
සියයට සියයක් දේශීය සමාගමක් වන Budry Electronics හෙවත් බඩ්රි තරාදි කර්මාන්ත ආයතනය, මේ පා තබා ඇත්තේ සිය අභිමානවත් 65 වැනි වසරට ය.
ඉදිකටුව අල්පෙනිත්ත පවා ආනයනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති කනගාටුව යටපත් කරමින්, රටක් හැටියට සතුටු වන්නට බඩ්රි ඉඩ හසර සලසා දී තිබේ.
ඒ අවුරුදු 65 ක් තිස්සේ අනේක විවිධ හැල හැප්පීම්වලට මුහුණ දෙමිනි. කාලයේ තාලයට වෙනස් වෙමිනි.
එවැනි දිගු කාලයක් දේශිය කර්මාන්තයක් රැක පවත්වා ගෙන ඒම, මේ වෙලාවේ රටට වටින්නේ හේතු ගණනාවක් නිසා ය. කර්මාන්ත වැසී යාමේ ඛේදවාචකය අත්විඳ ඇති ලංකාවට, පැරැණි දේශීය කර්මාන්ත මෙයාකාරයෙන් වර්ධනය වීම, ව්‍යාප්ත වීම සතුටට කාරණාවක් වනුයේ, දිගු කාලයක් එසේ පැමිණීම සහ පැවතීම සුළුපටු කාරණාවක් නොවන නිසා ය.
ඒ අනුව අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීන්දු තීරණ ගෙන නවීන ලෝකයට ගැළපෙන පරිදි සිය ගමන් මඟ වෙනස් කිරීම පිළිබඳ, දේශිය කර්මාන්තයක් ලෙස බඩ්රි ඉතා හොඳ පූර්වාදර්ශයක් සපයා තිබේ.
පනහේ දශකයේ වාවුර් පිච්චි අබ්දුල් අසීස් හෙවත්, ඩබ්. පී. අබ්දුල් අසීස් ලංකාවට බිහි කළ බඩ්රි තරාදි සමාගම, ඔහු හා එක්ව වර්තමානයට ගෙන ආ ඔහුගේ ලොකු පුතු ෆසීල් ඩීන් අසීස්, අද එහි සභාපතිවරයා ය. ඔහුගේ පුතුන් තිදෙනා වන තුන් වැනි පරම්පරාව ද රාජකාරි පටන් ගෙන තිබේ. ඒ බඩ්රි සමාගම අනාගතයට රැගෙන යෑමේ වගකීම දරන්නට ප්‍රායෝගිකව එක් වෙමිනි.
දෙවැනි පෙළක් බිහි විය යුත්තේ වැඩ කරමින් ලබන ප්‍රායෝගික දැනුම සමඟ විය යුතු බව ඔහු උගත්තේ සිය තාත්තා ගෙනි. ෆසීල් ඩීන් අසීස් සභාපතිවරයාට සිය තාත්තා යනු විශ්වවිද්‍යාලයකි. ජීවතුන් අතර නැති වුවත් ඒ විශ්වවිද්‍යාලයෙන් ලද දැනුම හා අවබෝධය නවීන තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ තුන් වැනි පරම්පරාව සමඟ වැඩ කළත් අදටත් ඔහුට ප්‍රායෝගිකව උපකාරී වන අවස්ථා එමට ය.
"අවුරුදු 65ක් සමරන මේ වසර වන විට අපි 90%ක් ම නිෂ්පාදනය කරන්නේ ඉලෙක්ට්‍රොනික තරාදි. 2000 වසරේ පටන් ඉලෙක්ට්‍රොනික තරාදි ගෙන්වීම සහ එකලස් කිරීමේ උපාංග ගෙන්වා නිෂ්පාදනය කිරීම අඛණ්ඩව සිදු කරනවා. මේ වන විට අපගේ තරාදි නිෂ්පාදනය සහ අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් සහ උපාංග මිලදී ගැනීම සඳහා චීනය සමඟ විශාල සබඳතා ජාලයක් මම හදා ගෙන තිබෙනවා. පියවරෙන් පියවර ඇවිත් අද අපි චීනයේ එවැනි සමාගම් 25 ක් සමඟ වෙළෙඳ සබඳතා පවත්වාගෙන යනවා. ඒ අනුව, ඉලෙක්ට්‍රොනික තරාදි වර්ග 100ක් පමණ අපි ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.
