
යුද හමුදාවට පවරාගත් බස් රථයක් අද (22) අළුයම ස්කූටරයක ගැටී තුන් හැවිරිදි දැරියගේ හිස මතින් ධාවනය වීමෙන් දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ රයිගම කැලේ කඩේ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසදි දෙනෙත්මා සපුගේ නැමැති තුන් හැවිරිදි දැරියයි
බණ්ඩාරගම සමුපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරිය වන මියගිය දැරියගේ මව දැරිය ස්කූටරේ නංවාගෙන කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී එම සමුපාකාර කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි
කළුතර සිට යුද හමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලයේ රැගෙන යමින් සිටි බස් රථය බන්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය වීමේ දී බණ්ඩාරගම සමුපාකාර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී මාර්ගයේ දකුණු පසින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වී මාර්ගය මැදදී ස්කූටරේ ගැටි මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
අනතුරක් සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන විත් තිබූ අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
දැරියගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය
දැරියගේ මව අධික කම්පන තත්ත්වයට පත්ව බණ්ඩාරගම දිසා රෝහලේ ගිලන් රථයක් මගින් පානදුර මූලික රෝහල වෙත යොමුකිරීමට පියවර ගත්හ
අනතුර සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් බස් රථ රියදුරුට පහර දී ඇත
දැරිය පැලඳගෙන සිටි ආරක්ෂක හිස්වැස්ම කැබලි බවට පත්ව අනතුර සිදු වූ ස්ථානයේ වැටී තිබූ බව පොලිසිය කියයි
දැරියගේ මව සෑම දිනකම කල්වේලා ඇතිව කාර්යාලය වෙත පැමිණ ඒ ආසන්නයේ තිබෙන දිවා සුරකුම් මධ්‍යස්ථානය වෙත දැරිය යොමු කිරීම සිදු කර තිබූ බව පොලිසිය කියයි
අනතුරත් සමග ම එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් මෙම බස් රථය සෑම දිනකම ඉතා අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ ධාවනය වන බවට පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත
අනතුරෙන් බස් රථයේ පා පුවරුව අසලට හානි සිදුවී තිබූ අතර ස්කූටරය ට සැලකිය යුතු අලාභයක් සිදුවී නැතැයි පොලිසිය කියයි
බස් රථ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහත්වරුන් ගේ උපදෙස් මත බණ්ඩාරගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වි චන්දරත්න පොලිස් සැරයන් 37199 සම්පත් කොස්තාපල් 30282 නිරෝෂන් මහත්තුරු පරීක්ෂණ පවත්වයි