
වේදිකාව, ඕනෑම රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට රංගන පාසලක් බව බොහෝ දෙනා පිළිගත් මතයයි. දුලාන් වීරසිංහ ද එසේ වේදිකාවෙන් බිහි වූ තරුවකි. ඊඩිපස්, ගුත්තිල කාව්‍ය, ජුලියස් සීසර් වේදිකා නිර්මාණවල ප්‍රධාන නළු භූමිකා රඟදැක්වූ ඔහු අද අධ්යක්ෂවරයාගේ භූමිකාව රඟදක්වයි. ‘රැඩිකල් ප්‍රේමයක්‘ ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණයයි. ජූලි 01 වැනිදා සවස 3.30ට සහ 7.00ට මරදාන ටවර් හෝල් රඟහලේදී වේදිකාගත වන රැඩිකල් ප්‍රේමයක් අත්දැකීම ගැන දුලාන් අප හා පැවසුවේ මෙවැනි කතාවකි.
“රැඩිකල් ප්‍රේමයක් මගේ කුලුඳුල් නිර්මාණය විදිහට බිහි වන්නේ 2016 වසරේ වයඹ රාජ්‍ය නාට්‍ය උලෙළ වෙනුවෙන්. ඒක ලංකාවේ තුන්වැනියට තියෙන සම්මාන උලෙළ. හොඳම නාට්‍යය, හොඳම අධ්යක්ෂ, හොඳම අංග රචනය, හොඳම සංගීතය, හොඳම නිළිය, හොඳම නිෂ්පාදනය ඇතුළුව සම්මාන 13ක් එහිදී හිමිවුණා. හොඳම නළුවා කියන කැටගරි එක විතරයි අපිට නැති වුණේ. ඒකටත් හේතුවක් තිබුණා. මේ නාට්‍යයෙන් කියැවෙන්නේ සම්පූර්ණයෙන්ම කාන්තාවො ගැන. කාන්තාව කියන චරිතය තුළ සිදුවන හැලහැප්පීම් එක්ක කාන්තා චරිත රාශියක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ.
මෙය ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණයක්. තිර රචනය සහ අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනය සිදු වෙන්නෙත් මගේම ආයතනයකින්. මෙතැනදි මම නාට්‍ය ශෛලීන් කිහිපයක්ම යොදා ගත්තා. 2016 දී ග්‍රීක නාට්‍ය කලාව උපයෝගී කරගෙන ග්‍රීක නාට්‍යයක් විදිහටයි නිර්මාණය වුණේ. වෘත්තියෙන් නීතිඥවරයෙක් වුණු මට ඒ රාජකාරිත් එක්ක මේක දිගටම කරගෙන යන්න බැරි වුණා.
ඊට අවුරුදු 8කට පස්සෙ තමයි මේ වසරෙ මේක ප්‍රතිනිර්මාණය වෙන්නෙ. තිර රචනයේ යම් යම් වෙනස් වීම් වගේම අලුත් චරිත එකතු කිරීම් එක්ක ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු වුණා. මේක පර්යේෂණාත්මක නාට්‍යයක්. ග්‍රීක නාට්‍ය කලාව සහ සාමාන්‍ය ජනතාව විදිහට අපි වර්තමානයේ ජීවත්වන සාමාන්‍ය පරිසරයේ සිදුවීම් එක්කයි මේක ගලාගෙන යන්නේ. ඒ වගේම මෙතැනදි මං උත්සාහ කළා පොඩි සිනමාරූපී අත්දැකීමකුත් ප්‍රේක්ෂකයාට දෙන්න. ඒ සඳහා ලයිට්, කොස්ටියුම්, අනිත් අනුෂාංගික අංග කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ගැනත් සැලකිලිමත් වුණා. ඉතිහාස කතාවයි වර්තමානයයි දෙකම කතාවෙන්නේ මෙතැනදි ගැහැනිය වටා. තනිකරම පෙමිනිසම් කියන එක මේකෙදි කතාවෙනවා. ඒ කියන්නේ ගැහැනියගේ ආධිපත්‍ය කියන එක කොහොමද ගොඩනැඟෙන්නෙ කියන එක. මේක ඇතුළෙ තියෙන්නේ යුද්ධයක්. ප්‍රේමය වටා ඇතිවන යුද්ධයක්. ගැහැනිය ඇතුළෙ තියෙන ප්‍රේමය කොහොමද? ඒ ප්‍රේමය වර්තමානයත් එක්ක යන්නෙ කොහොමද? ඒ ප්‍රේමය අතීතයේ සිදු වුණේ කොහොමද? ප්‍රේමයට දෙන අනිත් අර්ථකථනත් එක්ක ඒක රැඩිකල් වෙන්නෙ කොහොමද? සර්වකාලීනත්වයකින් මේ ප්‍රේමය තියෙන්නෙ කොහොමද? කියන එක මේකෙදි කතා වෙනවා. රැඩිකල් කියන වචනෙම තියෙන්නේ පෙර නොවූ විරූ දෙයක් කියනෙක. ප්‍රේමය ඇතුළෙ අපි නොදැක්ක පැත්තක් මේ නාට්‍ය ඇතුළේ තියෙනවා. ඒක එළියට එන්නේ කාන්තා චරිතවලින්. විවිධාකාරයෙන් අත්විඳින්න පුළුවන් ප්‍රේමයක් මේකෙ තියෙන්නෙ. ඒකෙ සුන්දර, අසුන්දර පැති වගේම භයානක පැත්තකුත් තියෙනවා. ප්‍රේමය වටාම යන කතාවක්. රංගන ශිල්පීන් 30කට ආසන්න ප්‍රමාණයක් දායක වෙනවා. 16ක් 17ක් විතරම කාන්තා චරිත. ප්‍රධාන චරිත 9යි. චානු දිසානායක, සුලෝචනා හරපත්දෙනිය, සුධීක්ෂා සමාධි, කෞමදි මහේෂිකා ප්‍රධාන කාන්තා චරිතවලින් දායක වෙද්දි පැතුම් ආකර්ෂණ, තිමංක ජයලත්, සනිඳු රත්නායක ප්‍රධාන නළු භූමිකාවෙන් එකතු වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් විශාල පිරිසක් සහභාගි වෙනවා.“
චරිත තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වූ බව ඔහු අප හා පැවසුවා.
