
අපගේ කාබනික නිෂ්පාදන මිල දී ගැනීමට විමසන්න. 0713 492684 0777 187518
ලෝකයේ දියුණු රටක ඉතා සුවපහසු ජීවිතයක් ගත කරන්නට හොඳටම පුළුවන්කම තිබිය දී, මංගලිකා ෆ්ලෙචර්, රසායනික පොහොරවලින් විනාශ වී ගිය සිය මවුබිමේ මහපොළොව යළි පණ නංවන්නට කාබනික පොහොර හදමින් ඔට්ටු වන්නී ය. සටන් කරන්නී ය.
උපන් රට විනාශ වන බව පෙනි පෙනීත් මුදලට කෑදර ව මේ මහ පොළොවේ විනාශයට ඉඩ හැර සිටින වගකිව යුතු සහ තීන්දු තීරණ ගන්නා තැන්වල සිටින නිලධාරීන් සහේතුක ව ඈ විවේචනය කරන්නී ය.
උරණ නොවන්න! ඈ සියල්ල පවසන්නේ රටට ආදරයෙනි.
වැටෙමින් නැඟිටිමින්, වැටී වැටී යළි නැඟිටිමින් ඈ කාබනික පොහොර නිෂ්පාදනයේ නියැළෙයි. මේ ඇගේ කතාවයි.
"අපි කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළේ 2015 වසරේ. 'ශාක ජීව' අපේ බ්‍රෑන්ඩ් එක. ඒ කාලේ පටන් අපි ගොවිබිම් වෙත ගොස් කාබනික පොහොරවල වටිනාකම, යොදන ආකාරය පිළිබඳ ගොවීන් දැනුම්වත් කළා. ඒ සමඟම අක්කර භාගයකට පොහොර කිලෝ 200 ගාණේ ගොවීන්ට නොමිලේ බෙදා දුන්නා, දාලා ප්‍රතිඵල බලන්න කියලා. හැබැයි, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් හරහා තමයි ඒ පොහොර ගොවීන් අතරට යවන්න වුණේ. නමුත් සමහර අවස්ථාවල ගොවිජන සේවා මධ්‍යස්ථානවලට එය දැනුණේ අමතර කරදරයක් ලෙස. ලේසියට යූරියා දාලා පුරුදු වෙච්චි බහුතරයක් ගොවීනුත්, දෙතුන් පාරක් දාන්න වෙන නිසා කාබනික පොහොරවලට මහන්සි වෙන්න කැමැති වුණේ නැහැ.
යූරියාවලින් විනාශ වූ පස යළි පණ ගසන්නට, ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වන ආකාරයේ සාර්ථක කාබනික පොහොරක් නිෂ්පාදන කිරීමයි අපේ මූලික අරමුණ වුණේ. එසේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළේ කන්දකාඩු කිට්ටුව ඇති අපගේ සිංහපුර කර්මාන්තශාලාවේ.
සාර්ථක ලෙස ආරම්භ කළත් කොරෝනා වසංගතයත් සමඟ කොළඹ සිට එහි යෑම දුෂ්කර වුණා. ඒ කාලය තුළ පොහොර තොග සහ කර්මාන්තශාලාවේ තිබූ සියලු බර යන්ත්‍රෝපකරණ, වහලය ඇතුළු ෂෙඩ් එක පවා හොරු ගලවාගෙන ගොස් තිබුණා. ඒ පාඩුව රුපියල් මිලියන 40ක්. අන්තිමේ ඉතුරු වුණේ ඉඩම විතරයි. ඉන් පස්සේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර පුළුල් කිරීමට යුද හමුදාව අපේ ඉඩමත් පවරා ගත්තා.
