
වෙස් නර්තන ශිල්පින් රැසක් රටට දායාද කර පසුගිය 14 වැනිදා පෑලියගොඩදි සිදුවූ රිය අනතුරකින් මිය ගිය කොළඹ ආනන්ද විදුහලේ නර්තනාචාර්ය මෙන්ම විනයභාර ආචාර්යවරයා ලෙස සේවය කළ උපාලි පියවර්ධනගේ අවසන් කටයුතු 17 වැනි සෙනසුරාදා බොරැල්ල කනත්තේදි සිදු කරන ලදී.
මාවනැල්ලේ පදිංචිව සිටින උපාලි පියවර්ධන මිය යන විට පදිංචිව සිටියේ දෙමටගොඩය. අවුරුදු 52ක් වයසැති ඔහු වසර 10කට ආසන්න කාලයක් ආනන්ද විදුහලේ නර්තනාචාර්යවරයා ලෙස සේවය කරමින් සිටියේය. ඊට පෙර ඔහු කොළඹ අවට පාසල් කිහිපයකට නර්තනාචාර්යවරයා ලෙස සේවය කර ඇත.
ඔහුගේ බිරිය සාරංගා රෝෂිණි වික්‍රමසිංහ කලක් බැංකු නිලධාරිනියක් ලෙස සේවය කළ අතර මේ වන විට ඇය සේවය කරන්නේ තේ පර්යේෂණායතනයක ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරිවරිය ලෙසය.
සිය උසස් පෙළ විභාගයට සූදානම් වන එකම දියණිය උපකාරක පන්තියකට ඇතුළත් කර පසුව ඇයව රැගෙන ඒමට යාමේදී කන්ටේනර් රථ රියදුරකුගේ අපරික්ෂාකාරී ධාවනය නිසා ඔහු ගමන් කළ යතුරු පැදිය අනතුරකට ලක් වූ අතර බරපතළ ආකාරයෙන් තුවාල ලබා සිටි ඔහු සුළු මොහොතකින් මියගොස් ඇත.
මේ අනතුර සිදුවන විටත් දියණිය සිය පියා මිය ගිය බව නොදැන සිටි අතර ඇය සෑහෙන වේලාවක් සිය පියාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිට ඇත. ඇය ප්‍රමාද වීමට හේතුව විමසමින් සිය පියාට ඇමැතුම් ගත්ත ද ඒවාට ප්‍රතිචාරයක් නොවීය.
අනතුරුව සුළු මොහොතකින් සිය පියාගේ දුරකතනයෙන් “ දුව තාත්තාට අනතුරක් වෙලා. අපි තාත්තාව රෝහලට රැගෙන ගියා.....“යනුවෙන් ඇමැතුමක් ලැබෙන්නේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරියකුගෙනි. එම දියණිය පැලියගොඩ පොලිස් ස්ථානයටත්, අනතුරුව කොළඹ ජාතික රෝහලටත් යන්නේ සිය පියා මියගිය බව නොදැනය.
ජූනි 14 වැනිදා සවස 6.40 ට පමණ උපාලි පියවර්ධන කොළඹ නුවර මාර්ගයේ සිය යතුරු පැදියෙන් පෑලියගොඩ සිට කිරිබත්ගොඩ දෙසට ගමන් කළේ සිය දියණියව උපකාරක පන්තියෙන් නිවසට රැගෙන යාමේ අරමුණිනි.
එම දිසාවටම ගමන් කරමින් තිබුණු කන්ටේනර් රථය යතුරු පැදියට ඉස්සර කිරීමේදී කන්ටේනර් රථයේ වම්පස ගැටී මෙම අනතුරට මුහුණ පා ඇත. පාසල් කිහිපයකම සේවය කළ මෙම ගුරුවරයාගේ අභාවයෙන් සිසුන් බලවත් කම්පාවට පත්ව ඇත.
මෙම අනතුරට වගකිව යුතු කන්ටේනර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොස්තාපල් දිල් ජයසිංහ මෙම අනතුර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී සාක්ෂි ඉදිරිපත් කර ඇත.