“චරිත තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් ක්ෂේත්රයේ ඉන්න, වැඩ කරන නවකයින්ව තෝරගත්තා. විශේෂයෙන්ම චානු දිසානායක, සුධීක්ෂා සමාධි බොහෝ දුරට දකින්න ලැබෙන්නේ පුංචි තිරය මත විතරයි. එයාල වේදිකාවක් මතට ගෙනැල්ලා, එයාලගෙ අලුත් හැකියාවන් එයාලටම හොයාගන්න දීලා. ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් දෙන්න මං උත්සාහ කළා. ඒ වගේම විශ්වවිද්‍යාලවල නාට්‍ය කලාව හදාරන ළමයින්ටත් අවස්ථාවක් දුන්නා. මේක පැය එකහමාරක කාලයයි දුවන්නේ. ඒ කාලය පුරාවට ගීතයෙන්, සංගීතයෙන්, සිද්ධිමය දාමයන්ගෙන් පිරුණු ලස්සන කලාත්මක ප්‍රතිනිර්මාණයක් විදිහට විඳගන්න හැකි වේවි. ප්‍රේක්ෂකයාගේ ඇහැ ඉවතට ගන්න හිතෙන්නෙ නැති විදිහට ප්‍රේක්ෂකයන්ව අල්ලල තියාගන්න පුළුවන් විදිහටයි මේකෙ නව නිර්මාණය කළේ. අනෙක් ඒව එක්ක බලද්දි මේක පර්යේෂණාත්මක නව නිර්මාණයක් විදිහටයි කළේ. ඉතිහාසය සහ වර්තමානය යන දෙකම ඝට්ටනය වන තැනක් මේක. මට මේක අභියෝගයක් වෙන්නේ වෙන ක්ෂේත්රයක් නියෝජනය කරමින් මේකෙ නියැළෙන නිසා.”
රැඩිකල් ප්‍රේමයක් නිර්මාණය සාර්ථක කරගැනීමට දායක වූවන් ගැන මතක් කරන්නත් දුලාන් අමතක කළේ නැහැ.
“රැඩිකල් ප්රේමයක්හි සංගීත සංයෝජනය යෞවන සහ රාජ්‍ය නාට්‍ය උලෙළවල සම්මානිත සංගීත අධ්යක්ෂ හේෂාන් කුරුප්පුගේ. මේකෙ ගොඩක්ම තියෙන්නේ වෙස්ටර්න් හුරුවට යන ගීත. ඒ වගේම ඇඳුම් නිර්මාණය කළෙත් සම්මානනීය ඇඳුම් නිර්මාණ ශිල්පිනී සෙව්වන්දි විතානගේ. පසුතල සහ ආලෝකකරණය රංග කාරියවසම්. ඔහුත් බොහෝ අත්දැකීම් බහුල සම්මානිත ශිල්පියෙක්. ආලෝකකරණය, පසුතල නිර්මාණය වගේම රංග කාර්යයන් නවතම ස්වරූපයෙන් යොදාගෙන තිබීමත් නාට්‍ය හා කලාව ගැන හදාරන, අධ්‍යයනය කරන සිසුන්ට වගේම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ටත් ගොඩක් වැදගත් වේවි. අනිත් වැදගත් කාරණය තමයි රැඩිකල් ප්‍රේමයක් මේ අවුරුද්දෙ යෞවන සම්මාන උලෙළට තරග වදිනවා. ඒ වගේම රාජ්‍ය නාට්‍ය උලෙළට අයදුම් කරලා ඒ ගැනත් බලාපොරොත්තු තියාගෙනයි ඉන්නේ. ජූලි මස 01 වැනිදා සවස 3.30 ට සහ 7.00 ට මරදාන ටවර් රඟහලේදී වේදිකාගත වන “රැඩිකල් ප්‍රේමයක්” ඔබට නවතම අත්දැකීමක් වේවි.