ශ්‍රී ලංකා ක්‍රිකට් නැත්තටම නැති කරන මඩ ඒජන්සියේ කෙරුවාව | Page 3 | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් නැත්තටම නැති කරන මඩ ඒජන්සියේ කෙරුවාව

තැටිය රත් වෙද්දී රොටිය පුච්චා ගන්නෝ අපමණ වෙති. දේශපාලනයේ, කලාවේ හෝ ක්‍රීඩාවේ පමණක් නොව එය සෑම සියලු ක්ෂේත්‍රයකටම පොදු වූ කාරණාවකි. සකල ලෝක ධර්මතාව කෙසේ වුව ද, අප අවසන් හුස්ම හෙළන මොහොතක නොදැන සිටිය ද, කන්දක් උසට ධනය පොදි ගසන භෞතික ජීවිතයකට ලොල් වූවෝ කාගේ හෝ රත්වන තැටියක රොටිය පුච්චා ගැනීමට අති‍ෛදක්ෂයෝ වෙති. එවැනි කට්ට කෛරාටික පුද්ගලයකු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ද සිටී. හෙතෙම වසර කිහිපයක සිට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වළපල්ලට තල්ලු කරමින් සිය මඩිය තර කරගැනීමට යටිකූට්ටු වැඩවලට නම් දැරූ අයෙකි.

නිතර නිතර මෙට්ලන්ඩ් පෙදෙසේ රස්තියාදු වෙමින් ඇතෙක් බරට මුදල් උපයා ගැනීමට මේ කියන කෛරාටිකයා සමත් වී ඇත්තේ නිලතල දරන පුද්ගලයන්ගේ කෝට්බෑයට මුවා වෙමිනි. තවත් අතකින් කියන්නේ නම් එවැනිම ආකාරයේ ගතිපැවතුම් ඇති ක්‍රිකට් ලොක්කන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරමිනි. අවසන් ඉලක්කය මුදල් කඩා වඩා ගැනීමය. ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතයම කැප කළ මෙරට බොහෝ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද, නිලධාරීන්ගේ ද කීර්තිනාමය කුඩුපට්ටම් කිරීමේ කොන්ත්‍රාත්කාරයෙකි. එපමණක් නොව බලලෝභී නිලධාරීන්ගේ අකටයුතුකම් හෙළිදරව් කරමින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පෑන හසුරුවන මාධ්‍යවේදීන්ට එරෙහිව ව්‍යාජ නඩු පැවැරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නෙකි. එතැනින් නොනැවතී ක්‍රීඩාව වෙනුවෙන් හඬ නඟන හිටපු ක්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ ප්‍රතිරූපයට මඩ ගැසීමේ මාධ්‍ය ව්‍යාපාරයක නිරතව සිටින්නෙකි. ඒවා සියල්ල සිදු කරනු ලබන්නේ ඉහත කී බලලෝභී නිලධාරීන්ගේ හිතු මනාපයටය. ඔවුන්ට තව දුරටත් සිය අභිමතය පරිදි සටකපටකම් කරමින් යහතින් වැජඹීමට අවශ්‍ය මාර්ගය සකස් කර දීමේ අරමුණ ඇතිවය. ඒ සඳහා මේ කියන පුද්ගලයාට යහමින් මුදල් ලැබේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට මෙන්ම ක්‍රිකට් ප්‍රතිරූපයට ද අසූචි තවරන මෙවැනි පුද්ගලයන් ගැන හෙළිදරව් කිරීම වැළැක්වීමට ඔවුන්ට එරෙහිව මඩ ව්‍යාපාරයේ නිරතවන මේ කළුකෝට්කාරයා ඇතැමුන්ට නම් ගැලවුම්කාරයෙකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ හිටපු බොහෝ ක්‍රීඩකයන්ට නම් ඔහු පජාතයෙකි. ක්‍රීඩාලෝලීන්ට නම් ඔහු අදිසි මිනිසෙකි. එහෙත් කවුරු කෙසේ කීවද මේ පුද්ගලයා ගැන දැන් දැන් සැබෑ තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ඔහුගේ පැටිකිරිය බිඳෙන් බිඳ හෙළි වෙමින් තිබේ. මුදලට මෙන්ම කාන්තාවන්ටත් ගිජු බව කියන මේ කළු කෝට්කාරයා අනියම් ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කරන විනාශය අතිවිශාලය. මෙවැනි කොඩිවින ක්‍රීඩාවට පමණක් නොව පොදුවේ රටටම පිළිලයකි. 