බඩ්රි කියන්නේ අද රටම දන්න බ්‍රෑන්ඩ් එකක්. තරමක් වෙනස් නමක් නිසාදෝ අපේ රටේ බඩ්රි තරාදි ගැන නොදන්නා කෙනෙකුත් නැති තරම්. සමහරු හිතන්නේ මේක විදේශීය සමාගමක් කියලා.
බඩ්රි කියන්නේ මගේ තාත්තා පුංචි කර්මාන්තයක් විදියට සේවකයින් තුන් හතර දෙනකුගෙන් පටන් ගත්, අද නවීන තාක්ෂණයත් එක්ක බොහෝ ඉදිරියට ආ, ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන 100%ක් දේශීය සමාගමක්.
තරාදි නිෂ්පාදනය පිළිබඳ පුරෝගාමී ආයතනයක් විදියට අපි සෑම විටම පාරිභෝගිකයන් උනන්දු කරවන්නේ, තමන් මිලදී ගන්නා තරාදියේ ප්‍රශ්නයක් ආවත් වගකියන සහ ඉක්මනින් අලුත්වැඩියා කර ගත හැකි තැනකින් මිලදී ගන්න කියා යි. මොකද ව්‍යාපාරයක් කරන විට, තරාදිය තමයි වැදගත්ම දේ.
බඩ්රි තරාදියක යම් ප්‍රශ්නයක් මතු වුවහොත් පැයක් ඇතුළත එය අලුත්වැඩියා කර දෙන්නට බැඳී සිටිනවා. යාපනයේ හෝ මාතර බඩ්රි පාරිභෝගිකයකුට වුවත් අප කුරියර් සේවාවන් හරහා එම තරාදිය මොරටුව, ගොරකානේ අපගේ කර්මාන්ත ශාලාවට ගෙන්වා ගන්නවා. දවස් දෙකක් ඇතුළත එය නිමවා ඒ දුර පළාත්වල පාරිභෝගිකයා වෙත නැවත යවන්නට අප සියලු කටයුතු සලසා තිබෙනවා.
තරාදි තාක්ෂණය දැන් හුඟක් දියුණුයි. මිල සහ භාණ්ඩ වර්ගය සමඟ භාණ්ඩ දහදාහක තොරතුරු ඇතුළත් කිරීමට හැකි තරාදි අප සතුව තිබෙනවා. දවසකට බිල් 100ක් ගියා නම් කුමන භාණ්ඩ ද වැඩිපුර ගියේ, කොයි තරම් ප්‍රමාණයක් ද, යන්න සහ ඒ එක් එක් භාණ්ඩ පිළිබඳ තොරතුරු වාර්තා මේ තරාදි හරහා ලබා ගන්නට පුළුවන්.
ව්‍යාපාරයක් කරන විට ඔළුව නිදහස් විය යුතුයි. තමන් සතු භාණ්ඩ තොගය පිළිබඳව සහ අලෙවි වූ ප්‍රමාණය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ව්‍යාපාරිකයා සතු විය යුතුයි. ඇත්තටම ඒ බරෙන් ව්‍යාපාරිකයා නිදහස් කරන්නට අති නවීන බඩ්රි තරාදිවලට හැකියාව තිබෙනවා.
විශේෂයෙන් ගෙවල්වල කුස්සියේ වැඩට උදව් වන කුඩාම තරාදියේ සිට Jewellery Scales හෙවත් රන් භාණ්ඩ කිරන තරාදි, Bathroom Scales හෙවත් බර කිරන තරාදි සමඟ ව්‍යාපාරවලට ගැළපෙන ටොන් අටක් දක්වා කිරා මැනිය හැකි තරාදි වර්ග බඩ්රි නිෂ්පාදන පෙළේ තිබෙනවා.
