අපේ ඇරියස් නරක විදියට ගත්තොත් අපි පට්ට කුහකයෝ | Page 2 | සිළුමිණ

අපේ ඇරියස් නරක විදියට ගත්තොත් අපි පට්ට කුහකයෝ

මේ දිනවල තිරගත වන සිනමා නිර්මාණ අතරේ බෙහෙවින්ම කතාබහට ලක්වෙන සිනමා නිර්මාණයක් තමයි සම්මානිත සිනමාවේදි ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන ලද මිදුණු විශ්වය. මෙතෙක් සිනමාවේ අත් නොවිඳි අත්දැකීමක් ලෙසින් කාලයාත්‍රාව මූලික කරගෙන සිනමාරූපීව ගොඩනැඟුණු මිදුණු විශ්වය තුළ අපට හමුවෙන අමතක නොවනම චරිතයක් ඩන්කන්. මිදුණු විශ්වය බලපු ප්‍රේක්ෂකයා ඩන්කන් ගැන මුහුණු පොතට හෝ සටහනක් තබන්නට අමතක කරන්නෙ නැහැ. ඩන්කන්ට ජීවය දෙන්නෙ ලාංකීය සිනමා රූපණය තුළ අපිට මුණගැහෙන අපූරු රංගධරයෙක් වන බුද්ධික ජයරත්නයි

ඩන්කන් ගැනයි බොහෝ දෙනා කතා වෙන්නෙ, අපි ඒ කතාවෙන්ම මේ කතාවට මුල පුරමු

හරිම සංතුෂ්ටියට කාරණාවක් ඒක. මම හැමතිස්සෙම පිළිගන්නවා අපිට ජීවිතේ ඇරියස් තියෙනවනේ, මට විතරක් නෙවෙයි ඕනේම නළුවෙක්ට නිළියෙක්ට සහ අධ්‍යක්ෂකවරයෙක්ට තමන්ට අවශ්‍ය දේ ජීවිත කාලය තුළ කරන්න අපහසුවක් තියෙනවනේ. ඒක ලෝකයේ ඕනේම කෙනෙක්ට තියෙනවා. විශේෂයෙන් අපේ වගේ රටක ඒක ඊටත් වැඩිය තියෙනවා. මෙතැනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ උත්සහාය රංගනයට අමතරව මෙහි සියලුම ගෞරවය සහ හැමදේටම මූලික වෙන්නෙ මාව මේ සඳහා තෝරා ගැනීම මෙවැනි පිටපතක් ලැබීම සහ මෙවැනි අධ්‍යක්ෂණයක් මට ලැබීම.

 

ජයන්ත චන්ද්‍රසිරි නම් අධ්‍යක්ෂකවරයා ඔබට මුණගැහෙන්නෙ කොහොමද?

ජයන්ත චන්ද්‍රසිරි මට මුලින්ම හම්බෙන්නෙ 2008දී විතර, මම මුලින්ම ඔහු එක්ක වැඩ කරන්නෙ සතර දෙනෙක් සෙන්පතියෝ ටෙලිනාට්‍යයේ. ඊට පෙර මම රඟපෑ චරිත තුළින් මගේ රංගනය ගැන කතා වෙලා තිබුණත් මම ඒ දේවල් කළේ න්‍යායන් දැනගෙන නෙවෙයි. නමුත් මේ නාට්‍යය තුළ වැඩ කරද්දී මට තේරිච්ච දෙයක් තමයි රංගනයේ න්‍යායන් සහ සීමාවන් මොනවාද කියන එක. ඊට පස්සෙ මට ලැබුණු චරිත වලට ඒ න්‍යායන් උපයෝගී කර ගත්තා. ඇත්තටම ඊට පස්සෙ මට ලොකු ඇරියස් එකක් තිබ්බා ජයන්ත අයියා එක්ක නැවත වැඩක් කරන්න. කොහොම හරි විවිධ හේතු නිසා වැඩ කිහිපයක්ම මඟ හැරිලා අවුරුදු එකොළහ මාරකට පස්සෙ මිදුණු විශ්වයට ආරාධනාව ලැබෙනවා. ඊට කලින් ඔහු කරපු නිර්මාණ බලද්දී අනේ මාව ගත්තේ නැහැනේ, මම හිටිය නම් කියලා හිතිලා තියෙනවා. හැබැයි මට අද හිතෙනවා මේ ප්‍රමාදයත් අද ඔබ දකින ඩන්කන්ගේ සාර්ථකත්වයට එක හේතුවක්.

