විශිෂ්ටයන්ගේ පාරාදීසයක් කොළඹ ආනන්ද විදුහල | Page 2 | සිළුමිණ

විශිෂ්ටයන්ගේ පාරාදීසයක් කොළඹ ආනන්ද විදුහල

  • A9 සාමර්ථ්‍යය 144ක්
  • A8 හා B1 සාමර්ථ්‍යය 64ක්
  • A8 හා C1සාමර්ථ්‍යය 23ක්
  • STEM අධ්‍යාපන සංකල්පයේ ආරම්භය කොළඹ ආනන්දයෙන්
  • ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ රැසක්

මීට 137 වසරකට පෙර එනම්, 1886 කොළඹ මැලිබන් විදියේ අංක 61 දරන ස්ථානයේ ප්‍රථම ඉංග්‍රීසි බෞද්ධ පාසල ලෙසින් ආරම්භ වූ කොළඹ ආනන්ද විදුහල අදටත් සිය ගමන් මඟේ විශිෂ්ට ජයක් වාර්තා කරන්නට සමත් වී ඇත. එදා සිසුන් 37 දෙනකුගෙන් ඇරඹි මේ ඉංග්‍රීසි බෞද්ධ පාසලේ ප්‍රථම විදුහල්පති වූයේ ලෙඩ් බීට්ර් ය. 1889 වසරේ මේ බෞද්ධ පාසල දානපති ටියුඩර් රාජපක්ෂයන්ගේ මරදානේ පිහිටි අක්කර තුනහමාරක බිම්කඩක් වෙත රැගෙන ආ අතර, අදටත් වසර ගණනාවක් පුරාවට ඉදි වූ සුවිසල් පාඨශාලාව වත්මනේ 6,700 කට අධික සිසු පිරිසක් දැනුමින් සපිරි පිරිසක් බවට පත්කරවන තෝතැන්නක් බවට පත් වී ඇත. වියතුන් උගතුන් රැසක් රටට බිහි කළ මේ පාසල කොළඹ ආනන්දය නමින් නම් තැබෙන්නේ 1895 අගෝස්තු මස 17 වැනිදාය.

වසර 137ක් පුරාවට අතු පතර විහිදී ගිය ආනන්දය මේ වන විට දැවැන්ත වෘක්ෂයකි. මේ වෘක්ෂයේ සෙවණ යට අකුරු කරවූවෝ බොහෝය. වර්තමානය වන විට අක්කර 15කට අධික බිමි භාගයක විසිර පවතින ආනන්දයේ හත් දහසකට ආසන්න සිසු පිරිසකට සිය දැනුම් පහස නිවීමට 308 ක අධ්‍යයන කාර්ය මණ්ඩලයක් දිවා රූ වෙහෙසෙන්නේ එම දරුවන් ගුණ දහමින් සුපෝෂිත කර අපේක්ෂිත අධ්‍යයන කාර්යසාධනය කරා ළඟා කරවන්නටය. නවීන ලෝකයේ අවශ්‍යතාවන්ට ඔබින පරිදි යහගුණ පිරි ආනන්දියන් අද දසදෙස විසිර ඇත්තෝය. 

නව අධ්‍යාපන සංකල්ප මෙන්ම STEM අධ්‍යාපන සංකල්පයේ ආරම්භය වන්නේද කොළඹ ආනන්දයයි. ආනන්දය පෙ.ව 7.30 සිට පස්වරු 1.30 දක්වා රාමුවක් තුළ ක්‍රියාත්මක වන පාසලක් නොවේ. දිනයේ ඇරඹුමත් සමඟ ක්‍රියාත්මක වන මේ පාසල රාත්‍රිය වනතුරත් අඛණ්ඩව ක්‍රියාත්මක වන්නකි. තාක්ෂණයේ වේගවත් දියුණුව හමුවේ කොවිඩ් අභියෝගයන්ට අභියෝග කරමින් සිසුන්ගේ පාසල් අධ්‍යාපනය බිඳ වැටීමට ඉඩ නොදී මාර්ගගත අධ්‍යාපනය හරහා සක්‍රිය පාසල් පද්ධතියක් පවත්වා ගනිමින් සිසු ඉලක්ක සාධනය කරගත් පාසලකි. කොවිඩ් වසංගතයෙන් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම පළමු කාර්යය සේ සලකමින් නිවෙස්වලට කොටු වූ තම පාසල් දරුවන් මාර්ගගත අධ්‍යාපනය හරහා පාසල් කාලවේලාවන්වලදී විෂය ආවරණය කළා පමණක් නොව වාර විභාග, ඇගැයීම් පරීක්ෂණද මාර්ගගත ක්‍රමවේදය හරහා ලබා දෙමින් දරුවන්ව විභාගයට සූදානම් කරන්නට කැප විය. මාර්ගගත අධ්‍යාපනය පාසල් පද්ධතියට ආගන්තුක වුවද දරුවන්ගේ විෂය ඉගෙනුම් කොටස් සම්පූර්ණ කරමින් විභාග පවත්වා සිසු අඩුපාඩු හඳුනා ගනිමින් ඊට පිළියම් යොදන්නට ගුරුවරු ගත් වෙහෙස අපමණය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2021/2022 සාමාන්‍ය පෙළ විභාගයෙන් පමණක් නොව 2020 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන්ද ඉහළම සාමාර්ථ වාර්තා කරන්නට ආනන්දීය සිසු දරුවන්ට හැකියාව ලැබුණි. 

