එතෙක් මෙතෙක් වකුගඩුවේ බරම ගල උහුලා ගිනස් වාර්තා දෙකකට හිමිකම් කියූ විස්මිත සැත්කමේ කතාව | Page 2 | සිළුමිණ

එතෙක් මෙතෙක් වකුගඩුවේ බරම ගල උහුලා ගිනස් වාර්තා දෙකකට හිමිකම් කියූ විස්මිත සැත්කමේ කතාව

ශල්‍ය­ක­ර්මය සිදු­ක­රන අව­ස්ථාව

- පැය1යි විනාඩි 15 ක ශල්‍යකර්මයෙන් ගිනස් වාර්තා 2ක් බිඳ දැම්මා
- මහත්තයට විටින් විට බඩේ අමාරු කිව්වත් ඒ වෙලාවට කෝපි ටිකක් හදලා දුන්නා
- ගලේ ප්‍රමාණයට වඩා හැඩය නිසයි වකුගඩුවට හානියක් සිදු නොවූයේ

ලොව විශාලතම මෙන්ම ලොව බරින් වැඩිම වකුගඩු ගල මිනිස් සිරුරෙන් ඉවත් කරමින් ගිනස් වාර්තා අතරට එක්වන්නට ලංකාවේ වෛද්‍යවරු රැසක් සමත් වූහ. මේ අද්විතීය වර්තාව ඔවුන් බිහි කළේ රෝගියාගේ වකුගඩුවට කිසිදු හානියක් ඇති නොවන පරිදි හා සම්පූර්ණ ගලක් වශයෙන් මෙය මිනිස් සිරුරෙන් ඉවතට ගැනීමෙනි. කොළඹ යුද හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළ මේ විස්මිත සැත්කමින් පසු රෝගියා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව මේ වන විට සිය නිවෙස බලා ගොස් ඇත. 

මේ ගිනස් වාර්තා දෙකේ ප්‍රධාන හිමිකරුවන් වන්නේ කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික අංශ ප්‍රධානී, මුත්‍රා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතර්ෂන් ඇතුළු කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක ඇතුළු පිරිසකි. විශ්‍රාමික යුද හමුදා සොල්ලාදුවෙකු වූ කැනිස්ටස් කුඤ්ඤගේ දකුණු වකුගඩුවේ වූ මෙම ගල ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කළේ ජූනි 1 වැනි බ්‍රහස්පතින්දා යුද හමුදා රෝහලේදීය.

මෙම ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහය විය.

ලෝකයේ හමුවී ඇති දිගම වකුගඩු ගල ලෙස ගිනස් වාර්තා තැබූයේ 2004 දී ඉන්දියාවේදී සිදුකරන ලද ශල්‍යකර්මයකය. ඉන්දියාවේ මුම්බායි හි R. G. Stone Urological Research Institute හි වෛද්‍ය හේමේන්ද්‍ර ෂා විසින් 2004 පෙබරවාරි 18 වැනි දින ඉන්දියාවේ විලාස් ඝුගේ වම් වකුගඩුවෙන් මේ වකුගඩු ගලක් ඉවත් කළ අතර එහි පළල සෙන්ටිමීටර 13 (අඟල් 5.11) කි. බරින් වැඩිම වකුගඩු ගල ලෙස ගිනස් වාර්තා අතරට එක් වූයේ 2008 වසරේ පකිස්ථානයෙන් හමුවී ඇති ගලටය. 2008 ජුනි 24 දින පකිස්ථානයේ Sindh හි Nephro-Urology Chandka Medical College Hospital හි දී අදාළ රෝගියාගේ දකුණු වකුගඩුවෙන් ග්‍රෑම් 620 (අවුන්ස 21. 87) බරැති වකුගඩු ගලක් ඉවත් කරන ලදී.

