දේශීය බෙහෙත් වට්ටෝරුවකින් පිළිකාව නසන ඔසුවක් හදා ලොව හෙල්ලූ විද්වතා සිළුමිණට කියන කතාව | Page 2 | සිළුමිණ

දේශීය බෙහෙත් වට්ටෝරුවකින් පිළිකාව නසන ඔසුවක් හදා ලොව හෙල්ලූ විද්වතා සිළුමිණට කියන කතාව

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ජෛව රසා­යන, අනුක රසා­යන සහ ජෛව තාක්ෂණ ආය­ත­නයේ මහා­චාර්ය සමීර ආර්. සම­ර­කෝන්

- වසර ගණනාවක් පුරාවට පාරම්පරික වෛද්‍යවරුන් විසින් පිළිකා හොඳ වෙනවා යැයි කියූ වට්ටෝරු සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාවට අනුව විද්‍යාත්මකව ඔප්පු කිරීමක්
- ශාක වට්ටෝරු 15ක් ඇසුරෙන් පර්යේෂණ කළා
- මිනිස් සිරුරේ ගුදය, පෙණහලු, පියයුරු ඇතුළු ඕනෑම ස්ථානයක වැඩෙන අසාමාන්‍ය පිළිකා සෛල විනාශ කිරීමේ විස්මිත හැකියාවක්
- වසර 14ක් දිගු පර්යේෂණ ගමනක ප්‍රතිඵලයක්

සාමාන්‍ය ලෙස සෛල වර්ධනය වීම හා ජාන විකෘති වීම මිනිස් සිරුර තුළ පිළිකා රෝගය ඇති වීමට බලපාන ප්‍රධාන කරුණකි. 2009 වසරේ සිට දේශීය වෙදකම, ස්වභාවික ද්‍රව්‍ය මෙන්ම දේශීය බෙහෙත් වට්ටෝරු යොදා ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අනුක ජිව විද්‍යා හා ජෛව තාක්ෂණ ආයතනය විසින් සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස පසුගියදා පිළිකාවට එරෙහි ලොව හොල්ලන හෙළ ඔසුවෙන් සැදුම් ලත් පෝෂක ඖෂධයක් සොයා ගනු ලැබිණි. වසර 14ක් පුරා සිදු කළ විද්‍යාත්මක පර්යේෂණවලින් පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අනුක රසායන සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පෝෂක ඖෂධය සොයාගෙන ඇති අතර, එය වර්ධනය වන පිළිකා සෛල පාලනය කිරීමට සමත් බව ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින් ද තහවුරු කර ඇත. ' Vernolac' නමින් වූ මෙම ඖෂධය මේ වන විට වෙළෙඳපොළට ද නිකුත් කර ඇති අතර සහන මිල ගණන් යටතේ අවශ්‍ය රෝගීන්ට ලබාගත හැකිය. 

2009 වසරේ සිට වසර 14ක් පුරා විවිධ ආකාරයේ පර්යේෂණවල නියැළෙමින් මේ සාර්ථකත්වය අත්කර ගැනීම දක්වා පැමිණි දුෂ්කර ගමන සිළුමිණ හමුවේ පැවසුවේ එහි නියමුවා වන මහාචාර්ය සමීර ආර්. සමරකෝන්ය.

තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහලින් මූලික අධ්‍යාපනය ලැබ පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජෛව තාක්ෂණ විද්‍යාව හදාරා අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අනුක ජිව විද්‍යා හා ජෛව තාක්ෂණ ආයතනයට සම්බන්ධ වූ සමීර සමරකෝන් වර්තමානයේ ජෛව රසායන, අනුක රසායන සහ ජෛව තාක්ෂණ ආයතනයේ සෛල හා අනුක ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස සේවය කරන්නේය.