වත්මන් විදුහල්පති ලාල් දිසානායකගේ මඟ පෙන්වීම මෙන්ම හිටපු විදුහල්පතිවරුන් දැමූ පදනම හේතුවෙන් කිසිදු දරුවකු අත් නොහැර මේ ගමන යන්නට හැකිවීම නිසා කොවිඩ් සමයෙන් පසු ආරම්භ වූ ජාතික විභාගයන්වලදී ඉහළ සමත් ප්‍රතිශතයක් වාර්තා කළේය. ඒ අනුව 2019 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 266 ක් ඉදිරිපත් කර කඩඉම් ලකුණින් එහා 56 දෙනකු සමත් කරන්නට ආනන්දයට හැකි විය. 2020 වසරේ පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද සිසුන් 266 දෙනාගෙන් ආපේක්ෂිත කඩඉම් ලකුණින් එහා 56 දෙනකු සමත් වී තිබුණි. එසේම 2020 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 522 ක් සාමාන්‍ය පෙළට ඉදිරිපත් කරමින් එයින් 509 දෙනකු එනම්, 97.51% සමත් විය. දැඩි කොවිඩ් අභියෝග රැසක් හමුවේ 2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් ඉදිරිපත් කරවීමට ගුරුවරු විශාල කැපවීමක් ගත්හ. කොළඹ ආනන්ද විදුහලින් 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 554 දෙනෙක් ඉදිරිපත් වූ අතර එයින් සිසුන් 542 ක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුස්සෝ වූහ. A 9 සාමාර්ථ 144 ක්ද, A 8 හා B 1 සාමාර්ථ 64 ක් හා A 8 හා C 1සාමාර්ථ 23 ක් ගත් අතර සමත් ප්‍රතිශතය 97.83% කි. ඉහළ සාධන මට්ටම් වාර්තා කරමින් කොවිඩ් අභියෝග මධ්‍යයේ වුවද සාමාන්‍ය පෙළ විෂය සාමාර්ථද ඉහළ අගයක් ගැනීමට සමත් වූහ. ඒ අනුව විද්‍යාව හා ගණිතය ඉංග්‍රීසි මාධ්‍ය සඳහා සාමර්ථ්‍යය 100% ක් පෙන්නුම් කළ අතර පුරවැසි, භූගෝලය, ව්‍යාපාර අධ්‍යයනය, භාෂා විෂයන් වන චීන, ප්‍රංශ, දෙමළ මෙන්ම සිංහල සාහිත්‍ය, සංගීත නැටුම් මෙන්ම සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ කෘෂිර්මය ඇතුළු තවත් විෂය ගණනාවක සාමර්ථ්‍යය 100% ක්ම විය. මීට අමතරව සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂයයන් ඇතුළු අනිකුත් විෂයන්වල සාමර්ථ­්‍යයන්ද 95% ඉක්ම වීය.