මේ ඉලෙක්ට්‍රොනික් තරාදි සේරම වැඩ කරන්නේ Load Cell නම් උපාංගයෙන්. තරාදියක හෘදය වස්තුව තමයි මේ Load Cell එක. අපි පාවිච්චි කරන්නේ ලොව සුපතළ ZEMIC, HBM, MAVIN, KELI වැනි OIML ප්‍රමිතිය යටතේ ඇති Load Cells. ව්‍යාපාරයක හරියට ම තොරතුරු ලබා දෙන නිවැරැදි ම තරාදියක් ලෙස බඩ්රි තරාදි වෙළෙඳපොළට එන්නේ මේ සුවිශේෂී අංගෝපාංග සමගයි.
ඇත්තටම මේක විද්‍යාවත් එක්ක යන කර්මාන්තයක්. ඒ නිසා මගේ ළමයි තුන්දෙනා ම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගෙන, උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේ අපේ කර්මාන්තයේ අනාගතයට අවශ්‍ය නවීන තාක්ෂණික විෂයන්.
මගේ ලොකු පුතා, ෂිමර් ෆසීල් නිව්යෝර්ක්වල Stony Brook University එකේ Electrical and Electronic ඉංජිනේරු උපාධිධාරියෙක්. දෙවැනි පුතා උමර් ෆසීල්. එයා නිව්යෝර්ක්වල Binghamton University එකේ පරිගණක ඉංජිනේරු උපාධිධාරියෙක්. මේ දෙන්නම දැන් ආයතනයේ අධ්‍යක්ෂවරු ලෙස වැඩ කරනවා. ඇත්තටම ඇමෙරිකාවේ ඉගෙන ගෙන එහි නවතින්නට අවස්ථාව තිබිය දී, මගේ ඉල්ලීමට ලොකු පුතාලා දෙන්නම ලංකාවට ඇවිත් මේ කර්මාන්තය ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් ඔවුන්ගේ දැනුම යොදවනවා. පූර්ණකාලීනව වැඩ කරනවා. ඒ ගැන තාත්තෙක් හැටියට මට තිබෙන්නේ සතුටක් වගේම අභිමානයක්.
මගේ තුන්වැනි පුතා මොහොමඩ් සමීර්. එයාත් ඇමෙරිකාවේ, Binghamton University එකේ, Business Management and Administration උපාධිය සඳහා ඉගෙන ගන්නවා. එයත් ඉගෙන ගෙන දවසක මේ ආයතනයට වැඩ කරාවි කියලා මම හිතනවා.
මගේ තාත්තා එයාගේ දරුවෝ 10 දෙනා ගැනම සතුටු වුණා වගේ මටත් මගේ දරුවෝ තුන් දෙනා ගැන සතුටු වෙන්න පුළුවන්. ගැහැනු ළමයි හය දෙනකුට පස්සේ උපන් පළමු පිරිමි ළමයා මම. මට අවුරුදු හතර පහ වෙනකොටම මම තාත්ත ගේ තරාදි වැඩපොළේ පුංචි පුංචි වැඩ කළා. ඉස්කෝලේ ඇරිලා ආ ගමන් මම දුවන්නේ ඒ පුංචි වැඩපොළට. මගේ ළඟම මල්ලීත් තේරෙන කාලේ පටන් ගත කළේ වැඩපොළේ. ඒ කාලේ තරාදි අච්චු හදන කර්මාන්තයට අදාළ සෑම සියුම් වැඩක්ම මල්ලිත් ප්‍රායෝගිකව ඉගෙන ගත්තා. අවුරුදු දහය දොළහ වෙනකොට මල්ලිටයි මටයි යකඩ, ෆිටර් හා වෑල්ඩින් වැඩවලට අදාළ සෑම දෙයක්ම පුළුවන්.
තාත්තා, සතොස වගේ ලොකු තරාදි වෙන්දේසිවලින් තරාදි අරන් හදනකොට ක්ෂේත්‍රය පිළිබඳ ක්‍රමවත් දැනුමක් තිබුණේ නැහැ. සෑම දෙයක්ම අත්හදා බලමින්, වරදිමින්, නැවත නැවතත් උත්සාහ කරමින් එයාගෙ ම තරාදියක් නිෂ්පාදනය කරන තරමට දියුණු වුණා. ඒ දවස්වල හදන සෑම තරාදියක් ම අනුමත කරගන්න තාත්තා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවට දහස් වරක් ගිහිල්ලා ඇති. වැරැදි අඩු පාඩු හදාගෙන නැවත නැවතත් එතැනට යන්න වෙච්ච අවස්ථා එමටයි.