ජීවිතේ අපිට තියෙන ඇරියස් නරක විදියට ගත්තොත් අපි පට්ට කුහකයෝ කරනවා. නැත්නම් සර්පයෝ කරනවා. එහෙම නැත්නම් ඉරිසියාකාරයෝ කරනවා. ඉතින් මම හිතන්නෙ මට මේ තිබ්බ ඇරියස් එක මාව වර්ධනය කළා. මට සුදුසු දෙයක් තියෙනවා නම් මට ඒ දේ යම් අවස්ථාවක ලැබෙයි කියන සුබවාදී තැන මම හිටියේ. ඒ විශ්වාසය මට තිබුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මට මේ චරිතය ලැබෙන්නේ.

 

ඩන්කන් චරිතය ඔබේ අතට පත් වෙද්දි ඔබ කොහොමද ඒ චරිතය කියවා ගත්තේ?

ඩන්කන් ගැන මට කියවීමක් තිබ්බා. මම මගේ කියවීම ගැන ජයන්ත එක්ක සාකච්ඡා කළා. මට දැනුන දේ තමයි, මේ පිටපත අනුව ප්‍රධාන චරිතය කරන්නෙ වරන්‍ය (උද්දික ප්‍රේමරත්න) ඔහු තමයි මෙහි ආදරවන්තයා. ඔහු තමයි මෙහි රොමෑන්ටික් හීරෝ. ආදරවන්තිය වෙන්නෙ කාලයාත්‍රාව තුළ හම්බ වෙලා ගොඩනැඟෙන්නේ රාජිනි (උදාරි වර්ණකුලසූරිය) එක්ක. නමුත් ඒ කතන්දර මොනවා වුණත් මම තේරුම් ගත්ත දේ තමයි මෙහි අතිශය අවංක ආදරවන්තයා ඩන්කන්. ඒක මම කිව්වාම ජයන්ත අයියා ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියලා. ඒකට හේතුත් මම කිව්වා. ඊට පස්සෙ ඔහු කිවේවෙ, ඔව් ඒක හරි ඔයාට දැනෙන ඒ ඩන්කන්ව නිර්මාණය කරන්න කියලා. ඩන්කන්ට තිබ්බෙ නපුරු පෙනුමක්, රළු කටහඬක්, රළු හැසිරීම් නමුත් සියුම්ව බලද්දී මට අහුවුණු සියුම් කොඳුනාරටිය තමයි ඩන්කන්. ඩන්කන් කියන්නෙ අතිශය තමන්ගේ බිරිඳට ආදරේ කරන, බිරිඳගේ දියුණුව ගැන හිතන, ඒ දියුණුව දිහා බලලා සන්තෝෂ වෙන්න පුළුවන් ස්වාමිපුරුෂයෙක්. හැබැයි ඔහුගේ ගතිපැවතුම්, ඔහු හැසිරෙන විදිය, ආදරේ කරන විදිය වෙනස්. උදේ ඉඳන් මහන්සි වෙලා එන බිරිඳගේ කකුල් දෙක පවා මසාජ් කරනවා. ඒ තමයි ඔහුගේ ආදරය. ඒ ආදරය රාජිනි ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. නමුත් කාලයාත්‍රාව තුළදී රාජිනිට අනාගතය තුළ කෙනෙක් හමුවීම මත වෙනස් වෙනවා. එතැන දී මම රාජිනිගේ යම් චපලත්වයක් දකිනවා. එතැනදී පවා කාලයාත්‍රාව හෝ හීනයකින් පවා වෙන කෙනෙක්ට පෙම් නොකළ එකම කෙනා ඩන්කන්.

 

සිනාමාවේ නියැළෙන අය සිනමාත්මකව චරිත කියවා ගන්න විදියට නෙවෙයි බොහෝදුරට සිනමා රසිකත්වය චරිත අල්ලා ගන්නෙ. නමුත් මිදුණු විශ්වය නරඹපු ප්‍රේක්ෂකයන් ඩන්කන් වටායි ඒක රාශි වෙන්නෙ. ඩන්කන්ට ජීවය දුන් බුද්ධිකට ඇති ඒ ගැන අදහසක්?