ඇතැමුන් කියන්නේ ක්‍රිකට් ලොක්කාගේ ප්‍රධාන උපදේශකයා ඔහු බවය. මීට වසර අටකට පමණ පෙර එවකට හිටපු එක්තරා මාධ්‍ය කළමනාකාරිනියකගේ මාර්ගයෙන් මෙට්ලන්ඩ් පෙදෙසට හොර පූසකු මෙන් රිංගා ගත් මේ පුද්ගලයා අතපය දිගහැරිමට පටන් ගත්තේ ඊටත් වසර කිහිපයකට පසුව බවට තොරතුරු වාර්තා වේ. අර්බුද නිර්මාණය කිරීමට ඔහු තරම් අතිශූරයකු මෙට්ලන්ඩ් පෙදෙසේ තවත් නැති බව තවත් සමහරු කියති. එහි සියලු මෙහෙයුම් සිදු වන්නේ මේ කියන කළු කෝට්කාරයාගේ සෙවණැල්ල යටය. හෙතෙම යටිඋගුල් අදින්නට උපන් හපනෙකි. ඔහු විසින් පසුගිය කාලය පුරා සිදු කළ විවිධ විනාශකාරී කුමන්ත්‍රණ නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇති බලපෑම් අතිවිශාලය. ඒවා සිදු වන්නේ ක්‍රිකට් ලොක්කන්ගේ අනුදැනුම පිටය. ඔවුන්ගේ ආශීර්වාදය මැදිනි. තනතුරුවල රැඳී සිටීමට සහ ක්‍රීඩාවේ අමරණීය ‘පොරවල්‘ වීමට මේ කියන පුද්ගලයා ක්‍රිකට් ලොක්කන්ට භෞතික ඉල්ලමකි. එබැවින් අවශ්‍ය තරමට මුදල් වීසි කිරීමට ද පසුබට නොවෙති. කේශාන්තයේ සිට පාදාන්තය දක්වා කට්ට කෛරාටික දැනුම විහිදී ගිය ඔහුට මුල සිටම මෙට්ලන්ඩ් පෙදෙස කප්රුකක් මෙන් පෙනෙන්නට ඇතුවාට සැකයක් නැත. වැඩි කාලයක් නොගොසින් ඔහු ක්‍රිකට් ලොක්කන්ගේ සර්වබලධාරී දෙවියා බවට පත් වී ඇත්තේ ද එබැවින් විය යුතුය. සිතූ සිතූ සම්පත් ලැබෙන කප්රුකක් බඳු තැනකට වැටුණාට පසු එතැනින් ඉවත් වන්නෝ කවුරුන්ද? එවැනි පරපෝෂිතයන් මෙට්ලන්ඩ් පෙදෙසේ කොතෙකුත් සිටින බව ප්‍රසිද්ධ රහසකි.

කොළඹ තරු පහේ හෝටලයක කාර්යාලයක් විවෘත කරමින් සිය වෘත්තියට අදාළ කටයුතු සිදු කරන බව ලෝකයට පෙන්නුම් කළ ද, සැබැවින්ම ඔහුට මෙට්ලන්ඩ් පෙදෙසේ රාජකාරි හැරුණු විට අන් කිසිවකුට වෙලාවක් නැත. ඊටම සරිලන කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කරමින් මෙට්ලන්ඩ් පෙදෙසින් ලැබෙන මුදල් මිටිවලින් හිතේ හැටියට සුරසැප විඳින බව කියන මේ පුද්ගලයාට මුදල් අතමිට ගැවසෙන බොහෝ පුද්ගලයන් මෙන් කාන්තා ඇසුරට ලොල් වූ අයකු ද වන බව තතු දත්තෝ පවසති. හෙතෙම දරුපවුල් කාරයෙකි. එහෙත් අනියම් ඇසුරට ඇත්තේ පුදුමාකාර ආසාවක් බව තවත් සමහරු කියති. මෙට්ලන්ඩ් පෙදෙසට ඔහු පැමිණෙන්නේ ද එවැනිම ඇසුරක ප්‍රතිඵලයක් ලෙස බවට ද කියැවේ. ඔහුගේ ඇසුරට වැටුණු කාන්තාව කලක් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ අතිවිශිෂ්ටයකුගේ ජීවිතයේ පංගුකාරිය වූවාය. ක්‍රීඩා ක්ෂේත්‍ර ගණනාවකින්ම දස්කම් දැක්වූ එම අතිවිශිෂ්ටයා ක්‍රීඩකයකු, පුහුණුකරුවකු මෙන්ම දක්ෂ පරිපාලකයකු බව ලියුම්කරු පවා පෞද්ගලිකව දනී. ඊටත් වඩා මානව දයාව කැටිකළ සංවේදී සිතකට හිමිකම් කී අයෙකි. නිහතමානීත්වය අතින් ද එලෙසය. ඔහුගේ ජීවිතයේ වැඩිම කාලයක් ගෙවී ගියේ ක්‍රීඩාවත් සමඟය. ක්‍රීඩා ක්ෂේත්‍ර රැසක හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නොමඳ ගෞරවයට හා ආදරයට පාත්‍ර වී සිටි මේ කියන විශිෂ්ටයා අකාලයේ ජීවිතයෙන් සමුගෙන ගියේ මීට වසර කිහිපයකට පෙරය. ඔහුගේ ජීවිතයේ අන්තිම කාලය ගෙවී ගියේ ඉතා ඛේදජනක අයුරින් බව ඔහුගේ සමීපතමයෝ පවසති. ඊට බලපෑ හේතු අතර බිරියගේ අනියම් ඇසුරද තිබිය හැකිය. කළු කෝට්කාරයාගේ ඇසුරට වැටීමෙන් පසු එකී කාන්තාවට ඔහුගෙන් තොර ලෝකයක් නොතිබෙන්නට ද ඇත.

