කෘෂි බෝග නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 36ක් | Page 2 | සිළුමිණ

කෘෂි බෝග නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 36ක්

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ආරම්භ කර ඇති වගා ව්‍යාපෘති මගින් නිපදවන බෝග විශාල ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි.
 
ඒ අතර ගර්කින්, ඇඹුල් කෙසෙල් , අඹ, අන්නාසි, ගස්ලබු, මුරුංගා පත්‍ර, ජම්බෝ පීනට්ස්, ද වේ.
 
2022 වසරේ මෙම ව්‍යාපෘති මගින් උපයා ඇති විදේශ විනිමය පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉල්ලා සිටි අතර එම වාර්තාවට අනුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් පසුගිය වසරේ දී බෝග අපනයනය මගින් ඩොලර් මිලියන 36ක මුදලක් උපයා තිබේ.
 
මෙම අපනයන බෝග අතරින් වඩාත්ම ජනප්‍රිය ව පවතින්නේ රාජාංගනයේ හා යාපනයේ ඇඹුල් කෙසෙල් සහ වාකරේ වගා කරනු ලබන Green Cucumber හෙවත් කොළ පිපිඤ්ඤා යි.
 
කොළ පිපිඤ්ඤා  වගාවේ සම්පුර්ණ අස්වැන්න ජපානයට අපනයනය කෙරෙන අතර ජපානයේ බර්ගර් සඳහා වැඩිපුරම භාවිතා කරනුයේ වාකරේ වගා කරනු ලබන කොළ පිපිඤ්ඤා බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.
 
ඇඹුල් කෙසෙල් සඳහා ඩුබායි හැර තවත් රටවල් ගණනාවකින් විශාල ඉල්ලුමක් පැවතුනත් අපනයනය සඳහා සුදුසු වන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ඇඹුල් කෙසෙල් වගා කෙරෙනුයේ රාජංගනය හා යාපනය ඇඹුල් කෙසෙල් වගා කළාප වලින් පමණි. එමනිසා තවමත් අනෙකුත් රටවල්වල අවශ්‍යතාවය සඳහා අප රටේ නිෂ්පාදනය ප්‍රමාණවත් නොවේ.
 
එමනිසා රුපියල් මිලියන 150ක වියදමින් මෙම වසර තුළ ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශවල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් අක්කර 400ක වගා කළාප දෙකක්  හා කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
 
මෙම  කෙසෙල් වගා කළාපවල  නිෂ්පාදන සියල්ල අපනයනය ඉළක්ක කර නිසි ප්‍රමිතියට අනුව වගා කිරීමට සැලසුම් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් දුන්නේය. ඒ සඳහා අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික පහසුකම් හා තාක්ෂණික පුහුණුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ගොවි ජනතාවට සපයයි.  

Comments