තරාදි විතරක් නෙවෙයි, තාත්තගේ වැඩපොළේ යකඩ කර්මාන්තයට අදාළ බොහෝ දෑ හැදුනා. අලුත්වැඩියා කිරීම් වුණා.
වරක් මල්ලිගෙයි මගෙයි කරදරේට තාත්තා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකේ වෙන්දේසියකින් හැප්පිච්ච බෙන්ස් කාර් එකක් අරන් දුන්නා. මල්ලිටයි මටයි ඕනේ වුණේ ඒක හදලා පාවිච්චි කරන්න.
මිකැනික් බාස් ඇවිත් ඒ රාජකාරිය කරන කොට අපිත් ඒවාට සහභාගි වුණා. අත් උදව් දුන්නා. ඉගෙන ගත්තා. හැපිච්ච දොර තහඩුවල ඇද අරිනකොට අපිත් ඒ වැඩ කළා. ටින්කරින් බාස් ගේ රාජකාරියේදී ත් එහෙමයි. මේ විදියට මාස තුන හතරක් තිස්සේ කාර් එක හදලා ඉවර වෙනකොට අපි දෙන්නාටත් හොඳ දැනුමක් ලැබුණා. ඇත්තටම තාත්තා අපිට එවැනි අවස්ථා දුන්නේ අත්දැකීම් ලබමින් ඉගෙන ගන්න. පොඩි වුණාට අපේ උදව්වත් ඇතිව හදපු ඒ කාර් එක අවුරුදු ගාණක් අපි පාවිච්චි කළා.
මොන දේ කළත් තාත්තට තිබුණේ ධනාත්මක සිතිවිලි. හැපුණු වාහන පාවිච්චි කරන්න හොඳ නැහැ, හූනා කෑගැහුවොත් ගමන යන්න හොඳ නැහැ, වැඩක් කරද්දි වෙලාව බලන්න ඕනේ.... වගේ දේවල් තාත්තා සහමුලින් ම බැහැර කළා. ඒ විතරක් නෙවෙයි, අපිට ඒවා හිතන්නවත් ඉඩ තැබුවේ නැහැ.
මට අවුරුදු දහයක් විතර කාලේ වෙන කල් අපි හිටියේ තරමක් පුංචි ගෙදරක. දවසක් යාළුවෙක් කළුවරේ බය කරලා මම හති දාගෙන ගෙදර දිවුවා ම, තාත්තා මට කිව්වේ එක දෙයයි.
'පුතා ඔයා ඒ යාළුවා අත් හරින්න ඕනේ. ඔය වගේ negative thoughts ඔළුවට දාන අය අපි ජීවිතයට ළං කර ගන්න හොඳ නෑ...'
තාත්තා හැම වෙලාවෙම සම්ප්‍රදායෙන් පිට හිතපු කෙනෙක්. මුස්ලිම් සංස්කෘතිය තුළ ගැහැනු දරුවන් රැකියා කිරීම එතරම් සිදු නොවුණු යුගයකත්, තාත්තා මගේ අක්කලා හය දෙනාව ම එයාගේ කර්මාන්තයට සම්බන්ධ කර ගත්තා. කොළඹ ප්‍රසිද්ධ පාසල්වලට යවලා හොදින් ඉගැන්වූවා.
තාත්තගේ තරාදි අලුත්වැඩියාව එයාගෙ ම තරාදි නිෂ්පාදනයක් බවට පත් වේගෙන එනකොට ඒ නිෂ්පාදනවලට නමක් තියන්න ඕනෙ වුණා. ලෝකේ හොඳම තරාදි ලෙස ගැනෙන්නේ Avery බ්‍රෑන්ඩ් එක. ඒ වගේම තාත්තගේ දෙවැනි දුව ගේ නම Badriya. මගේ පොඩි අක්කාගේ ඒ නම සහ Avery නම සම්බන්ධ කරලා තමයි තාත්තා Budry නම තැබුවේ. ඇත්තටම ඒ නම ව්‍යාපාර ලෝකයේ රැඳුන අමතක නොවන නමක් සහ බ්‍රෑන්ඩ් එකක් වුණා.