හිටපු ජනාධිපතිවරයා ගේ කාබනික පොහොර නියමු ව්‍යාපෘතිය ආවේ ඔය අතරේ. සියලු දේ අහිමි වූවත්, අප සතුව තිබූ ලොරි රථය රු. ලක්ෂ 22කට අලෙවි කර, මදි පාඩුව ඕස්ට්‍රේලියාවේ සිටින මගේ දරු දෙදෙනාගෙන් ලබා ගෙන, ඒ සියලු මුදල් යොදා නැවතත් 2020 කාබනික පොහොර ව්‍යාපෘතියට අතගැහුවා. ඇත්තටම මුල් අවස්ථාවේ, එම ව්‍යාපෘතියට දායක වූ ආයතන නවය අතරේ අපිත් හිටියා. නමුත් අපේ ඉඩම යුද හමුදාවට ගත් නිසා, අපිට පොහොර හදන්නට තැනක් තිබුණේ නැහැ. හරි තැනක් නැතිව හදන පොහොර රජය බාරගත්තෙත් නැහැ. මොකද, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍රය, රසායනාගාර පරීක්ෂණ වාර්තා...යන මේ සියල්ල අතරේ, පොහොර නිෂ්පාදනය කරන ස්ථානය පිළිබඳ අදාළ පරිසර සහතිකය සහ ඉඩමේ බදු ඔප්පුව යන ලියකියවිලිත් ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරයාට වුවමනාව තිබුණත්, මේවා ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනවල සිටියේ පසුගාමි නිලධාරීන්. සෘජු තීන්දු තීරණ ගන්න ඔවුන් මැලි වුණා. විෂය පිළිබඳ දන්නා අය නිහඬ වුණා.
ඇත්තටම අපිට එහෙම වුණේ අපේ වරදකින් නෙවෙයි. 2016 සිට 2026 වන තුරු පොහොර නිෂ්පාදනය සඳහා ඒ රජයේ මහවැලි ඉඩම අපිට ලැබුණා. ඒ ඉඩම අපිට දීලා තියෙද්දියි, මහවැලිය එය යුද හමුදාවටත් දී තිබෙන්නේ. මෙවැනි බාධක ගැටලු රැසක් මැද මම ආපහු පොහොර නිෂ්පාදනයට අත ගැහුවේ මගේ හිතවතකුගෙන් ඉඩම් අක්කරයක් ඉල්ලාගෙන.
ජාතික පොහොර ලේකම් කාර්යාලය සෑම විටම ඔවුන්ගේ රාජකාරිය ඉතා උසස් ලෙස ඉටු කළා. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමාද වීම් නිසා කන්න දෙකකදී අපිට රුපියල් ලක්ෂ 100ක පොහොර තොග ඉතිරි වුණා. අපගේ පැත්තෙන් සියලු දේ කළත් අදාළ නිලධාරීන්ගේ ප්‍රමාද වීම් නිසා ඒ පොහොර තොග ගබඩාවල ඉතිරි වුණා. අන්තිමට අපිට මුදල් ලැබුණෙත් නැහැ.
කාබනික පොහොර සැපයීම ආවාට ගියාට සිදු කරන කාර්යයක් නෙවෙයි. ජාතික පොහොර ලේකම් කාර්යාලය සෑම නිෂ්පාදන කාණ්ඩයකින් ම අහඹු ලෙස සාම්පල රැගෙන, පර්යේෂණ කටයුතු සඳහා යවනවා. ඒ එක කාණ්ඩයක් සඳහා අපි රු. 40,000ක් පරීක්ෂණ ගාස්තු ගෙවනවා. එය සෑම අලුත් කාණ්ඩයකට ම ගෙවිය යුතුයි. ඒ සහතික ලැබුණා ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරින් වෙත යනවා. තවත් අනුමත කිරීම් සහ පියවර ගණනාවකින් පසුවයි, පොහොර සැපයීමට අවසරය ලැබෙන්නේ. එම සියලු පියවරයන් අනුගමනය කොට, ලබා දුන් රු. ලක්ෂ 100ක පොහොර තොගය ගොවීන්ට නොබෙදා, නැවත අපිට ගන්න කියන එක, අපි වගේ පුංචි නිෂ්පාදකයින්ට මොන තරම් පහර ගැසීමක් ද? අසාධාරණයක් ද ?
ඇත්තටම මේ සියලු කරදරවලට මුහුණ පාන්නේ කාබනික පොහොර නිෂ්පාදකයින් විතරයි. රසායනික පොහොර කියන්නේ, මේ රටේ මල්ටි මිලියන් බිස්නස් එකක්. මේ රටේ ක්‍රියාත්මක වන මාෆියාවක්. කාබනික පොහොර හදනවා වගේම, ගොවීන්ට එය පුරුද්දක් කිරීම පවා විශාල අභියෝගයක් වී තිබෙන්නේ, මේ සැඟවුණු ඛේදවාචකය නිසා.