එබැවින් ක්‍රීඩාවේ අතිවිශිෂ්ටයා මේ පෙම් ඇසුරට බාධාවක් ලෙස සලකන්නට ද ඇත. එබැවින් සිය ජීවිතයේ මුල් භාගයේදී ආලෝකවත් කළ මේ අපූරු මිනිසාට අවසන් කාලයේදී බිරියගෙන් අඩු සැලකිලි ලැබෙන්නට ද ඇතැයි කිසිවකු පැවසීම අන්තිම සාධාරණය. අතිවිශිෂ්ටයාගේ ජීවන ගමන අවසන් වූ දිනයේ ඔහුගේ සෙවන යට පුහුණුව ලැබූ අපමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරමට බිරිය දුක් වුවාදැයි කෙනෙකුට සිතෙන්නේ නම් එය විමතියට කරුණක් ද නොවනු ඇත. අදටත් මේ අනියම් ඇසුර යහමින් පවතින බවට ද තොරතුරු වාර්තා වේ. කෙනකුගේ පෞද්ගලිකත්වය විවේචනය කිරීම හෝ හෙළිදරව් කිරීම තරම් නොවන බව ලියුම්කරුට අමුතුවෙන් කිව යුතු නැති වුව ද, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට පාර කැපීමට මේ නොහොබිනා ඇසුර ද බලපෑ බැවින් ඒවා ලිවීමේ වරදක් ද නැත. ගමේ අත්ත මුත්තලා කියන ආකාරයට ‘කරන්න හොඳයි - කියන්න නරකයි‘ කියමන ඊට යස නිදසුනකි.

