භාවනා අභ්‍යාස ගොඩනඟන හැටි | Page 2 | සිළුමිණ

භාවනා අභ්‍යාස ගොඩනඟන හැටි

භිප්‍රායකින් තොරව මුමුණන වචනවලින් වැඩක් නැත. විපස්සනා භාවනාව සියුම් මානසික ක්‍රියාකාරකමකි. එහි සාර්ථකත්වය උදෙසා භාවනාවේ යෙදෙන්නන්ගේ මනෝභාවය තීරණාත්මක සාධකයක් ලෙස ක්‍රියා කරයි. සන්සුන් වූ කාරුණික විශ්වාසය සහිත පසුබිමක මෙය උපරිමයෙන් ක්‍රියා කරනු ඇත.

සූත්‍ර උච්චාරණයෙන් පසුව සෑම භාවනාවක්ම ආරම්භ කිරීම, ථේරවාද බුදුදහම පවතින රටවල සම්ප්‍රදායකි. හානියක් නැති වත්පිළිවෙතක් පමණක් ලෙස සලකා ඔබ මෙය ඉවත දැමීමට පිළිවන. එහෙත් ප්‍රායෝගික වටිනාකමකින් යුත් මෙවැනි වත්පිළිවෙත්, ප්‍රායෝගික මනසක් හා මහත් කැපවීමක් ඇති පුද්ගලයන් විසින් සකස් කර ඇත. එබැවින් ඒවා ගැඹුරු විමර්ශනයකට ලක් කිරීම සුදුසුය.

බුදුරජාණන් වහන්සේගේ කාලයේදී උන්වහන්සේ එදා පැවති සමාජයට පටහැණි පුද්ගලයකු ලෙස සලකනු ලැබීය. ආගමික පුදපූජා හා වත්පිළිවෙත් ගහණ වූ සමාජයක ඉපදුණු බුදුරදුන්ගේ අදහස්, එවකට පැවති ආගමික උත්තරීතර මණ්ඩලයට සහ ඔවුන්ගේ මතයන්ට පහර ගැසීමක් බඳු විය. බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ ශ්‍රාවකයන්ගේම යහපත උදෙසා මෙකී වත්පිළිවෙත් දැඩිව ප්‍රතික්ෂේප කළහ. එවැනි දේවලින් ප්‍රයෝජනයක් නැති බව මින් අදහස් නොකෙරේ. මා අදහස් කරන්නේ කරන්නන් වාලේ වතාවත් ඉටු කිරීම මඟින් පමණක්ම ඔබට මේ උගුලෙන් බේරීමට නොහැකි බවයි. එබැවින් මෙහි සඳහන් වන සූත්‍ර පුහුණු විය යුත්තේ ඒවා මොනවාද? සහ ඒවා ප්‍රතිඵලදායී වන්නේ ඇයි යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතුවය.

යාඥාවක් හෝ මන්තර නොවන ඒවා අරුම පුදුම විජ්ජාවක් ද නොවේ. ප්‍රතිඵලදායී වීමට ඔබගේ සිතේ ක්‍රියාශීලී සහභාගීත්වය අවශ්‍ය කරන මේවා සිත පවිත්‍ර කරන උපකරණ වේ. අභිප්‍රායකින් තොරව මුමුණන වචනවලින් වැඩක් නැත. විපස්සනා භාවනාව සියුම් මානසික ක්‍රියාකාරකමකි. එහි සාර්ථකත්වය උදෙසා භාවනාවේ යෙදෙන්නන්ගේ මනෝභාවය තීරණාත්මක සාධකයක් ලෙස ක්‍රියා කරයි. සන්සුන් වූ කාරුණික විශ්වාසය සහිත පසුබිමක මෙය උපරිමයෙන් ක්‍රියා කරනු ඇත. මෙවැනි ආකල්ප වඩන ආකාරයෙන් මෙම සූත්‍ර නිමවා ඇත. නිවැරැදි ලෙස භාවිත කිරීමෙන් විමුක්ති මාර්ගයේ ප්‍රයෝජනවත් උපකරණ ලෙස මෙම සූත්‍ර ක්‍රියා කරනු ඇත.