වසර 20 කට පසු යළිත් ගිනස් වාර්තා අලුත් කරමින් කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික අංශය විසින් කැනිස්ටස් නම්වූ රෝගියාගේ සිරුරෙන් වකුගඩු ගල ඉවත් කෙරුණේ පැවැති ගිනස් වාර්තා දෙක බිඳ දමමිනි. එ් අනුව සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුතු මේ වකුගඩු ගල ගිනස් වාර්තා අතරට එක්වූයේ ලොව මෙතෙක් වූ විශාලම හා වැඩිම බරින් යුතු වකුගඩු ගල ලෙස නව ගිනස් වාර්තාවක් ඇති කරමිනි.

“ මේ රෝගියා අපේ රෝහලට ආවේ මැයි මාසයේදි. ඔහු අපේ යුද හමුදාවේ හිටපු සොල්ලාදුවෙක්. දැන් විශ්‍රාමිකයි. වයස අවුරුදු 62 යි. ගම කුරුණැගල. වසර 20 ක කාලයක් පුරාවට එයා වැඩ කරලා තිබුණේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල. වසර 5-6 කට පෙර ඔහුගේ බඩේ කැක්කුමක් ඇවිත් තියෙනවා. ඒ නිසා කිහිප තැනකින් සාමාන්‍ය ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. නමුත් විධිමත් ආකාරයෙන් රෝගය සම්බන්ධව කිසිදු පර්යේෂණයක් සිදුකර නැහැ. යුද හමුදා රෝහලට රෝගියා ඇතුළු වුණේ ඔහුගේ වේදනාව දිනෙන් දින දරුණු වූ නිසයි. පසුව අපි සී. ටි. ස්කෑන්, අල්ට්‍රා සවුන්ඩ් ස්කැන්, එක්ස්රේ ආදී පරික්ෂණ ගණනාවකට රෝගියා යොමු කළා. එහිදි අපි සොයාගත්තා ඔහුගේ දකුණු පස වකුගඩුවේ විශාල ගලක් පවතින බව. දින දෙක තුනකින් සී. ටී. ස්කෑන් පරික්ෂණ වාර්තාව අපිට ලැබුණ පසු අපිට ගලේ ප්‍රමාණය තීරණය කරන්න හැකි වුණා. එය සෙන්ටිමීටර 13.372 ක් දිග ගලක් බව දැන ගත්තා. නමුත් වාසනාවකට මෙන් මෙතරම් විශාල ගලක් තිබිලත් රෝගියාගේ වකුගඩුවලට කිසිදු හානියක් සිදුවී නැහැ. ගල තිබූ දකුණු පස වකුගඩුව හොඳින් වැඩ කරමින් තිබුණා. මේ අනුව අපි තීරණය කළා මේ ගල ඉවත් කිරීමේ දරුණු ශල්‍යකර්මයට යොමු වීමට. මෙය බරපතළ, අවදානම් ශල්‍ය කර්මයක් නිසා හොඳ සූදානමක් ගොඩ නඟන්න සිදු වුණා. 

ස්කෑන් පරීක්ෂණයෙන් පසු රෝගියාගේ ගලේ ප්‍රමාණය දැනගත් පසු අපි අන්තර්ජාලය හරහා පරණ ගිනස් වාර්තා පිරික්සුවා. අපි දැන ගත්තා මෙතරම් විශාල හා බරින් වැඩි ගලක් මින් පෙර ගිනස් වාර්තා අතරට එක් නොවූ බව. අවසාන වර්තාව තිබුණේ 2004 මුම්බායිවල. ඒ සෙන්ටිමීටර 13 ක්. ශල්‍යකර්මය සිදුකරන්නට පෙර අපි ගිනස් වාර්තාව සඳහා ඇයැදුම් කළා. අපිට මුලින්ම ඒ අයගේ මාර්ගෝපදේශ ලබා ගන්න සිදු වුණා. ඒ ගිනස් වාර්තා තබමින් රෝගියාට කිසිදු හානියක් සිදු නොවන පිරිදි මේ ගල ඉවත් කළ යුතු වූ නිසා. ගිනස් වාර්තාව සඳහා අපිට විකල්ප දෙකක් ලැබුණා. එකක් තමයි ගිනස් කණ්ඩායමකට මෙහෙ පැමිණෙන ලෙස ඉල්ලුම් කිරීම. දෙවැන්න මේ රෝහලේ වැඩ නොකරන වෛද්‍යවරු දෙදෙනෙක් ස්වාධින විනිශ්චයකට එක් කිරීම. අපි තෝරාගත්තේ දෙවැන්න. මේ ශල්‍ය කර්මය මුල සිට අග දක්වා ඔවුන් විනිශ්චය කර ඊට අදාළ තොරතුරු, සාක්ෂි, පිංතූර හා වීඩියෝ ගිනස් වාර්තාවේ අනුමැතියට ලබා දුන්නා.