අපි 2015 ඉඳන් මේ වෙනකල් කෘෂිකර්ම අමාත්‍යවරු ගණනාවක් මුණගැහිලා ඇති. රැස්වීම්වලට ගිහිල්ලා ඇති. නමුත් එතැනින් එහාට කාබනික පොහොර මේ රටේ පුරුද්දක් කරන්න බැරි හේතු ගණනාවක් මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වන ආකාරය අපට පෙනෙනවා. ඇත්තටම බොහෝ අය තමන්ට ලැබෙන පුද්ගලික වාසිවලට රටේ අනාගතය විනාශ කරනවා.
ප්‍රමිතියට හැදූ කාබනික පොහොර ටික මේ මහා පොළොවට වැටිලා, වස විස නැති හාල් ටිකක් එළවළුවක් පලතුරක් ආහාරයට ගන්න පුළුවන් යුගයක් දීර්ඝකාලීනව ඇති වුණොත් පමණයි, මේ රටේ ළමා ළපැටීන් ගේ සිට වැඩිහිටියන් දක්වා වකුගඩු සහ පිළිකා රෝගවලට ගොදුරු වීමේ මහා ව්‍යසනය වළක්වන්න පුළුවන් වෙන්නේ.
මගේ මහත්තයා, ඩග්ලස් ෆ්ලෙචර් බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවෙක්. ඔහු 2008 වසරේ මිය යන තෙක් ම මගේ මේ කාබනික වගාවට හුඟක් අත හිත දුන්නා. ඒ කාලයේ ඔහු එංගලන්තයෙන් මට Messey Ferguson ට්‍රැක්ටර් දෙකක් පවා ගෙනැවිත් දුන්නා, ගොවිතැන් කරන්නට. ඇත්තටම මගේ ආසාවට ඒ කාලේ අක්කර ගාණක වී ගොවිතැන් කළා. මහත්තයා ගේ මිය යාමත් සමග ඒ සියල්ල නැති වී ගියා.
නමුත් අදටත් මම ගෙවන්නේ සොබාදහමේ ජීවිතයක්. මගේ වත්තේ හැම තැනම තිබෙන්නේ ඖෂධීය ගහ කොළ. මම ආහාරයට ගන්නේ කාබනික එළවළු පලතුරු. මගේ කාබනික දිවි පෙවෙත තුළ මම මහා සතුටක් තෘප්තියක් ලබනවා.
මගේ මේ නිවෙස, Fletcher Wellness Holiday Home නමින් Home Stay සංකල්පයේ නවාතැනක් බවට පත් කළා. ඒ, විදේශිකයන් අතර කාබනික දිවි පෙවෙත ප්‍රචලිත කිරීමේ අරමුණින්. ලෝකයේ රටවල් ගණනාවක සංචාරකයින් හත් අටසියයක් මේ වන විට මේ නිවෙසේ හෝම් ස්ටේ සංකල්පයට අනුව නවාතැන් ගෙන තිබෙනවා. භාවනාව, ආයුර්වේදය, කාබනික වගාව ඔවුන් මෙහිදී අත්විඳිනවා. මගේ ගෙවත්තේ තිබෙන ඖෂධීය ශාක ගහකොළ, කාබනික එළවළු පලතුරු ඒ අය කැමැති පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි එන විදේශිකයින්ට ලැබෙන්නේ නිර්මාංශ ආහාර වේලක්.
මේ සංකල්පයට විදේශිකයන්ගේ කොච්චර හිත ගියාද කිව්වොත් සුමානෙකට ආ අය, මාස ගණන් නැවතුණා. නැවත නැවතත් ඇවිත් ගියා. තවත් අය රැගෙන පැමිණියා. ඒ සියල්ල සිදු වුණේ කාබනික දිවි පෙවෙතකට ඔවුන් තුළ තිබෙන කැමැත්ත නිසා. ලෝකයේ දියුණු රටවල කාබනික වගාවට දී තිබෙන තැන ඉතාම ඉහළයි. ඒ වටිනාකම ඔවුන් ඉතා හොඳින් වටහා ගෙන තිබෙනවා. නමුත් රටක් ජාතියක් විදියට අපි තවම ඉන්නේ පිටුපස්සේ. ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන රසායනික පොහොරවලට ගොවීන් කැමතියි වගේම, ඒවා ගෙන්වන දැවැන්ත සමාගම්වලටත් මේ රටේ මිනිස්සු ලෙඩුන් වීම පිළිබඳ හැඟීමක් නැහැ.
