ජීවිතයට හයියක් වෙන කෙනෙක්ව තමයි මං හොයන්නෙ | සිළුමිණ

ජීවිතයට හයියක් වෙන කෙනෙක්ව තමයි මං හොයන්නෙ

 

“මුහුදු රැල්ල දඟ කරද්දි
කොළඹ අහස ලස්සනද
විසේකාර මල් දකිද්දී
මා ගැන අමතක වූවාද..”

 

ශ්‍රාවක මතකයෙන් ගිලිහී නොයන කාන්තා හඬ පෞරුෂයක් හිමි ඇය වෘත්තියෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බළකායේ කෝප්‍රල්වරියක්. රණවිරු රියල් ස්ටාර් දෙවන අදියරය ජයගත් ගායිකා අයෝමි පෙරේරා මෑතකදී ගායනා කළ ගීත අතර ප්‍රේක්ෂකයන් වඩාත් ආදරෙන් වැලඳ ගත් මේ ගීතය රචනා කළේ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්. ප්‍රවීණ සංගීතඥ අශෝක කෝවිලගේ නිර්මාණය කළ තනුව සහ සංගීත රටාවත් ගීතයට අපූර්වත්වයක් එක් කර තිබෙනවා.මේ දිනවල ප්‍රසංග වේදිකාවේ සහ රූපවාහිනී වැඩසටහන්වල වැඩිම ඉල්ලුමක් සහිත මෙම ගීතය සහ ඇයගේ කලා ජීවිතය පිළිබඳව රසඳුන කළ කතාබහයි මේ.

මුලින්ම කියන්නකො මේ ගීතය නිර්මාණය වුණේ කොහොමද කියලා.?

අශෝක කෝවිලගේ අයියා තමයි මට මේ ගීතය ගයන්න කතා කළේ. ඔහු මීට කලිනුත් මට රණවිරු ගීතයක් නිර්මාණය කළා. ජනප්‍රිය ගායක ගායිකාවන්ටත් ඔහු ගීත රැසක් නිර්මාණය කරල තියෙන නිසා මම මේ වැඩේ බොහෝම කැමැත්තෙන් බාර ගත්තා.

සජීවී ප්‍රසංගවලදී ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද.?

කොවිඩ් කාලයේ සංගීත ප්‍රසංග අඩු වුණත් දැන් ප්‍රසංග සංවිධානය වෙනවා. වේග රිද්මයේ වෙනස් ආරයකින් ලියවුණු විරහ ගීතයක් නිසා ඇත්තටම බෑන්ඩ්වලිනුත් ඉල්ලීම් කරනවා මේ ගීතය ගයමු කියලා. පහුගිය දවස්වල තිබ්බ සංගීත ප්‍රසංගවලත් ඉස්සරහට සහභාගි වෙන්න තියෙන ප්‍රසංගවලත් මම මුලින්ම කියන්නේ මේ සින්දුව.

දැනට ගීත කීයක් විතර ගායනා කරලා තියෙනවද?

දැනට නිර්මාණ දහයක් විතර කරලා තියෙනවා. “හිතක තියෙන ආදරය තරම්, මගේ හිතේ නවතින්න, වැස්ස තුරල් වන තුරු, රෑනේ ඉගිලිලා යන්න ගියේ නෑ” වැනි ගීත වැඩිපුර ශ්‍රාවකයන් අතරට ගියා.

චිත්‍රපට ගීතත් කිහිපයක් ගායනා කළා නේද.?

තරඟයෙන් දිනන්න කලින් ඉඳලම මම චිත්‍රපට ගීත ගායනා කළා. චිත්‍රපට විස්සකට පමණ ගීත ගයන්න අවස්ථාව ලැබුණා. ඒ අතර එරංග සේනාරත්ගේ චිත්‍රපටයක් හර්ෂ උඩකන්දගෙ ෆේස් ටු ෆේස්, කොළඹ සන්නිය, කබඩි විශේෂයි. ඉදිරියෙදි චිත්‍රපට පහක් විතර තිරගත වෙන්න නියමිතයි.

සිනමාවට ගැළපෙන හඬක් ලැබෙන්නෙ කලාතුරකින්. ඒ ගැන ඔයාගෙ අදහස.?

ගොඩක් සතුටුයි. තරගයේදී මම වැඩිපුරම ගායනා කළේත් සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල , චිත්‍රා සෝමපාල වැනි ශිල්පිනියන්ගේ චිත්‍රපට ගීත. ඒව මිනිස්සු ආදරෙන් වැලඳගත්තා. ඒ වගේම ප්‍රවීණයන් රැසක් මට කියලා තියෙනවා මගේ හඬ චිත්‍රපට පසුබිම් ගායනයට ගැළපෙනවා කියලා.