මෙය බරපතළ ශල්‍ය කර්මයක් නිසා ශල්‍යකර්මය සිදු කරන අවස්ථාවේ මෙන්ම ඉන් පසුවත් අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවන බව අපි තේරුම් ගත්තා. විශේෂයෙන්ම වකුගඩුව පිරෙන්නට තිබු ගලේ විශාලත්වය මේ අවදානම වැඩි කළා. රෝගියාගෙන් ලේ වහනය වීම් වැඩිවීමේ අවදානමක් තිබුණා. ගල ඉවත් කිරීමේදි ආපදා තත්ත්වයන්ට මුහුණ දිය හැකිව තිබුණා. මේ නිසා අපිට රෝහලේ පරිපාලන අංශයේ, නිර්වින්දන අංශයේ, විකිරණ අංශයේ ඇතුළු අංශ ගණනාවක සහය අවශ්‍ය වුණා. ඒ වගේම දැඩි සත්කාර ඒකකය ඒ සඳහා සුදානම් කළ යුතු වුණා. ඒ සියලු කණ්ඩායම් ඇවිත් මේ රෝගියා පර්යේෂණයන්ට ලක්කළා. මේ කටයුතු සිදුවන්නට දින කිහිපයක් ගත වුණා. මේ සියල්ලටම අපි සූදානම් වුණා. ශල්‍යකර්මයට ප්‍රථම රෝගියාගේ කැමැත්ත ගත යුතු වුණා.

ජූනි 1 වැනිදා අපි මේ ශල්‍යකර්මය සිදු කළා. මම ඇතුළු මෞත්‍ර ලිංගික රෝග සම්බන්ධ වෛද්‍යවරු, නිර්වින්දන වෛද්‍යවරු, මෙන්ම එය ගිනස් වාර්තාවට අතුළත් කළ යුතු වූ නිසා ස්වාධින විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුද එක්වුණා. එක් අයෙකු වුණේ මඩකලපුව ශික්ෂණ රෝහලේ මෞත්‍ර ලිංගික විශේෂඥවරයකු වූ වෛද්‍ය ඇනෝමිනන්. අනික් වෛද්‍යවරයා වූයේ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයකු වූ අජිත් තෙන්නකෝන්. ගල ඉවත් කිරීමෙන් පසුව එය සෙන්ටිමීටර 13.372 ප්‍රමාණයේ ගලක් බව තහවුරු කර ගත්තා. පසුව මේ ගලේ බර මැන්නා. ඒ අනුව අපිට තේරුම් ගියා තවත් ගිනස් වාර්තාවක් තියන්න පුළුවන් බව. එය අපේ සතුටට හේතුවක් වුණා. ඒ අනුව ගිනස් වාර්තා දෙකක් බිඳ දැම්මා. මේ ශල්‍ය කර්මයට පැය 1 විනාඩි 15 ක් පමණ ගියා. මෙය අපිට විශාල අභියෝගයක් වුණා. ....“ ඒ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික අංශ ප්‍රධානී මුත්‍රා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතර්ෂන්ය. 

මේ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය මතය වන්නේ Stone Belt හි ලංකාව පිහිටීම නිසා ගල් සම්බන්ධ ප්‍රශ්න වැඩි බවකි. කෙසේ වෙතත් මේ ගල ඉතිහාසගත වන්නක් නිසා රෝගියාගේ අනුමැතිය යටතේ එය කෞතුකාගාරයක තැන්පත් කිරීමට නියමිතය.

මෙම ගිනස් වාර්තාවේ තවත් හිමිකරුවකු වන්නේ කපිතාන් වෛද්‍ය සුපුන් පතිරත්නය.