මේ තාක් කාලයක් මේ මහ පොළොවට හෙලන ලද රසායනික පොහොර කන්දරාවෙන් පසේ ක්ෂුද්‍ර ජීවීන් මිය ගොස් හමාරයි. ඔවුන් නැවත හැදෙන්නට සහ බෝ වෙන්නට සුදුසු සහ පසක් සහිත පරිසරයක් නිර්මාණය කරන්නට හැකියාව තිබෙන්නේ, කාබනික පොහොරවලට පමණයි. පොළොවට ලැබෙන නයිට්‍රජන් ටික ශාක මූල ඔස්සේ හොඳින් අවශෝෂණය කර දෙන්නට අවශ්‍ය පසුබිම් ක්‍රියාවලිය ක්ෂුද්‍ර ජීවීන් ඉටු කරනවා. නමුත් ඒ සඳහා ඔවුන්ට ජීවත් වීමට සුදුසු පසක් හදා දීමේ වගකීම තිබෙන්නේ, කෘෂිකර්ම නිලධාරීන්ට සහ මේ මහ පොළොවත් සමඟ ඔට්ටු වන ගොවීන්ට. ඒ යුතුකම ඔවුන් ඉටු කරන්නේ නැති නම්, කරන්න කෙනෙකුත් නැහැ. එන්න එන්නම මේ රටේ අනාගත පරම්පරාව ම වකුගඩු සහ පිළිකා රෝගීන් බවට පත්වීම වළක්වන්නත් බැහැ.
ඇත්තටම මට මේ සියල්ල අත්හැරලා ඉතා පහසුවෙන් එංගලන්තයේ ජීවත් වෙන්න ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා. ප්‍රවීන් සහ අමිල මගේ පුතාලා දෙන්නා ම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් නිසා ඔවුන් ළඟට යන්නත් හැකියාව තිබෙනවා. නමුත් මම ලංකාවට වෙලා මේ සටන දිගටම කළේ, මේ රටේ මහපොළොව සුවපත් කරන කාර්යයට යම් තරමකින් හෝ දායක වෙන්න තිබෙන ආසාව වුවමනාව නිසා. ඒ වුණත් දැන් මට වැටහෙනවා, මේක ඉතාම වෙහෙසකර නිෂ්ඵල කාර්යයක් බවට පත් වී ගෙන එන බව. මේ රටේ මිනිස්සු මේ ව්‍යසනය වටහා නොගන්නා තෙක් අප වැනි මිනිසුන් ගන්නා සියලු උත්සාහයන් නිෂ්ඵලයි. වෙහෙස මහන්සිය පමණයි. ඇත්තටම මේ ඇදගෙන යාමට මට බොහෝ සෙයින් උදව් කරන්නේ, අපගේ ආයතනයේ කළමනාකරු මධුරංග සෝමසිරි.
ඔය ඔක්කොම හැල හැප්පීම් අතරේ පස්සේ 2021- 22 මහ කන්නයට කුරුණෑගල ගොවිජන සේවා මධ්‍යස්ථාන හතරකට අපි කාබනික ජෛව දියර පොහොර ලීටර 74,000 සැපයුවා. 2022 යල කන්නයේදී ත් ලීටර 47,000ක් ලබා දුන්නා. ඒ වගේම, නැඟෙනහිර ආණ්ඩුකාරවරිය ලෙස සිටි අනුරාධා යහම්පත් මහත්මිය ක්‍රියාත්මක කල ඒ පළාතේ අක්කර 700 ගණනක දේශීය වී වගා ව්‍යාපෘතියකට අපේ කාබනික ඝන පොහොර ටොන් 250ක් සහ දියර පොහොර ලීටර 5,000ක් ලබා ගත්තා.