චිත්‍රපටවල සින්දු කියන අතර රඟපාන්නත් බලාපොරොත්තුවක් තිබ්බද.?

එහෙම නෑ. මම කලාවට ගොඩක් ආසයි. ඉතින් ගායනය වගේම රංගනයත් කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි. වෙනත් රැකියාවක් කරන නිසා රංගනයට කාලය වෙන් කරගන්න අපහසුයි.

අයෝමි රඟපාපු නිර්මාණ මොනවද.?

තිස්ස විජේකෝන්ගේ ‘ධවල චක්‍ර‘ චිත්‍රපටයේ රඟපෑවා. ඊට අමතරව දෙරණ නාලිකාවේ ටෙලි නාට්‍යයකටත්, මගේ ගීතවල රූප රචනාවලත් රඟපෑවා.

සංගීත ප්‍රසංගවලදි වුණ අමතක නොවන සිදු වීමක් කිවුවොත්.?

මාව රණවිරු කාන්තාවක් විදිහටනෙ හඳුන්වලා දෙන්නෙ. වැඩිහිටියො ළඟට ඇවිල්ල කතා කරනවා. දවසක් මම සින්දු කියලා යනකොට තාත්ත කෙනෙක් මට වැන්දා. ඒ සිදුවීම මට අමතක වෙන්නේ නැහැ.

ඔබ ගායනය ගැන හැදෑරීමක් කළාද.?

සාමාන්‍ය පෙළ දක්වා පාසලේ හැදෑරුවෙ නර්තනය. ඊට පස්සේ ගායනය පිළිබඳව ඩිප්ලෝමාවක් කළා. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් බවටත් පත් වුණා. ඒක මට ලැබුණු ලොකු භාග්‍යයක්.

එතකොට අයෝමිගෙ ගම, පවුලෙ තොරතුරු.?

මගෙ ගම පානදුර. මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට තමයි පාසල් ගියේ. තාත්තා අවුරුදු අටකට කලින් ලියුකේමියා රෝගය නිසා නැති වුණා. මගේ අම්මයි මමයි ගෙදර ඉන්නේ. අක්කලා දෙන්නයි නංගියි විවාහ වෙලා.ඔවුන්ට දරුවෝ ඉන්නවා.

අයෝමි ඇයි තවම තනිකඩ.?

විවාහ යෝජනා ලැබෙනවා. ඉස්සරට වඩා මම මේ වෙනකොට සමාජයේ යම් තැනක් හදාගෙනනෙ ඉන්නෙ. මට ගැළපෙන සහ මගෙ රැකියාවටත් කලාවටත් උදවු කරන ජීවිතයට හයියක් වෙන කෙනෙක් තමයි මම විවාහ වෙන්න තෝරගන්න ඕනෙ. එහෙම කෙනෙක් ලැබුණොත් මම විවාහ වෙනවා.

අනෙකුත් නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය ගැන සතුටුයිද.?

බොහෝ දෙනෙක්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔය අතර කැපිලි කෙටිලි නෑ කියලා කිවුවොත් ඒක බොරුවක්. ඕනම ක්ෂේත්‍රයක අපිට කැමති අය වගේම අකැමති අයත් ඉන්න නිසා ඒක තේරුම් අරගෙන අපිට කැමති පිරිසත් එක්ක තමයි අපි ඉස්සරහට යන්න ඕනේ.

කටකතා ගැන ගැන මොකද හිතන්නෙ.?

කටකතා හැදෙන්නේ නෑ කියලා කියන්නෙ ඇත්තටම අපි දුර්වලයි කියන එක. සාර්ථක වෙනකොට කටකතා හැදෙන එක නවත්තන්න බෑ. සමහරු කියනවා මම විවාහ වෙලා කියලා. හැබැයි මගේ ජීවිතේ ගැන දන්නෙ මම සහ මගෙ ගෙදර අය.

අනාගත බලාපොරොත්තු මොනවද.?

ලොකු බලාපොරොත්තු නම් නැහැ. මම ආසයි බොහොම සැනසිලිදායක ජීවිතයක් ගෙවන්න. ගෙවුණු අවුරුදු ගණනාවක් ගොඩක් මහන්සි වෙලා මට අවශ්‍ය මූලික දේවල් ටික මේ වෙනකොට මම ලබාගෙන තියෙන්නෙ. සල්ලි, ජනප්‍රියත්වය වුණත් අපිට ඕනැවට වැඩිය ඕනේ නැහැ. වැඩිපුර දෙයක් තියෙනවනම් කාට හරි උදවු කරනවා. කොච්චර ඉහළ ට ගියත් මගේ හිතේ සැනසීම නැති කරගන්න මම කැමති නෑ. තව ලස්සන සින්දු කරලා රසිකයන්ව සතුටු කිරීම තමයි මගෙ බලාපොරොත්තුව.

Comments