ඔහු පිළිකා පර්යේෂණ ආරම්භ කරන්නේ මීට වසර 14 කට පෙර එනම්, 2009 වසරේ සිටය. ඒ වන විට පිළිකා ගැන රටේ කතිකාවතක් තිබුණ ද ලංකාවේ මහ පරිමාණයෙන් පිළිකා පර්යේෂණ සිදු නොවූ අවධියකි. 2007 වසරේ Msc උපාධිය හැදෑරීමට පැමිණි සිසුවකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සමීර 2009 වසරේදී මේ පර්යේෂණය ආරම්භ කළේ තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගැනීම සඳහාය. මේ වන විට සමීරගේ පර්යේෂණ කටයුතු අධ්‍යයනය කළේ ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියන් වූ අයිරා තාබෘෘ හා කමනි තෙන්නකෝන් දෙපොළය. ඔවුන් සමීරගේ ගුරුවරියන් වූවා පමණක් නොව එවැනි භාරදූර පර්යේෂණයක් ආරම්භ කරන්නට ගුරුහරුකම් සහ මඟපෙන්වීම් කළෝ ද වූහ.

පිළිකා පර්යේෂණ ආරම්භයේදී සමීරට විශාල බලාපොරොත්තු ගොන්නක් නොතිබිණි. ආරම්භයේදි ඔහුට ඇවැසි වූයේ මේ හරහා සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ගැනීමේ අරමුණ පමණි. එහෙත් ඒ ගමනේදී ඔහුට අවබෝධ වූයේ මෙවන් පර්යේෂණ හරහා භාරදූර කර්තව්‍යයක් රටට කළ හැකි බවයි. 2010 වසර වන විට සමීර සිය පර්යේෂණ පුළුල් කරන්නට පමණක් නොව තමන්ගේම වූ පර්යේෂණ ගමනකට ද මුල පුරන්නට විය. විවිධ අංශ හරහා පර්යේෂණ සිදු කළ ද ඒ සියල්ලටම වඩා ඔහු ප්‍රමුඛත්වය ලබා දුන්නේ සිය පිළිකා පර්යේෂණවලටය. ඒ වන විට ඔහු විද්‍යාඥයකු ලෙස හා කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු පමණක් නොව අනතුරුව මහාචාර්යවරයකු ලෙස පියවරෙන් පියවර පත්වීම් ලබමින් මේ පර්යේෂණ ක්‍රියාවලිය වේගයෙන් ඉදිරියට ගෙන යන්නට විය.

ඔහුගේ පිළිකා පර්යේෂණ වසරින් වසර පුළුල් වන්නට වූයේ ජාත්‍යන්තරයේ නව දැනුමත් සමඟ යාවත්කාලීන වෙමිනි. කුඩාවට ආරම්භ කළ පිළිකා පර්යේෂණය ඉදිරියට යත්ම විවිධ වර්ගයේ පිළිකා සෛල දක්වා පර්යේෂණ පැතිකඩ පුළුල් වන්නට විය. මේ වන විට මහාචාර්ය සමීර මේ සම්බන්ධව තාක්ෂණික පුහුණුව ලබන්නට විවිධ විදෙස් රටවල සංචාරය කරන්නට විය. ඒ සඳහා ඔහුට මඟ පෙන්වූයේ ඔහුගේ ගුරුවරියන් වූ ඉහත කී මහාචාර්ය දෙපළය. රටවල් 20කට අධික ප්‍රමාණයකට සංචාරය කළ සමීර තමන්ගේ විෂය පථය වූ සෛල සම්බන්ධ පුළුල් අධ්‍යයනයක නිරත විය. ඔහු පිළිකා පියවි සෛල පිළිබඳ පර්යේෂණ පුළුල් කළේ පස් වරක් පමණ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමෙන් ලද අත්දැකීම් පාදක කර ගනිමිනි. 2013 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ පිට්ස් බර්ග් විශ්වවිද්‍යාලයේ ( University of Pittsburgh) මහාචාර්ය ජරාල් ෂැටන්ගේ සහාය ද පියවි පිළිකා සෛල පිළිබඳ පර්යේෂණයේදී මහාචාර්ය සමීරට අත්වැලක් වන්නට විය. මේ පර්යේෂණ ඉදිරියට දියත් කිරීමට රටේ පැවැති තාක්ෂණික දැනුම ප්‍රමාණවත් නොවීම ඔවුන් මුහුණ දුන් විශාල ගැටලුවක් විය. කෙසේ වෙතත් විදෙස් සංචාර හරහා විවිධ රටවලින් තාක්ෂණික දැනුම ගොනුකර ගන්නට මේ පර්යේෂක කණ්ඩායම සමත් විය. මේ වන විට මහාචාර්ය සමීරගේ පර්යේෂණ කණ්ඩායමට අලුත් සාමාජිකයන් එක්වෙමින් පුළුල් වන්නට විය. මහාචාර්ය අයිරා තාබෘෘ, මහාචාර්ය කමනි තෙන්නකෝන්, මහාචාර්ය දිලිප්ද සිල්වා, මහාචාර්ය නේත්‍රා කරුණාරත්න වැනි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ගෙන් යුතු පිරිසක් ඒ සඳහා සහාය විය. තරුණ පර්යේෂකයන් අතර ආචාර්ය මෙරාන් එදිරිවීර, ආචාර්ය කණිෂ්ක සේනාතිලක මෙන්ම ආචාර්ය උමා ප්‍රියදර්ෂනී රාජගෝපාලන් ඇතුළු පිරිසක් ද විය. මේ වන විට සමීර ඇතුළු පර්යේෂකයන්ගේ පර්යේෂණ පිළිකා සෛල පර්යේෂණ පමණක් නොව විවිධ පැතිකඩ දක්වා ගිය පර්යේෂණ වැලක් විය. එහෙත් 25 දෙනෙකුගෙන් යුත් පිළිකා පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය පැවැරුණේ මහාචාර්ය සමීර සමර‍කෝන්ටය. 