මෙරට ක්‍රීඩාලෝලීන් නොදන්නා මේ අදිසි මිනිසා කලක් විනය කමිටුවේ ද කටයුතු කළේය. විවිධ චෝදනා සම්බන්ධව විනය කමිටුව හමුවට කැඳවන ක්‍රීඩකයන්ගේ සහ වෙනත් පුද්ගලයන්ගේ පවුල් පසුබිම හාරා අවුස්සා ඊට උපදෙස් දීමට ද ඉදිරිපත් වන්නේ එවැනි අනියම් ඇසුරක් පවත්වමින් සිටින මේ කියන පුද්ගලයා වීම පිළිකුල්සහගත කාරණාවකි. ඔහුගේ ක්‍රියාකලාපය ඉසව් ගණනාවක පරාසයකට විහිදී ගිය එකකි. හැම අතින්ම ක්‍රිකට් ලොක්කන්ට උපදෙස් දෙන අතරතුරම විවිධ වෙබ් අඩවි නිර්මාණය කරමින් ක්‍රීඩාවේ උන්නතියට හඬ නඟන හිටපු ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට මඩ ගසන ‘මඩ වෙබ්සයිට්‘ රැසක් ඔහු යටතේ පවතින බවට ද තොරතුරු වාර්තා වේ. එමගින් සිදු කෙරෙන්නේ ක්‍රිකට් ලොක්කන්ගේ රෙදි ගැලවෙන ආකාරයේ තොරතුරු අනාවරණය කරන හිටපු ක්‍රීඩකයන්ගේ සහ නිලධාරින්ගේ ප්‍රතිරූපයට මඩ ගැසීමය. එහි අරමුණ වන්නේ එවැනි හෙළිදරව් සිදු කරන අයගේ කීර්තිනාමය විනාශ කරමින් ඔවුන්ගේ ප්‍රකාශ හා හෙළිදරව් පිළිබඳ ක්‍රීඩාලෝලීන් හා වගකිව යුත්තන් අතර විශ්වාසය පළුදු කිරීමය. මේ වන විට දෙස් විදෙස් ගෞරවයට හා කීර්තියට පත් මෙරට බොහෝ හිටපු ක්‍රීඩකයන්ට මෙන්ම හිටපු නිලධාරීන්ට ද එවැනි මඩ ප්‍රහාර එල්ල කර ඇති අතර, ඒවා තවත් වෙබ් අඩවිවලට ව්‍යාප්ත කරමින් ජයටම සිය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටී. රට පුරා විවිධ සමාජමාධ්‍ය ජාලා අතර වෙනම ගිණුම් පවත්වා ගනිමින් සිය මඩ මෙහෙයුම් සිදු කරමින් සිටී. ඒවාට ද මුදල් ලැබෙන්නේ මෙට්ලන්ඩ් පෙදෙසින් බව අමුතුවෙන් කිව යුතු නැත්තේ එම මඩ ඒජන්සි ක්‍රියාත්මක වන්නේ බලලෝබී ක්‍රිකට් ලොක්කන්ගේ පැවැත්ම උදෙසා වීම නිසාය. මුදලට ක්‍රීඩාව පමණක් නොව ආත්මයම පාවා දෙන මෙවැනි පුද්ගලයන් ඇසුරු කරන මෙරට ජන සමාජයේ සහ ඉහළ ප්‍රභූ පංතියේ පුද්ගලයන්ට ඔහු වීරයකු හා කීර්තිමත් පුද්ගලයකු වුවද ක්‍රිකට් ක්‍රීඩාවට නම් ඔහු තනිකරම පුස්සෙකි. මුදලින්, භාවිත කරන අතිසුඛෝපභෝගී මෝටර් රථවලින් හා ඇසුරු කරන පුද්ගලයන්ගෙන් කෙනකුගේ තරාතිරම හෝ පැටිකිරිය හඳුනා ගැනීමට උත්සාහ කිරීම අන්තිම මෝඩ වැඩකි.

කළුකෝට්කාරයා ණයට වැඩ කරන්නේ නැති බවත්, ඔහු කරන සෑම යටිකූට්ටු වැඩකටම ඉහළම ගාස්තු අය කරන බවත් තතු දත්තෝ වැඩිදුරටත් පවසති. විවිධ අධිකරණ ක්‍රියාදාම සඳහා මෙරට ඉහළම තලයේ නීතිවේදින් සම්බන්ධිකරණය කිරීම ද ඔහුගේ තවත් රාජකාරියකි. ඒවාට වෙනම මුදල් ලැබෙන බවත් වාර්තා වේ. ඇතැමුන් කියන්නේ ක්‍රිකට් ලොක්කන් ඔහුගේ නිර්දේශ හා උපදෙස් වලට පිටින් වැඩ නොකරන බවය. අදාළ ක්ෂේත්‍රය තුළ පමණක් නොව ක්‍රීඩාවට සම්බන්ධ සියලු කාරණාවලදී ඔහු ඊට මැදිහත් වෙමින් ඉදිරියෙන්ම සිටී.

මෙරට ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු ලියුම්කරු සමඟ කියා සිටියේ මේ කියන පුද්ගලයා නැත්තේ ක්‍රිකට් පිටියේ පමණක් බවය. ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ අන් සියලු එකී නොකී කාරණා කටයුතුවලට ඔහු නිරතුරුවම මැදිහත්වෙමින් අවශ්‍ය උපදෙස් සහ නිර්දේශ සපයමින් එතැනින් ද යම්කිසි මුදලක් කඩා ගන්නා බවට වාර්තා වී තිබේ. 