තුන්වැදෑරුම් මඟ පෙන්වීම

භාවනාවේ යෙදීම දුෂ්කර කාර්යයකි. එය සහජයෙන්ම හුදෙකලා ක්‍රියාකාරකමකි. මෙහිදී භාවනාවේ යෙදෙන සිතෙහිම කොටසක් වන මහත් බලගතු මානසික ශක්තීන්ට එරෙහිව ඔබ තනිවම සටන් වැද සිටියි. එය පටන්ගත් විට ඔබව මහත් කම්පනයට පත්කරන එළිදරව්වලට ඔබ මුහුණදී සිටින බව ඔබටම වැටහෙනු ඇත. යම් දිනෙක ඇතුළත බලන විට ඔබට එරෙහිව තිබෙන සංස්කාරකයන්ගේ විශාලත්වය හෝ බරපතළකම ඔබ තේරුම් ගනු ඇත. ඔබ සිදුරු කිරීමට උත්සාහ දරන්නේ තදින් බඳින ලද, හිරු එළිය එහා මෙහා ගමන් නොකරන ශක්තිමත් බිත්තියක් සේ පෙනෙන දෙයකි. වාඩි වී එම සුවිසල් ගොඩනැඟිල්ල දෙස බලා සිටින ඔබ මෙසේ කියනු ඇත. "ඒක, මා එය හරහා යා යුතුයි? එය කළ නොහැකි දෙයක්. එය මගේ මුළු ලෝකයයි. එය 'මා' යනුවෙන් අදහස් කරන සියල්ල මෙන්ම මා අවට ඇති සියල්ල තේරුම් ගැනීමට උපකාරී වන දේයි. එය ඉවත් කළ සැණින් මගේ ලෝකය බිඳ වැටී මා මිය යනු ඇත. මට එය පසුකළ නොහැකියි."

එය ඉතා බියකරු වූ හා හුදෙකලා වූ හැඟීමකි. "මා මෙහි තනිවී සිටියි. මට සිතා ගැනීමට වත් නොහැකි තරම් දැවැන්ත දෙයක් මා බිම දමන්නේ කෙසේද?" යන්න ඔබ සිතනු ඇත. මෙම සිතිවිල්ල ජය ගැනීමට නම් මෙහිදී ඔබ තනිවී නැති බව දැනගැනීම ප්‍රයෝජනවත් වනු නිසැකය. බොහෝ දෙනෙක් මෙම මාර්ගය පසුකර ගොස් තිබේ. ඔවුන්ට ද මෙම බාධකය මුණගැසුණු නමුත් ආලෝකය දෙසට ඔවුහු ඉදිරියටම ගියහ. එම කාර්යය කළ හැකි වන හිත සකස් කර ගත් ඔවුහු අන්‍යෝන්‍ය සහයෝගය හා ධෛර්යය සඳහා සහෝදරත්වයේ බන්ධනයක් ද තනා ගත්හ. බුදුරජාණන් වහන්සේ මෙම බිත්තිය හරහා ගමන් ගත් අතර, පසුව තව බොහෝ දෙනා එම මඟ ගියහ. අපට එම මඟ යෑමට මඟ පෙන්වීමක් ලෙස උන්වහන්සේ පැහැදිලි උපදෙස්, 'ධර්මය' යන නමින් ඉතිරි කළහ.

මෙම කාර්යයට අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහා පහත දැක්වෙන වගන්ති නැවත නැවතත් ඔබටම පවසා ගන්න. එය ඔබ අවංකවම සිතන බව විශ්වාස කරන්න. ඔබ පවසන දෙය ම අදහස් කරන්න. "බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ හා ධාර්මිකවූත් අනුගාමිකයන් ගමන් කළ මාර්ගයේ යෑමට මා සූදානම්ය. අලස පුද්ගලයන් හට එම මඟ ගමන් කළ නොහැකිය. මගේ ශක්තිය පවතීවා! මා සාර්ථක වේවා!"

විශ්ව මෛත්‍රිය

විපස්සනාව සිහිය පිළිබඳ අභ්‍යාසයකි. එනම්, මමත්වය රහිත අවදිමත් (awareness) බවයි. විනිවිද දකින සිහිය විසින් මමත්වය මුලින් උදුරා දමන ක්‍රියාවකි. මෙම ක්‍රියාවලිය පටන් ගන්නා විට භාවනා පුහුණුවන්නා ශාරීරිකව හා මානසිකව මමත්වයට මුළුමනින්ම හසුවී සිටියි. එළැඹි සිහිය මඟින් මමත්වයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන විට, එය මමත්වයට හේතු වන මූල පද්ධතිය දක්වා ගමන්කර කැබැල්ලෙන් කැබැල්ල ඒවා ඉවත දමයි. කෙසේ වෙතත් මෙහි මර උගුලක් තිබේ. එළැඹි සිහිය යනු මමත්වය රහිත අවදිමත් බවයි. ආරම්භයේදීම මමත්වය අණසක පතුරුවා සිටියි නම්, කාර්යය පටන් ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට අප සිහිය යොද වන්නේ කෙසේද? ඕනෑම මොහොතක පවතින තරමක සිහියක් අපට තිබේ. සැබෑ ගැටලුව වන්නේ එය ප්‍රතිඵලදායී වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයක් එක්රැස් කර ගැනීමයි. එසේ කිරීමට අපට දක්ෂ උපක්‍රමයක් පාවිච්චි කළ හැකිය. එනම්, එළැඹි සිහියට තිබෙන විරෝධය අවම කර ගැනීම සඳහා මමත්වයේ සමහර අංශ දුර්වල කිරීමයි. මමත්වය මූලිකවම ප්‍රකාශ වන්නේ තණ්හාව හා වෛරය ලෙසටයි. අල්ලා ගැනීම හා ප්‍රතික්ෂේප කිරීම බලවත් වන ප්‍රමාණයට සාපේක්ෂව දුෂ්කර කාර්යයක් සිහියට ද ඇත. මෙහි ප්‍රතිඵලය පහසුවෙන් දැකිය හැකිය. බලවත් බැඳීමකට හසුවී සිටින ඔබ භාවනාවට වාඩි වී සිටියද සාර්ථකව එහි නිරත වීමට නොහැකි බව පෙනෙනු ඇත. ඔබ ඔබගේ නවතම මුදල් ඉපයීමේ ව්‍යාපෘතියේ එල්බගෙන සිටියි නම්, බොහෝ විට භාවනා කාලයෙන් වැඩිපුර ගෙවෙන්නේ ඒ පිළිබඳ කල්පනා කිරීමටය.