වසර 14කට අධික කාලයක් පුරා දේශීය ශාක සහ ශාක සාර උපයෝගි කර ගනිමින් සිදු කළ මෙම පරේයේෂණය ටිකෙන් ටික සාර්ථක ප්‍රතිඵල පෙන්වන්නට විය. දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් භාවිත කළ ඖෂධීය ශාක සහ ශාක සාර පිළිබඳ පුළුල්ව පර්යේෂණ සිදු කළා පමණක් නොව ඒ ඖෂධ මිනිස් සිරුරට හානිදායක නොවන බව තහවුරු කර ගන්නට ද විය.

අනතුරුව ඒවා පියවි පිළිකා සෛලවලට යොදා ගත් අතර පිළිකා රෝගීන්ගෙන් ලබා ගත් පිළිකා සෛල විද්‍යාගාරයක් තුළ වගා කර මෙම ඖෂධය යොදන්නට විය. එය දිගුකාලීන කර්තව්‍යක් විය. මිනිස් සිරුරේ ගුදය, පෙණහලු, පියයුරු ඇතුළු ඕනෑම ස්ථානයක වැඩෙන අසාමාන්‍ය පිළිකා පියවි සෛල විනාශ කිරීමේ හැකියාව තමන් සොයාගත් මෙම නව පෝෂක ඖෂධයට ඇති බව ඔවුහු සොයා ගත්හ.

