වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ වෙඩි තැබීමක් - එක් අයෙක් මරුට | Page 2 | සිළුමිණ

වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ වෙඩි තැබීමක් - එක් අයෙක් මරුට

කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිටදී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී  අද (21)  උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි
 
මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ  නාමල් උයන අංක 126 නිවසේ පදිංචි  පැලමණ්ඩල නායකගේ මිහිරාන් ප්‍රභාත්  පත්මසිරි නමැති   33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
 
මියගිය පුද්ගලයා  කොළඹ ලංකා රෝහලේ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන අතර ඔහු අද  උදෑසන 8 ට පමණ කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පිහිටි රුධිර පරීක්ෂණ ආයතනයෙන් දෛනික සේවය ආරම්භ කිරීම සදහා  පැමිණ  යතුරුපැදිය මාර්ගයේ නවතා ආයතනය තුළට ගොස් එහි පුටුවක් මත රැඳී සිට තිබේ.
 
එම අවස්ථාවේදී කොට්ටාව දෙස සිට පුද්ගලයින් දෙදෙනෙකු සම්පූර්ණ මුහුණු ආවරණය කරගත් හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණ ආයතනය තුළට ගොස් එහි රැඳී සිටි පුද්ගලයාගේ හිසට සහ ගෙලට  වෙඩි තබා මත්තෙගොඩ දෙසට පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
 
වෙඩි තැබීමෙන් තුවාල කරුගේ හිසට  බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුරදී මෙසේ  මිය ගොස් තිබේ.
 
සිද්ධියට සම්බන්ධ  කිසිවෙකු හඳුනාගෙන නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 
සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිතව තිබුණි
 
සිද්ධිය  සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයමහ මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී බන්දුල ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ  කොට්ටාව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද  මහතාගේ  උපදෙස් මත  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති  උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාගේ මෙහෙයවීමෙන්  පරීක්ෂණ පවත්වති.

Comments