තාත්තා අපිට දුන් දේ බොහෝම යි. ඕනෑම කෙනෙක් ජීවත් වීම සඳහා යම් කර්මාන්තයක් ඉගෙන ගන්න ඕනේ, ඊට අදාළ දැනුම ලබා ගන්න ඕනේ. රටේ ආර්ථිකය සහ තමන්ගේ දියුණුව සඳහා ඒ කර්මාන්තය සාධාරණව පවත්වා ගෙන යන්න ඕනේ. අවශ්‍ය තැන්වලදී නොබියව තීන්දු තීරණ ගන්න ඕනේ....මේ වගේ කර්මාන්තයට සහ ජීවිතයට අදාළ සියලු දේ තාත්තා අපිට ඉගැන්වූවේ අත්දැකීම්වලින්.
ඒ වගේම, මේ ව්‍යාපාරය යම් තැනකට ගේන කල් බොහෝ වෙහෙස මහන්සි වූ මගේ ලොකු මල්ලී, උසස් අධ්‍යාපනයට ගිහින් ඇමෙරිකාවේ ම පදිංචි වුණා. මට දැනුණේ මගේ එක අතක් නැති වුණා වගේ. මේ කර්මාන්තය මේ තැනට ගේන්න එයා ඒ තරම් ලොකු වැඩ කොටසක් කළා.
මගේ අම්මා, ෂරෆුල් සරීනා. තාත්තා ගේ ව්‍යාපාර තැනකට එනකල් ඇය තාත්තා ගේ සෙවනැල්ල මෙන් ළඟ හිඳ දිරි දුන්නා. උදව් කළා. ඈ බොහොම ධෛර්යවන්ත අම්මෙක්.අදටත් මම යම් යම් තීරණ ගනිද්දී අම්මා එක්ක කතා කරනවා.
දැන් තුන්වැනි පරම්පරාවත් වැඩ පටන් අරන් නිසා මේ දේශීය කර්මාන්තය තව බොහෝ දුරක් ඔවුන්ගේ දැනුම සමඟ ඉදිරියට යාවි.
අනික බඩ්රි කියන්නේ Family Business එකක් නිසා, මගේ බිරිඳත් සමාගමේ අධ්‍යක්ෂවරියක් විදියට වැඩ කරනවා. ඇත්තටම වැඩි කතා බහක් නැති වුණත් පවුලේ ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් ඇයත් වෙහෙස මහන්සි වී කටයුතු කරනවා.
ඒ වගේම ආරම්භයේ පටන් අද දක්වා අපිත් එක්ක වැඩ කරන සියලු සේවකයන් මේ ආයතනයේ දියුණුවට විශාල දායකත්වයක් දුන් බවත් කිව යුතුයි..."
බඩ්රි තරාදිවල මාදිලි අංක හෙවත් Model Numbers පිළිබඳවද ඇත්තේ වෙනස් කතාවකි. එනම්, ඒ සෑම මාදිලි අංකයක ම අර්ථය, පවුලේ කෙනකුගේ නමේ ඉංග්‍රීසි මුලකුරු සමඟ එක්කෝ උපන් දිනයකි. නැති නම් තරාදියට අනුමැතිය ලැබෙන විට පවුලේ කෙනෙකුගේ වයසකි.
එහෙයින් යකඩ, ඉලෙක්ට්‍රොනික හෝ කිනම් මූල ද්‍රව්‍යයකින් සැදුම්ලත් තරාදියක් වුවද බඩ්රි සමාගමට එය භාණ්ඩයකට හෝ ගනුදෙනුවකට එහා ගිය, තමන්ගේ ම කෙනකු වැනි හැඟුමකි.
බඩ්රි තරාදි මිල දී ගැනීමට විමසන්න.
0773 398863
0777 707085
0777 787085