කොළඹ ආනන්ද විදුහලේ වත්මන් නියමුවා වන්නේ විදුහල්පති ලාල් දිසානායකය. විදුහල්පතිවරයා ප්‍රමුඛ පාසල් කළමනාකරණ මණ්ඩලය සේම සියලු ගුරු භවතුන් වෙහෙසෙන්නේ දරුවන්ට නිසි අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි. කොවිඩ් අභියෝග පැවති කාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ එස්. එම්. කීර්තිරත්න විසින් දැමූ අඩිතාලම ද මේ ගමනට ශක්තියක් විය. පසුගාමි දරුවන් හඳුනා ගැනීම, ගුරු සංවර්ධනය වේගවත් කිරීම යම් යම් විෂයයන්ට පැවැති ගුරු හිඟය මැඬලීම සඳහා පාසල් සංවර්ධන සමිතිය ඒ සඳහා දායකත්වය දැක්වීම සිදු වූ අතර, පාසලේ ආදි සිසුන් මෙන්ම ගුරුවරු ද ඒ සඳහා විශාල දායකත්වයක් දැක්විය. පාසලේ අඩුපාඩු හඳුනා ගනිමින් ඔවුන් විසින් සිදු කළ සේවය නිසා ආනන්ද විදුහලට ජාත්‍යන්තර ක්‍රීඩා ශූරතාවයන් කරා ළඟා වීමට හැකි විය. කොවිඩ් අභියෝග මධ්‍යයේ වුවද චෙස් ලෝක ශූරතාව දිනා ගත්තේය. 21 වැනි සියවසේ කුසලතා පූර්ණ දරුවකු බිහි කිරීම අරමුණු කර ගනිමින් ‘දූපතින් එහා ලෝකයක් දකින විශ්වීය දරුවකු බිහි කිරීම අරමුණු කර ගනිමින් ආනන්ද විදුහල විදේශීය පාසල් සමඟ අන්තර් හුවමාරු වැඩසටහන් ඇති කළේ මිත්‍රත්වය, ජාත්‍යන්තර දැනුම ආනන්දයේ දරුවන්ට ළඟාකර ගැනීමට මෙන්ම නවෝත්පාදන හැකියාවලින් පෝෂණය කිරීම අරමුණු කර ගනිමිනි. මේ වන විට නියමු ව්‍යාපෘතියක් වශයෙන් මේ වැඩසටහන ඉදිරියේදී සමස්ත පාසල් දරුවන්ම ආවරණය කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට ඔවුහු සැරසෙති.

විදුහල්පති ලාල් දිසානායකගේ මඟ පෙන්වීම යටතේ 6-11 සහකාර විදුහල්පති සිරිල් ගොඩවෙලගේ , 10-11 අංශ ප්‍රධාන ඒ.ඒ. කේ ජනකාන්ත, 11 ශ්‍රේණි ප්‍රධාන එස්. ඒ සුරවීර ඇතුළු සාමාන්‍ය පෙළ ආචාර්යවරුන්ගේ දැඩි කැපවීම මධ්‍යයේ කොවිඩ් අවධියේ මාර්ගගත අධ්‍යාපනය සාර්ථකව දරුවන්ට සමීප කරවීමටත්, දරුවන්ගේ අඩුපාඩු හා අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා දරුවන්ට සමීප කරමින් නිසි ඉලක්කයක් කරා ඔවුන් මෙහෙය වීමටත් හැකි විය.

පාසල් පරිසරය දරුවන්ට හිතකර පරිසරයක් බවට පත්කිරීම වෙනුවෙන් හරිත පාසල් සංකල්පය එනම් පොලිතින් භාවිතයෙන් තොර කිරීම ආනන්දයේ තවත් ව්‍යාපෘතියක් විය. ISO 9000 ව්‍යාපෘතිය හරහා ජාතික ඵලදායිතාවයෙන් යුතු පාසලක් බවට පත්කිරීමේ නියමු ව්‍යාපෘතියට ප්‍රවේශයක් සැපයීය.

වත්මන් විදුහල්පතිවරයාගේ ආරම්භය පාසලට අලුත් යුගයක් ආරම්භ කළ අතර මේ අවධියේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ විය. රුපියල් මිලියන 20 ක වියදමින් කුලරත්න ශාලාව අලුත්වැඩියා කිරීම, සත්මහල උඩ හෙන්රි මුවර් ශාලාව ආරම්භ කිරීම, ජිම්නාස්ටික් ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීම මෙන්ම පස්මහල් ගොඩනැඟිල්ල STEM අධ්‍යාපන සංකල්පයන්ට ගැළපෙන අයුරින් සකස් කිරීමේ සිදු විය.

ස්මාර්ට් හෙවත් සුහුරු පංති කාමර සිසුන් අතට පත්කිරීම හරහා නව තාක්ෂණයට ගැළපෙන අයුරින් අධ්‍යාපනය හසුරවන්නට ආනන්ද විදුහලට හැකිවිය. සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසුන් වෙනුවෙන් විභාගයට ආසන්න කාලයේ දේශන, සම්මන්ත්‍රණ සුහුරු පංති කාමර තුළ පැවැත්වීමෙන් අත්‍යවශ්‍ය කොටස් පහසුවෙන් සිසු මනසට අවබෝධ කර දෙන්නට හැකි විය. තාක්ෂණික විද්‍යාගාර හරහා සිසුන්ට ප්‍රායෝගික දැනුම ලබා දෙන්නට ආචාර්ය මණ්ඩලය වෙහෙසුණු අතර පසුගියදා ජෛව පද්ධති විද්‍යාවට අදාළ විද්‍යාගාරයක් මෙන්ම ඉංජිනේරු තාක්ෂණ විද්‍යාගාරයක් සිසු අයිතියට පත් කෙරුණේ මේ කාර්යයේ තවත් එක් පියවරක් වශයෙනි.

