සය මසක් තුළදී වෙඩි තැබීම් 42කින් මරණ 23ක් | Page 2 | සිළුමිණ

සය මසක් තුළදී වෙඩි තැබීම් 42කින් මරණ 23ක්

පොලිස් වාර්තා අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා රට පුරා වෙඩි තැබීම් සිදුවීම් 42කින් සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව 23ක් බවද. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 21ක් බවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සිළුමිණට පැවැසීය.

සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල සාමාජිකයන් අතර ගැටුම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුම් සහ පෞද්ගලික ආරවුල් ඊට හේතුවී ඇති බව පෙන්වා දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගිය වසර තුළදී මැයි 30 වැනිදා සිට වෙඩි තැබීම් සිදුවීම් 59ක් සිදුව ඇති බවත් ඉන් පුද්ගලයන් 39 දෙනෙකු ඝාතනය වී ඇති බවත් කීවේය.

ඒ අනුව පසුගිය දින කිහිපයේදී ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ වෙඩි තැබීම් සිද්ධි ඇතුළු ඉකුත් සමය තුළ සිදු වී වෙඩි තැබීම්වලට අදාළ සියලු සැකකරුවන් සොයා ප්‍රදේශය බාර පොලිස් ස්ථාන ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් ද දිවාරෑ මෙහෙයුම් සිදු කරන බවත් පැවැසීය. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ තමන් සන්තකයේ ඇති නීතිවිරෝධී ගිනි අවි බාර දීම සඳහා ජූලි 31 වැනිදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරන බවටයි.

Comments