අර්බුද මැවීම සිය ජීවිතයේ මුඛ්‍ය පරමාර්ථය කර ගත් බව කියන මේ අදිසි මිනිසා ක්‍රිකට් ක්‍රීඩාවට කරන විනාශය සුළුපටු නොවූව ද, ඒවා අනාවරණය කිරීමට හෝ ඊට එරෙහිව පියවර ගැනීමට හෝ ඉදිරිපත් නොවන්නේ ඊට නීතිමය පසුබිමක් සකස් කරගැනීමට ඇති දුෂ්කරතාව මතය. එහෙත් ඊයේ පෙරේදා වන විට ලියුම්කරුට වාර්තා වූයේ ඔහුගේ කියුම් කෙරුම් සාක්ෂි සහිතව එක්රැස් කරමින් සිටින බවත්, අවශ්‍ය කටයුතු දැන් සම්පාදනය වෙමින් තිබෙන බවත්ය. ඒ අතරතුර අනාවරණය වූ බව කියන තවත් කාරණාවක් වන්නේ ඔහු එක්තරා ජාතියක දෙපැත්ත කන පුද්ගලයකු බවය. ඔහු ‘දෙපත් නයකු‘ බව ඊයේ පෙරේදා තොරතුරු අනාවරණය වූ බව හිටපු නිලධාරියකු ලියුම්කරු සමඟ කීවේ තව තොරතුරු රැසක්ම තහවුරු වෙමින් තිබෙන බව කියමිනි. සැබැවින්ම මෙවැනි පුද්ගලයන්ට ‘දෙපත් නයි‘ කියනවාට ලියුම්කරු පෞද්ගලිකව කැමැති නැත. වටඋල්ලා නමින් හඳුන්වනු ලබන මේ සර්පයාගේ විශේෂත්වය වන්නේ උගේ හිසත්, වල්ගා කොටසත් එක හා සමාන මුහුණුවරකින් යුතු නිසාය. අනික ඌට වලිග කොන හිස මෙන් ඔසවා පෙන්විය හැකිය. ඒවා ස්වභාවයෙන්ම නිර්මාණය වී ඇත්තේ ගොදුරු සොයා ගැනීමට පමණක් නොව සතුරන්ගෙන් බේරී සිටීමට බව බැලූ බැල්මටම පෙනේ. එබැවින් එකිනෙකට විරුද්ධ පාර්ශ්ව දෙකකටම බොරු හිතවත්කම් පෙන්වා තම මඩිය තර කරගන්නා පුද්ගලයන් දෙපත් නයි ලෙස ලේබල්ගත කිරීම දෙපත් සර්පයන්ට කරන අන්තිම අසාධාරණයකි. එවැනි අයට වෙනත් නමක් පටබැඳිය යුතුය.

මඩ ඒජන්සි මඟින් ජයටම ප්‍රතිවාදීන්ට මඩ ගැසීම සිදු වෙද්දී ඔහු ප්‍රතිවාදී පාර්ශ්ව සමඟත් ගනුදෙනු කරන බව ඇතැම් තොරතුරු මඟින් හෙළි වෙමින් පවතී. ලෝක දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇතැම් රටවල් සිදු කරන ආකාරයට එකිනෙකාගේ තොරතුරු දෙපාර්ශ්වයටම හෙළි කිරීම එක අතකට ලැබෙන මුදල් කන්දරාව දෙගුණයක් වීම කෙසේ වුවද, ප්‍රතිවාදී පාර්ශ්වයේ හොඳ හිත රැක ගැනීමෙන් කිසියම් මොහොතක පැත්ත මාරු වීමේදී ගොඩ යෑමට ඇති එකම විසඳුම බව ඔහු සිතන්නට ඇතැයි ද උපකල්පනය කළ හැකිය. ඉදිරිය ගැන සිතා කටයුතු කරන එවැනි දුරදක්නා නුවණක් මේ අදිසි මිනිසා සතු බව ඇතැමුන්ගේ අදහසය. එහෙත් කනගාටුවට කාරණාව වන්නේ ඔය කියන දුරදක්නා නුවණ ක්‍රීඩාවේ නාමයෙන් දූෂිත නිලධාරීන්ට එරෙහිව භාවිත කිරීම වෙනුවට මඩිය තර කරගැනීමට තක්කඩි වැඩ කිරීමය. ක්‍රීඩාවේ අනාගතය හෙළි පෙහෙළි කරගැනීමට අහස උසට බලාපොරොත්තු පොදි බැඳ බලා සිටින දහස් සංඛ්‍යාත යොවුන් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ගැසීමට රටක් නැති කිරීමය.

Comments