“මේ අංශය ආරම්භ කර වසරක් වෙනවා. උතුරු පළාතේ සේවය කළ සොල්දාදුවන්ට වතුර පානය අඩු නිසා මෙවැනි රෝග තත්ත්වයන්ට නිතර ගොදුරු වෙනවා. මේ නිසා හමුදා රෝහලට මුත්‍රාගල් රෝගීන්ගේ පැමිණීම බහුලයි. කෙනකුට මි.මි.7-8 ක පොඩි ගලක් තිබුණත් එය රෝගියාට දරා ගැනීමට අපහසු වෙනවා. මි.මි.133 ක් වූ මේ ගල රෝගියා මෙතරම් කාලයක් තබා ගැනීම ආශ්චර්යයක්. ඉන්දියාවේ ගිනස් වාර්තාවේ ගල පවා වකුගඩුවෙන් ලබාගෙන ඇත්තේ කෑලි වශයෙන්. නමුත් අපිට සම්පූර්ණ ගලම ගන්න හැකි වුණා. රෝගියාව දිගින් දිගටම අපි අධික්ෂණය කරනවා. මෙම ගලේ ප්‍රමාණයට වඩා හැඩය නිසයි ඔහුගේ වකුගඩුවට හානියක් සිදු නොවූයේ. .....“

ගිනස් වාර්තාවට හිමිකම් කියූ ගලේ හිමිකරු කැනිස්ටන් කුඤ්ඤය. මීගමුව් කොච්චිකඩේ දූවන පදිංචි කැනිස්ටස් යුද හමුදාවට බැඳුණේ 1995 වසරේදිය. ඔහු පවසන්නේ යුද බිමේ සේවය කරද්දී වතුර මෙන්ම පිරිසිදු වතුර පානයට ඉඩ නොලැබුණු බවකි. 

“ යුද්ධ කාලයේ මම හමුදාවේ සේවය කළේ. යාපනය, මන්නාරම, වවුනියාව, මඩකලපුව වැනි පළාත්වල සේවය කළා. යුද්ධයේ දරුණුතම අවධියේදී අපි වැලිඔය සිටියේ. මේ කාලයේ යුද්ධයේ දරුණු අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වුණා. මම රිවිරැස, එඩිබල මෙහෙයුම්වලට ගිහින් එල්.ටී.ටීය පරාජය කරන්න වෙහෙසුණා. 2009 යුද්ධයේ අවසන් මනුෂික මෙහෙයුමේදි අපි නන්දිකඩාල් කලපුව හරහා එල්.ටී.ටීය හතරවටින් වට කළා. අපි වැලිඔය පැත්තෙන් බැහැලා නන්දිකඩාල් කලපුව දක්වා ගමන් කළා. එක් දිනක් මම ඇතුළු 25 දෙනෙක් එල්.ටී.ටීය ට කොටු වුණා. බෙල්ට්එක කැඩිලා අපි තනිවුණා. මරණාසන්න බියක් ඇති වුණා. මුලතිව් කැළේ මෝටාර් වැදිලා මැරෙයි කියලා හිතුවා. නමුත් වාසනාවකට ගුවන් හමුදාව අපිව බේරා ගත්තා. යුද්ධය අවසන් වී විශ්වමඩුවල අපේ යුනිට් එක ස්ථාපනය කළා. ඊට පස්සේ මම සමාජ සේවාවන් ඉටු කරන්න පටන් ගත්තා. මට හොඳට දෙමළ පුළුවන්. ඒ නිසා යුද්ධයෙන් පසු නැවත පදිංචි කිරීමේ කටයුතු වලට එකතු වුණා. කෑම නැති අයට කෑම ගිහින් දුන්නා. ජනතාව නැවත පදිංචි කිරීමේදී ඒ නිවෙස්වල වහල තිබුණේ නැහැ. අපි ටකරම් අරගෙන ගිහින් ඒ අයට වහල හදලා දිලා පදිංචි කළා. යුද්ධයෙන් පසු පාසල් තිබුණේ පොල් අතු මඩුවල. දරුවන්ට ඉගෙන ගන්න පහසුකම් තිබුණේ නැහැ. අද ඒ පාසල් තියෙන තත්ත්වයට දියුණු කළේ අපි. මම මීට වසර 4 කට පෙර 2019 විශ්‍රාම ගියා. ඒ යද්දිත් බඩේ ආමාරුකම් විටින් විට තිබුණා. වරින්වර බෙහෙත් ගත්තත් නිට්ටාවට හොඳ වුණේ නැහැ. මම පොඩි ආරක්ෂක අංශයේ රැකියාවක් කළා. ආර්ථික ප්‍රශ්න තිබුණා. මගේ පොඩි පුතා සාමාන්‍ය පෙළට ලියනවා. අපි ජිවත් වන්නේ කුලී නිවසක. මේ නිසා රෝහලක නැවැතීම පවා ගැටලුවක් වුණා. නමුත් මැයි මාසයේ මම යුද හමුදා රෝහලට ආවේ වේදනාව වැඩි නිසා. සුදර්ෂණ සර් ඇතුළු විශේෂඥ වෛද්‍යවරු කිව්වා ගලක් බව. ගිනස් වාර්තාවට ගියාට වඩා අද මට සතුටක් තියෙන්නේ සාර්ථකව මගේ වේදනාව ඉවත් කිරීම ගැනයි.......“ කැනිස්ටන් කුඤ්ඤය.