“අපේ සිරුරේ සෛල බෙදීමට මෙන්ම සෛල මැරීමට යන්ත්‍රණයක් පවතිනවා. යම් විකෘතියක් නිසා සෛල බෙදෙන වේගය මැරෙන වේගයට වඩා වැඩි වීමෙන් ජාන විකෘති වූ පිළිකා සෛල ඇති වෙනවා. පිළිකාවට ප්‍රතිකාර තිබේදැයි යමකු විමසුවොත් දිය හැකි පිළිතුර වන්නේ ‘ඔව්‘ යන්නයි . පිළිකාවට බෙහෙත් තිබුණත් එය මර්දනය කිරීම අපහසුයි. මේ නිසා පිළිකාව මර්ධදනයට ඇත්තේ සංයුක්ත ප්‍රතිකාර ක්‍රමයයි. එනම්, ශල්‍ය කර්ම, රසායනික ප්‍රතිකාර (කීමෝතෙරපි) මෙන්ම විකිරණ ප්‍රතිකාර. ශල්‍යකර්මයක් සිදු කර පිළිකාව ඇති ස්ථානය ඉවත් කළත් තවත් පිළිකා සෛල මිලියන ගණනාවක් ඉතිරි වෙනවා. ඒවා ඉවත් කිරීම සඳහා ඉහත ප්‍රතිකාර ක්‍රමවලට අමතරව ටාගට් තෙරපි ක්‍රමය යොදා ගන්නවා. ඒවායේ මිල ඉතා වැඩියි. ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය (FDA) තමයි ලොව සොයා ගන්නා නව ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන්නේ. මේ අනුමැතිය ලබා ගන්න විශාල කාලයක් ගත වෙනවා. පිළිකා ප්‍රතිකාරයක් සොයා ගත් විට ඔවුන් තම පර්යේෂණාගාර තුළ සංස්ලේෂණයකට බඳුන් කෙරෙනවා. අනතුරුව මූලික පෙර සායනික පර්යේෂණ කාලයක් පුරාවට සිදු කරනවා. එම පර්යේෂණවලින් පසු සතුන්ට යොදා ගැනෙනවා. මේවාට වසර 8-9 ක කාලයක් යනවා. මෙයින් අනුමත වීමෙන් පසුවයි සායනික පර්යේෂණ සඳහා යොමු විය හැක්කේ. සායනික පර්යේෂණ ද අවධි 4ක් යටතේ සිදු කෙරෙනවා. පළමු පියවර සාමාන්‍ය අයටත් දෙවැනි, තුන්වැනි හා හතරවැනි පියවර රෝගීන්ට ලබා දෙනවා. මේ සඳහා වසර 15ක කාලයක් ගත වෙන්න පුඵවන්. මෙවැනි පිළිකා ඖෂධ කිහිපයක් පර්යේෂණයන්ට නතුකර අවසානයේ ඒ සියල්ල ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ නියාමන අධිකාරියට දැමූ විට ඉන් කිහිපයන් අනුමත වෙනවා. “ 

මහාචාර්ය සමර‍කෝන් එසේ පවසන්නේ පර්යේෂණයේ දිගු ගමන් මඟ පිළිබඳය. මෙම නව ඔසුව අපිට ආවේණික වූ අපේම ඖෂධීය ශාක සහ ශාක සාර යොදාගෙන සකස් වූවක් වන හෙයින් මෙම ඖෂධීය පෝෂකය අතුරු ආබාධ කිසිවක් ඇති නොකිරීම ද විශේෂයකි.

“ලංකාවට ආවේණික ශාක වර්ග 800ක් පමණ තියෙනවා. ලංකාව සිටින්නේ ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානයකයි. අපි මේ සම්පත් නිසියාකාරයෙන් භාවිත කරන්නේ නැහැ. බොහෝ ආයුර්වේද බෙහෙත් සඳහා ඖෂධිය පැළැටි ගෙනෙන්නේ විදේශයන්ගෙන්. බටහිර ප්‍රතිකාර සංශුද්ධ කිරීමට විශාල පිරිවැයක් වෙන්වන නිසා හා සෘජුවම රෝගය මැඬීමට හේතුවන නිසා ඒ මිල විශාලයි. නමුත් සොබාදහමේ සියල්ල සංශුද්ධ නැහැ. දේශිය වෙදකමේ හා ආයුර්වේද වෙදකමේ තනි සංයෝග රෝගයකට ලබා දෙන්නේ නැහැ. නමුත් ඖෂධ පැළෑටියක් ගත් විට පිළිකාවට එරෙහිට සටන් කරන සංයෝග කිහිපයක් පවතිනවා. එය සාමුහික බලපෑමක්...“

මහාචාර්ය සමර‍කෝන් ඇතුළු පිරිසගේ මේ පර්යේෂණයේදී දේශීය ශාක නිස්සාරණය කර තනි සංයෝග 10කට වැඩි සංඛ්‍යාවක් සොයා ගෙන ඇත. මෙම පර්යේෂණයේදී මහාචාර්ය සමීර පිළිකා පාලනය සඳහා යොදා ගත් පාරම්පරික වෙද වට්ටෝරු රැසක් පිළිබඳ දිගු අධ්‍යයනයක් සිදු කර ඇති අතර, එයින් එකක් පමණක් ගෙන වැඩිදියුණු කර මෙම ' Vernolac'නම් ඖෂධය නිපදවා ඇත.