වර්තමාන ආනන්දය ක්‍රීඩාවන් 42 ක් දක්වා දියුණු කළ පාසලකි. විභාග පාදක අධ්‍යාපනය පමණක් නොව නීරෝගි කුසලතා පූර්ණ වැඩදායි දරුවකු සමාජයට තිළිණ කිරීමේ යුග මෙහෙවරේදී රටට දායාද කළ ක්‍රීඩකයෝ අපමණය. පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ සාමර්ථ්‍යය ලැබුවන් අතර ක්‍රීඩාවෙන් ඉදිරියට ගියෝ බොහෝය. පැසිපන්දු ක්‍රීඩාව ආරම්භ කළ ප්‍රථම පාසල වන්නේද ආනන්දයයි. ක්‍රීඩා සභාවේ ලේකම් රසිකා රත්නායක මෙන්ම ක්‍රීඩා පරිපාලක ආර්. ඒ. ඒ රණසිංහ ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් කොවිඩ්වලින් පසුව අත්කරගත් ජයග්‍රහණ බොහෝය. බැඩ්මින්ටන්, පසුපන්දු ටෙනිස් ශූරතා මෙන්ම වූෂු කරාතේ, චෙස්, හොකී, වොලිබෝල් ශූරතාවයන්ද ඉහළින්ම දිනා ගන්නට ආනන්දියන්ට හැකි විය. ඔරු පැදීමේ සමස්ත ශූරතාව, මේස පන්දු , රග්බි, බොක්සිං මෙන්ම ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායම් ද පසුගිය කාලයේ ශූරතා හිමිකර ගත්හ. ආනන්දීය දරුවන් මලල ක්‍රීඩා අංශයෙන්ද ලැබූ ජයග්‍රහණ බොහෝය.

විභාග පාදක විෂයමාලාව හරහා සිසුන්ගේ නැණස පාදන අතරේම සමබර පෞරුෂයකින් හෙබි දරුවකු සමාජයට තිළිණ කිරිම වස් ක්‍රීඩා පමණක් නොව විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් සක්‍රියව ක්‍රියාත්මක වන සංගම් 60 ක් පමණ ඇත. ඒවා මඟින් විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ආතතිය අවම කිරීම වෙනුවෙන් විශාල සේවයක් සලසන අතර නායකත්වය, කැපවීම මෙන්ම සාමූහිකත්වය වැනි ගුණාංග ද වැඩි දියුණු කෙරේ. සෑම සිසුවකුම අවම වශයෙන් ක්‍රීඩා දෙකක් හා සංගම් දෙකකට ඇතුළත් විය යුතුය.

ආනන්ද විදුහල ආරම්භයේ සිට මේ දක්වා ආ ගාමක බලවේගය වන්නේ වත්මන් විදුහල්පති ඇතුළු පසුගිය විදුහල්පතිවරු සේම කළමනාකරණ මණ්ඩලය ඇතුළු ගුරු භවතුන්ය. අනික් පසින් ඊට සිසුන්, ආදි සිසුන්, සංවර්ධන මණ්ඩලය සහ මවුපියන් ද දැක්වූ සහයෝගය සුවිශාලය. ආනන්දයේ යෝධ ශක්තීන් හමුවේ කොවිඩ් වැනි අභියෝගවලින් පසුව දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්නට විදුහල්පති ලාල් දිසානායක, පාසල් සංවර්ධන සමිතියේ කාරක සභික ඕනෑගම උපාලි හිමි, සහකාර විදුහල්පති රම්මල ධම්මාරකිත්ත හිමි, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන ජී. ඒ. ආර්. එල්. පෙරේරා, ඩී. එල්. එස්. කේ මධුරංග, සහකාර විදුහල්පතිවරුන් වන ජී. සිරිල්, එච්. ඩබ්ලිව්.එන්. ප්‍රියන්ත, පාසල් භාණ්ඩාගාරික ඊ. ජී. එස්. දාබරේ, 6-9 අංශ ප්‍රධාන ආර්. ඒ. එම්. ඩී. රත්නායක, ක්‍රීඩා පරිපාලක ආර්.ඒ.ඒ රණසිංහ, පාසල් සංවර්ධන සමිති නියෝජිතයින් වන කේ. එම්. සී. එම්. එම්. පී. මහදිවුල්වැව, ජී. ඩි. ඩබ්ලිව්. ඉන්දික මෙන්ම ගුරු සේවා ජී. එච්. එස්. ආර්. සිල්වා ඇතුළු කළමනාකරණ මණ්ඩලය සේම ගුරු භවතුන් සිදු කරන්නේ අමිල මෙහෙවරකි.

සේයාරූ - නිශ්ශංක විජේරත්න

 

 

Comments