ඇත්තටම කියනවා නම් ඒ දේ අතිශය පුදුමයි. මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ පසුගිය 22 වෙනිදා ඉඳන්. ඒ කියන්නෙ මේ වෙද්දි තිරගත වෙලා දවස් කිහිපයක් වෙනවා. හැබැයි මේ වෙද්දි මිදුණු විශ්වය බලපු අය තුළින් සමාජ මාධ්‍යය තුළ මේ ගැන ලියවෙන ඉඩ වැඩියි. ඒ ලියන අය ඩන්කන් ගැන විශේෂයෙන්ම ලියනවා. ඒක මට අතිශය සන්තෝෂයට කාරණාවක්. ඒ සතුට මගේ වයසත් එක්ක. මෙතැනදී කියන්න ඕනේ මම කවදාවත් ඉලක්කමෙන් වයසට යන කෙනෙක් නෙවෙයි. අත්දැකීම් වලින් වයසට යන කෙනෙක්. ඒ නිසා ඒ සතුට මම ගන්නෙ වගකීමක් හැටියට. මම දකින්නෙ ඩන්කන් ගැන කතා කිරීම, අගය කිරීම සහ ගුණාත්මක විවේචනය තුළ මගෙ ඇඟ කිලිපොලා යන්නෙ ඩන්කන් තුළින් බුද්ධික ජයරත්න ඉස්සීම නෙවෙයි. මගේ ඇඟ සීතල වෙන්නෙ මේ මට ලැබෙන මහා වගකීම ගැන.

විශේෂයෙන්ම මේ දේවල් ඩන්කන්ට ලැබෙන්නේ රොමෑන්ටික් හීරෝ නොවී. රොමෑන්ටික් හීරෝට චරිතය ලස්සනට කරලා තියෙනවා නම් ලස්සනට දුෂ්ටයාට ගහනවා නම් ලස්සන ආදරණීය දෙබස් තියෙනවා නම් ඒක ලැබෙනවා. එතකොට මේ කිසිම දෙයක් ඩන්කන්ට නැහැ. ඩන්කන් ආදරේදී අයි ලව් යූ කියන එකට කියන්නෙ මම තෝව මරනවා කියලා. ඒක ප්‍රේක්ෂකයාට තේරිලා තියෙන එක හරි පුදුමයි. සිනමාව ගැන දන්න කෙනෙක්ගේ විෂ්ලේෂණය මොනවා වුණත්, බහුතරය සිනමාවේදින් නොවන නිසා ඒ ඒ අය අල්ලා ගන්න තැන් වෙනස්. හැබැයි මේ චිත්‍රපටය බලපු බහුතරය ඒක ඒ විදියට අල්ලගෙන තියෙනවා.

ඇත්තටම මම තෝව මරනවා කියන්නෙ නඩුවක් දාන්න පුළුවන්. ඒක ප්‍රකාශ කරපු කෙනා මරණීය තර්ජනයක් කළා හැටියට ලක් වෙන්න පුළුවන් දෙබසක්. එවැනි දෙබසක් අතිශය සුන්දර දෙබසක් හැටියට පරිවර්තනය වෙලා තියෙනවා. Fb එකේ මට කමෙන්ට්ස් දාන අයට මම දාන්නෙත් මම තෝව මරනවා කියලා. මම දැක්ක වසන්ත දුක්ගන්නාරාල දීර්ඝ සටහනක් චිත්‍රපටය ගැන fb එකේ දාලා තිබුණා. ඒක පටන් අරන් තිබ්බෙම ජයන්ත චන්ද්‍රසිරි මම තෝව මරනවා කියලා. ඒ සටහන අවසන් කරලා තිබ්බෙ ජයන්ත චන්ද්‍රසිරි මම තෝව ඉඹිනවා කියලා. මේ සියල්ල අතිශය සුන්දරයි. මෙහි සම්පූර්ණ ගෞරවය අධ්‍යක්ෂකවරයාට යන්න ඕනේ.

Comments