“ පාරම්පරික වෙද වට්ටෝරු ප්‍රතිඵලදායි වන්නේ කෙසේද යන්න පිළිබඳ මම සායනික පර්යේෂණ සිදු කළා. එම වට්ටෝරුවල ඇති ශාකවල රසායනික සංයෝග ද වෙන වෙනම පරීක්ෂා කළා. මේ වට්ටෝරුවලින් ශාක 15ක් පමණ පර්යේෂණයට යොදා ගත්තා. මේ සඳහා වසර ගණනාවක් ගත වුණා. අවසානයේ සතුන්ට පවා විස ඇත්ද නැද්ද පරික්ෂා කළා. අනතුරුව වසර ගණනාවක් පුරාවට පාරම්පරික වෛද්‍යවරුන් විසින් පිළිකා හොඳ වනවා යැයි කියූ වට්ටෝරු මම සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාවට අනුව විද්‍යාත්මකව ඔප්පු කළා. ...“ 

මහාචාර්ය සමර‍කෝන් පවසන පරිදි බොහෝ ශාකවල පිළිකා නසන ගුණය තිබුණ ද ඒවා වර්ධනය කර ඖෂධයක් දක්වා පරිවර්තනය කිරීමට අපහසුය. මේ නිසා මෙවැනි ඖෂධ නිපද වීමේදී යොදා ගැනීමට සිදු වන්නේ ඖෂධීය ගුණැති සුලභ පැළෑටිය. මෙම නව සොයා ගැනීමේදී එසේ පහසුවෙන් සොයා ගත හැකි ශාක අඩංගු වට්ටෝරුවක් එසේ වැඩි දියුණු වූ බව මහාචාර්ය සමර‍කෝන් පවසන්නේය.

“'Vernolac' පිළිකා නසන ඖෂධයක් නොව ප්‍රති පිළිකාකාරී පෝෂක ඖෂධ්‍යක්. එය පිළිකාවට එරෙහි සටන් කළ හැකි, පිළිකා සෛල නැසිය හැකි පිළිකා ප්‍රතිරෝධී සංයෝග අඩංගු පෝෂක ඖෂධයක්. මේ ඖෂධයට යොදාගත් ශාක වර්ග 4-5ක් පමණ තියෙනවා. වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් මෙම ඖෂධයේ අයිතිය කොළඹ විශ්වවිද්‍යාලය සතුයි....“මහාචාර්ය සමීර කීවේය.

අනිකුත් සෑම රෝගයකටම පෝෂකකාරි ඖෂධ තිබුණද පිළිකාව සඳහා පෝෂකකාරී පිළිකා සෛල නැසීමේ ඔසුවක් සොයා ගත්තේ මුල්වරටය. මෙය පියයුරු පිළිකා සියලු පිළිකා රෝගීන්ට ගුණදායක අතර, අතුරු ආබාධ නොමැති පෝෂක ඖෂධයක් හෙයින් ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් අවශ්‍ය නැත. මෙය භාවිතයෙන් වර්ධනය වන පිළිකා සෛල මැරී යෑමක් සිදු වෙයි. මහාචාර්ය සමීර පවසන පරිදි මෙය ගත යුත්තේ අනිකුත් පිළිකා ඖෂධ ලබා ගන්නා අතරය. වර්තමානයේ පියවි පිළිකා සෛල රේඩියෝ කිරණ මඟින් විනාශ වන්නේ නැත. නමුත් මේ ඖෂධය පිළිකා ඇතිකරන පියවි සෛල නසන ඉතා හොඳ ඖෂධයකි. පිළිකාවක් පවතින අයට මෙන්ම පිළිකාවක් හොඳ වෙමින් පවතින අයට ද භාවිත කළ හැකිය.

මහාචාර්ය සමරකෝන් මේ සියලු පර්යේෂණ කටයුතු සිදු කරන්නේ උපාධි සිසුන්ට ඉගැන්වීම් කරන අතරතුරේය. මෙම පර්යේෂණ කාලයක් සමඟ යාවත්කාලීන විය යුතුය. ඔහුගේ අරමුණ ඉදිරියටත් ලොව හොල්ලන මෙවන් පර්යේෂණ සිදු කිරීමය.

සේයාරූ- වාසිත පටබැඳි

 

Comments