ කාන්තාව මීට කලින් තානායමටත් ඇවිත් තියෙනවද කියලා දෑහින් දැකලා, බලලා කියන්නයි තානායමේ මැනේජර් මහත්තයත් මේ පොලීසියට ඇවිත් ඉන්නේ.." පොලිස් නිලධාරියාගේ හඳුන්වා දීම ඉතා සරලය. එහෙත් වහා ගිණි ඇවිළෙන සුලුය.

"ඇයි මහත්තයා.. දරු පවුල් කඩා ඉහිරෙන විදියට... මේ වගේ දීගතලා දෙන්න කිට්ටු ළමිස්සියො ඉන්න තාත්තලාටත් කාමර විකුණලා පව් පුරවා ගන්නේ..."හෙණපතයක් මෙන් නොසිතූ මොහොතක කන වැකුණු එම වාග් ප්‍රහාරයෙන් මා හට හුනස්නෙන් විසි නොවී ගුරුත්වාකර්ෂණය සමමිතික කර ගැනීමට හැකි වූයේ ෆයිබර් පුටුවේ අත්ඇඳි දෙක නිසාය.

"ඔබතුමාලා ජෝඩුවලට බලෙන් කාමර දෙන්නේ නැති බව ඇත්ත... නමුත් මහත්තයා.. නීතියෙ රාමුව ඇතුළේ බලපත්‍රයක් ඇතිව වුණත් ඔබතුමාලා ඔය කරන වැඩෙන් පවුල් කඩා ඉහිරෙන බව විතරක් හොඳින් මතක තියාගන්න." ගැහැනිය මා අමතන්නේ ඉහිලුම් නොදෙනා කෝපයකිනි.

"වයස දහ අටට වැඩි ඕනැම ගෑනියෙකුටයි පිරිමියෙකුටයි කාමර දෙන්න ඔබතුමාලාට තියෙන ඒ අවසරයෙන් ඔය කාමරවලට රිංගන්න වැඩිපුරම එන්නෙ අසම්මත ජෝඩු නම් ඔබතුමාල කරන්නේ අවැඩක් නේද? මහත්තයා.."

"කාලා වරෙන්කෝ... දීහල්ලාකෝ පුළුවන් නම් උත්තර.."යැයි සිතා නිහඬව සිටින්නාක් මෙන් අසල මේසයක රතු පෑනකින් සිමෙන්ති ගඩොලක් තරමේ ඝනකම් පොතක මොනවාදෝ ලියමින් සිටිනා පොලිස් නිලධාරියා ද මීක් සද්දයක් නැත.

"බලන්න මේ දරුවගේ මුණ දිහා.. ඔබතුමාටත් මේ වයසේ ළමයි ඇති නේද?..."

"...ඇති... ඇති... මිස්.. ඔහේ ඉතින් නතර කරන් නෑනේ.."මෙතෙක් වේලා නිහඬව සිටි පොලිස් නිලධාරියා වහා හඬ අවදි කළේය.

"පොඩ්ඩක් කතා කරන්න දුන්නාම මිස් ඔය විදියට ඇකියුස්ගෙන් වගේ මේ මහත්තයාගේ ඇඟට ගොඩවෙලා මෙතන නඩු අහන්න තියාගන්න එපා.. මේ මහත්තයාට නෙමෙයි තමුන්ගෙ මහත්තයාටයි අවවාද කරලා දේසනා කරලා ගෙදරදිම හදා ගන්න තිබුණේ, තමුන්ගෙ දරු පවුලට පාරෙ බැහැලා යන්න බැරි කරන්නට කලියෙන්. එහෙම කළා නම් අපිටත් කරදරයක් නෑ...ඒක නිසා දැන් කාටවත් දොස් කියලා වැඩක් නෑ.. කට පියාගෙන ඉන්න ලොකු මහත්තයා එනතුරු..."පොලිස් නිලධාරියාගේ හඬින් ගැහැනිය නිහඬ වූවාය.

" එතකොට අංකල් ඔය කියන්නේ අර කළු පාළම ගාව තියෙන තානායමද?"කාන්තාවගේ තරුණ දියණිය මගෙන් විමසන්නේ බිම බලාගෙනය.

මම "..ඔව්.." කීවෙමි.

"ගිය අවුරුද්දේ අපේ ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාව යද්දි ඔය කළු පාළම ගාවදි අපේ බස් එක කැඩුණා. ඒක හදාගන්නා තුරු අපි ඒ තානායමේ මිදුලෙ ගස් යටට වෙලා තමයි හිටියේ... එදා ඒ තානායමේ වෙඩින් එකක්.. තානායමේ වේටර් මාමලා අපිටත් ෆෘට් ජූස් දුන්නා.. සමහර ළමයි නම් බිව්වා.. එදා ඔය අංකල් හිටියද නම් මට මතක නෑ.."

"...අන්න චීෆ්...අර රොබරි ඇකියුස්ගේ ගෙදර තිබිලා සුපිරි ආයුද ටිකකුයි කොහෙන්දෝ උස්සපු ලැප්ටොප් දෙකකුයි වීල් එකක දාගෙන අරගෙන ආවා.. කෝ ලොකු මහත්තයා.. අර හවුස් බ්‍රේකින් එක බලන්න ගිහින් ආවේ නැද්ද..?.."

අපරා‍ධ විමර්ශන අංශය වෙත හදිසියේ කඩා පහත් වූ දේහධාරී සිවිල් පොලිස් නිලධාරියා සිටියේ දහදියෙන් තෙත බරිතය. මම ජනේලයෙන් පිටත බැලුවෙමි. පොලීසියේ මිදුලේ නතර කළ ත්‍රිරෝද රථයකින් දිගැති කඩු දෙකක්, නංචාගු යුගලයක් සහ මිට දිගැති මන්නා පිහියක් දෑතින් ගෙන ලැප්ටොප් දෙකක් කිහිල්ලේ ගසාගත් සිවිල් පොලිස් නිලධාරියා ආපසු හැරුණේය. මම තවත් හොඳින් දෑස පිසදා බැලුවෙමි. ත්‍රිරෝද රථයේ පසුපස බඳෙහි වගන්තියක් ලියා තිබේ.

"සල්ලිත් නෑ... සනීපත් නෑ.."

Comments