කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය තවදුරටත් නවීකරණය වෙයි | Page 3 | සිළුමිණ

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය තවදුරටත් නවීකරණය වෙයි

ආරම්භයේ සිටම කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපනයේ සහ පර්යේෂණවල විශාල ප්‍රගතියක් ලබා ඇති බවත් විශ්වවිද්‍යාලයේ විශිෂ්ඨ ගුණාංග තවදුරටත් පෝෂණය කරමින් සිටින බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. 
 
ආරක්‍ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි අලුතින් ඉදිකරන ලද යටිතල පහසුකම් විවෘත කිරීමේ උත්සවයට ඊයේ (23) එක් වෙමිනි. 
 
විශ්වවිද්‍යාලයේ ප්‍රමිතීන් ඉහළ නංවමින් දේශීය හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා උපකුලපතිවරයා ඇතුළු අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවය විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ද වන ජෙනරල් ගුණරත්න මහතා ඇගයීමට ලක් කළේය.
 
ප්‍රධාන ආරාධිතයා ලෙස කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට පැමිණි ජෙනරල් ගුණරත්න මහතාව විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සහ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් (විශ්‍රාමික) විසින් පිළිගනු ලැබීය.
 
වේරහැර ‘සෝමාදේවි’ කාන්තා නේවාසිකාගාර සංකීර්ණය සහ නීති පීඨය, කළමනාකරණ, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය ඇතුළු රත්මලාන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි ගොඩනැගිලි කිහිපයක් සහ මූලස්ථාන සංකීර්ණය අලුතින් එක් කළ පහසුකම් අතර විය.
 
ආරක්‍ෂක අංශයට සහ රාජ්‍ය සේවයට ඉමහත් දායකත්වයක් ලබාදුන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි විශිෂ්ඨ ආදි විද්‍යාරථින්ගේ සේවය ඇගයීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම්වරයා විසින් ‘Hall of Fame’ හි සමාරම්භය ද මෙහිදී එක් කරන ලද සුවිශේෂී අංගයක් විය.
 
ගොඩබිම්, සමුද්‍රීය සහ ගුවන් ආරක්‍ෂක යන අත්‍යවශ්‍ය අංග ඇතුළත් Post Independence Defence Policy ග්‍රන්ථය එළිදැක්වීම සහ සම්මන්ත්‍රණයද මෙහිදී පැවැත්විණි.
 
වැඩසටහන අතරතුර පවත්වන ලද ඉදිරිපත් කිරීමේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද කැපී පෙනෙන පරිවර්තනයන් ප්‍රේක්‍ෂකයින්ගේ අවධානයට ලක් කරන ලදි.
 
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය හා හමුදා නිලධාරීන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සම්භාවනීය ආරාධිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

Comments