මෑතකදී සිදුවූ කිසියම් නින්දාවක් හේතුවෙන් ඔබ කෝපයෙන් සිටින විට එය මුළු මනසම කෝපයෙන් පුරවා ලනු ඇත. දවසකට තිබෙන කාලය සීමිත බැවින් ඔබගේ භාවනා කාලය ඉතා අගනේය. එය නාස්ති නොකිරීම නුවණට හුරුය. එබැවින් මෙම බාධක තාවකාලිකව හෝ ඉවත්කළ හැකි මෙවලම් ථේරවාද බුදු දහම විසින් දියුණු කර ඇත. ඒ මඟින් ඒවායේ මුල් සදහටම ඉවත්කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

එක අදහසක් ශුන්‍ය කිරීම සඳහා ඔබට තවත් අදහසක් භාවිත කිරීමට පුළුවන. ධනාත්මක චිත්තවේගයක් ඇති කිරීම මඟින් ඍණ චිත්තවේගයක් අවලංගු කළ හැකිය. තණ්හාවේ විරුද්ධ ක්‍රියාව ත්‍යාගශීලී වීමයි. වෛරයේ විරුද්ධ පස කරුණාවයි. මෙය ස්වයං මෝහනය මඟින් ඔබට විමුක්තිය ලබා ගැනීම නොවන බව පැහැදිලිව වටහා ගන්න. එසේ වන්නේ මූලික වශයෙන් මමත්වය මඟින් නොවැළැක්වූ ඔහුගේ සහජ ස්වභාවය ප්‍රකාශ වීමක් හේතුවෙනි. ආරෝපිත නොවූ එය මානසික ඖෂධයකි. උපදෙස් අනුව පාවිච්චි කළ විට, වර්තමානයේ පෙළෙන රෝග ලක්ෂණවලින් ඔබ තාවකාලිකව සුවයක් ලබනු ඇත. ඉන්පසු ඔබට අවංකවම රෝගය සුව කිරීමේ කටයුතුවල යෙදිය හැකි වෙයි.

නිවැරැදිව පුහුණු කළ විට මෙය ම බලවත් හා වෙනසක් ඇති කළ හැකි අභ්‍යාසයක් වනු ඇත. සෑම භාවනා කාලයක් පටන් ගැනීමේදී පහත දී ඇති වගන්ති ඔබටම පවසා ගන්න. එහි අදහස සැබැවින්ම දැනගන්න.

මම සුවපත් වෙම්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙම්වා! මට දුක් පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මාගේ මවුපියෝ සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජයගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මගේ ගුරුවරු නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජයගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මගේ නෑදෑයෝ නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක්පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජයගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා! 

මගේ හිත මිතුරෝ සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජයගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මා නොහඳුනන සියලු දෙනා සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජයගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා! මගේ සතුරෝ සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජයගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

සියලු සත්වයෝ නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජයගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මෙම උච්චාරණය අවසන් වූ පසු ඔබගේ සියලුම ප්‍රශ්න හා ගැටුම් භාවනා කාලය පුරාම පසෙකට කර තබන්න. මුළු පොදියම බිමට අතහරින්න. භාවනා කරන අතරතුරේදී ඒවා පැමිණියහොත් පවතින සැටියෙන්ම ඒවා බාධක ලෙස සලකන්න.

(මීළඟ කලාපයෙන් සතුරන් මිතුරන් කර ගන්නා හැටි සොයා බලමු)

Comments