කන්ගනා රනෝත් ඉන්දිරා ගාන්ධිගේ චරිතයට පණ දෙයි | සිළුමිණ

කන්ගනා රනෝත් ඉන්දිරා ගාන්ධිගේ චරිතයට පණ දෙයි

ජනප්‍රිය ඉන්දීය නිළි කන්ගනා රනෝත් එරට හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ චරිතය නිරූපණය කරන සිනමාපටයක් ගැන මේ දිනවල මාධ්‍ය තුළ ලොකු අවධානයක් යොමු වෙනවා. මෙම සිනමාපටයේ නම Emergency. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ ද කන්ගනා විසින්ම වීමයි.

චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව කන්ගනා ටික කලකට පෙර සඳහන් කර තිබුණා. දැන් එහි පසු-නිෂ්පාදන කටයුතු සිදු වෙමින් ඇති අතර ලබන ඔක්තෝබරයේ එය ප්‍රේක්‍ෂකයන් හමුවට එනු ඇති. ඉන්දියානු දේශපාලන ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිද්ධියක් පසුබිම් කරගෙන නිර්මාණය කෙරුණු Emergency බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නා සහ කතාබහට ලක්වන චිත්‍රපටයක් වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකියි.

මෙයට පසුබිම් වන්නේ 1975 වසරේ ඉන්දිරා ගාන්ධි අගමැති ධුරය දරමින් සිටි කාලයේ ඉන්දියාව තුළ හදිසි නීතිය පනවමින් ඉතා මර්දනකාරී පාලනයක් ගෙන ගිය ආකාරයයි. 1977 වසර වනතෙක් මාස 21කට ආසන්න කාලයක් ඇය මෙලෙස හදිසි නීතිය යටතේ රට පාලනය කළා. ඒ කාලය තුළ මානව හිමිකම් උල්ලංඝනයන් විශාල වශයෙන් සිදු වූ අතර දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම, මාධ්‍ය මර්දනය කිරීම වැනි දේ ද බහුල වශයෙන් සිදු වුණා. මෙය ඉන්දියානු දේශපාලන ඉතිහාසයේ දරුණු කළු පැල්ලමක් සනිටුහන් කළ අවස්ථාවක් ලෙස සැලකෙනවා.

මේ ආකාරයෙන් හදිසි නීතිය පනවා තිබුණේ එරට අධිකරණයක් ඉන්දිරා ගාන්ධිට එරෙහිව බරපතළ තීන්දුවක් දී තිබූ පසුබිමක යි. ඇය සිය මැතිවරණ ජයග්‍රහණය සඳහා රාජ්‍ය යන්ත්‍රය අවභාවිත කර ඇති බවක් අලහබාද් මහාධිකරණය තීන්දු කළා. වසර හයක කාලයක් ඇය මැතිවරණ සඳහා තරග කිරීම තහනම් කිරීමට ද අධිකරණය කටයුතු කළා. මෙම තීන්දුවට එරෙහිව ඉන්දිරා ගාන්ධි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියා. මේ අතර ඇයට එරෙහිව ඇයගේ විරුද්ධවාදීන් විරෝධතා සංවිධානය කළ අතර හදිසි නීතිය ක්‍රියාත්මක කෙරුණේ එම පසුබිම තුළ යි.

මේ වනවිට චිත්‍රපටය නරඹා ඇති සිනමාවට සම්බන්ධ ඇතැමුන් Emergency චිත්‍රපටයේ කන්ගනාගේ රංගනය ඉහළින් වර්ණනා කර තිබෙනු දැකිය හැකි වුණා. ජනප්‍රිය නළු අනූපම් කේර් ද මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා. ඒ ඉන්දිරා ගාන්ධිගේ ප්‍රධාන ප්‍රතිවාදියකු වූ ජයප්‍රකාශ් නාරායන්ගේ චරිතය යි.

කෙසේ හෝ වේවා, පසුගිය වසරේ Emergency චිත්‍රපටයේ මුල් පෝස්ටර සහ පූර්ව ප්‍රචාරක පට නිකුත් වූ අවස්ථාවේ ඉන්දිරා ගාන්ධිගේ පක්‍ෂය වූ ඉන්දීය ජාතික කොංග්‍රසයේ ඇතැමුන් මෙම සිනමාපටයට එරෙහිව විරෝධය දක්වා තිබුණා. මේ වෙද්දී මෙම පක්‍ෂයේ නායකත්වය දරන්නේ සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි වැනි අය යි. කන්ගනාගේ Emergency චිත්‍රපටය ඉන්දිරා ගාන්ධිගේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා නිර්මාණය කරන ලද්දක් බවට කොංග්‍රස් පක්‍ෂයේ සමහරුන් චෝදනා කරනවා. කන්ගනා රනෝත් සැලකෙන්නේ වත්මන් අගමැති නරේන්‍ද්‍ර මෝදිට සහ ඔහුගේ භාරතීය ජනතා පක්‍ෂයට සහය දක්වන කෙනෙකු හැටියට යි. භාරතීය ජනතා පක්‍ෂය සහ කොංග්‍රස් පක්‍ෂය යනු දේශපාලන වශයෙන් සතුරු පක්‍ෂ දෙකක්. කන්ගනාගේ චිත්‍රපටය භාරතීය ජනතා පක්‍ෂයේ වුවමනාව මත ඉන්දිරා ගාන්ධිට මඩ ගැසීම සඳහා නිපදවන ලද්දක් බවයි ඉහත කී පාර්ශ්ව පවසන්නේ. මෙම තත්ත්වය තුළ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ පසු විශාල ආන්දෝලනයක් ඇති වීමටත් ඉඩ තිබෙනවා.

කන්ගනා මෙයට පෙර ද දේශපාලන තේමාවන් රැගත් චිත්‍රපට කිහිපයකම රඟපෑවා. 2021 වසරේ තිරගත වූ ‘තලයිවි’ ඊට එක් නිදසුනක්. එහි ඇය රඟපෑවේ දෙමළ සිනමාවේ මෙන්ම තමිල්නාඩු දේශපාලනයේ ද දැවැන්තයකු වූ ජයරාම් ජයලලිතාගේ චරිතය යි. 2019 වසරේ තිරගත වූ ඇයගේ Manikarnika: The Queen of Jhansi චිත්‍රපටය ද දේශපාලන තේමාවක් රැගත් සිනමාපටයක්. එය නිර්මාණය වූයේ ඉන්දියානු ඉතිහාසයේ සිටි සටන්කාමී කාන්තාවක වූ රාණි ලක්‍ෂ්මිබායි ගේ චරිතය ඇසුරෙනුයි. ඇය ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් කළ එඩිතර නායිකාවක්. Manikarnika චිත්‍රපටයේ අධ්‍යක්‍ෂණයටත් කන්ගනා දායක වුණා. මෙහි රංගනය වෙනුවෙන් ඇයට ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ දී හොඳම නිළිය සම්මානය හිමි වුණා.

මේ වනවිට 36 වැනි වියෙහි පසුවන කන්ගනා ඉන්දියාවේ සිටින දක්‍ෂතම නිළියක වන අතර විවිධ සම්මාන උළෙලවල දී සම්මාන රැසක් දිනාගෙන තිබෙනවා. ඇය රඟපෑ පළමු සිනමාපටය 2006 වසරේ තිරගත වූ Gangster චිත්‍රපටය යි. එම පළමු රංගනය වෙනුවෙන්ම ඇය හොඳම නවක නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනාගත්තා.

Comments