කැනිස්ටස් මේ ආපදාවෙන් බේරී ඇත්තේ විස්මයජනක ලෙසය. ඔහු මෙරතරම් විශාල ගලක් වකුගඩුවේ තබාගෙන මෙතරම් කාලයක් සිටිම පුදුමයකට කරුණකි. ඔහු තම රෝගි තත්ත්ව නොසලකා ඇත්තේ පැවැති ආර්ථික අපහසුකම් හේතුවෙනි. කැනිස්ටර් ගේ බිරිඳ වන හේමන්ති රසාදරී පවසන්නේ සිය ස්වාමියා විටින් විට බඩේ අමාරු පවසද්දී මෙවැනි බරපතළ තත්ත්වයක් ඇතැයි නොසිතු බවකි.

“ අපිට පුතාලා තුන් දෙනෙක් ඉන්නවා. බාල පුතා දිමුතු සාමාන්‍ය පෙළ කරනවා. දෙවැනි පුතා නිපුණ උසස් පෙළ කළා. ලොකු පුතා චතුරංග විවාහ වෙලා. මහත්තයට විටින් විට බඩේ අමාරු කිව්වත් අපි ඒ වෙලාවට කෝපි ටිකක් හදලා දුන්නා. ලොකුවට පරික්ෂණ කරන්න ගියේ නැහැ. ඒත් වේදනාව වැඩිවෙලා ආමි හොස්පිටල් එකට ගියහම තමයි ස්කෑන් එකක් කරලා බලලා කිව්වේ ගලක් කියලා. මේකට ශල්‍යකර්මයක් සිදුකළ යුතුයි කියලා කිව්වා. ස්කෑන් පරීක්ෂණයෙන් පස්සේ රෝහලේ වෛද්‍යවරු අපිට අඩගහලා කිව්වා මේක විශාල ගලක්. ඒ නිසා ශල්‍යකර්මය බරපතළ බව. මාසයක් රෝහලේ මහත්තයා නවත්වාගෙන විවිධ පර්යේෂණ කළා. එයාට ශක්තිය වැඩෙන්න ආහාර දුන්නා. පස්සේ ඩොක්ටර් කිව්වා මේක ගිනස් වාර්තාවක් තියන එකක් කියලා. එත් අපිට ඕන වුණේ මහත්තයා හොඳ කර ගන්න පමණයි. ......“

වර්තමානයේ බොහෝ දෙනා ගිනස් වාර්තා තබන්නට අලුත් අලුත් දෑ කරති. කැනිස්ටර් ඔහු විඳි වේදනාවෙන් නිදහස් වූයේ ගිනස් වාර්තා දෙකකට හිමිකම් කියමිණි. මෙවැනි දුලබ සිදුවීම් අපේ වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයකි.



සේයාරූ- ගයාන් පුෂ්පික

Comments