දැන් අපේ කර්මාන්තශාලාව තිබෙන්නේ පොල්පිතිගම මොරගොල්ලාගම. මගේ යාළුවා ගේ ඉඩමේ. පොල් අතු මඩුවක් ගහලා, ටැංකි දාලා, පොල් අතු කාර්යාලයක් හදලා තමයි අපි වැඩේ ආපහු පටන් ගත්තේ. වුවමනාව නිසා අත්හරින්න හිතෙන්නෙත් නැහැ. අපි මහ පොළොවට යමක් දෙනවා වගේම, මේ කර්මාන්තයෙන් ජීවත් වන පිරිසකුත් සිටින නිසා.
මොකද, අපි කාබනික පොහොර නිෂ්පාදනයේ දී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ ගොම, කුකුළු සහ එළු පොහොර. ඒ වගේම ගිණිසීරියා, ජපන් ජබර වැනි බහු වාර්ෂික බෝගවල කොළ ජාති සපයන සැපයුම්කරුවන් සිටිනවා. ඒ අය අපිට මේ අමුද්‍රව්‍ය සපයා අමතර ආදායමක් උපයා ගන්නවා.
අප මාළු ටොනික් නිෂ්පාදනය කරන්නේ මාළු අපද්‍රව්‍යවලට ෂුගර් මොලෑෂස් දමා පදම් වන්නට තබමින්. ඒවාට මහ පරිමාණයෙන් ඉවතලන එළවළු අපද්‍රව්‍ය සාරය සහ ඉවතලන පලතුරු සාරයත් එක්කර පැසෙන්නට තබනවා. සාමාන්‍යයෙන් මාළු කිලෝ 5,000 ටැංකි දහයක් පමණ එක කන්නයකට අවශ්‍ය වනවා. ලංකාවට ම වුණත් මාලු ටොනික් හදන්න පුළුවන් තරමේ මාළු අපද්‍රව්‍ය කොටස් ලබා ගත හැකි දැවැන්ත කර්මාන්තශාලාවක් මන්නාරමේ තිබෙනවා. මේ වගේ අමුද්‍රව්‍ය ලොකු ධාරිතාවක් ලබා දිය හැකි කර්මාන්තකරුවන් තවත් සිටිනවා. තාක්ෂණික දැනුම තිබෙන ආයතන තිබෙනවා. අවශ්‍ය සම්පත් සහ අමුද්‍රව්‍ය තිබෙනවා. ඇත්තටම පොහොර ගෙන්වීමට එක ඩොලරයක් පිටරට යවන්න අවශ්‍ය නැහැ, මේ සියල්ල ජාලගත කර කාබනික පොහොර ටික හරියට හදා ගන්න පුළුවන් නම්.
අවශ්‍ය වන්නේ, කෘෂිකර්ම ඇමතිවරයා ගේ සහ තීන්දු තීරණ ගන්නා ස්ථානවල නිලධාරීන් ගේ සැබෑ ඕනෑකම පමණයි. සැබෑ වුවමනාවක් නැති නම් මේ කිසිවක් ඔවුන් කරන්නේ නැහැ. මේ සියලු සම්පත් තිබෙන රටේ, කාබනික පොහොර ටික උසස්ම ප්‍රමිතියට හදලා ගොවීන්ට දෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි.
අපේ පොහොරවල විශේෂත්වය තමයි, පස සරු කරන ක්ෂුද්‍ර ජීවීන් සදහා සුදුසු පසක් නිර්මාණය කරන එක. ඒ සාරවත් පෝෂණය ගහට උරා ගන්නට උත්තේජනයක් සපයන එක. යූරියා එක වටයකින් මහ පොළොවේ සියලු ක්ෂුද්‍ර ජීවීන් මැරී යනවා. පස නිසරු වනවා. කාබනික ගොවිතැනේ එකම රහස, ක්ෂුද්‍ර ජීවීන්. ඔවුන් තමයි, පසේ ජීවය රකින තිරසාර විසඳුම.
ගොවිතැනේ දි විතරක් නෙවෙයි ගෙවතු වගාවේදීත්, කුණප ජලය කියන්නේ හොඳම කාබනික පොහොරක්. කුණප ජලය කියන්නේ, මස් මාළු හෝදපු වතුර. ඉස්සර කාලේ හැම ගෙදරක ම වගේ මස්මාළු හෝදපු වතුර විසි කළේ පිළිකන්නට. ඒ කුස්සිය පිළිකන්නේ තිබෙන රම්පේ, කරපිංචා, තිබ්බටු, කොච්චි මිරිස් ඇතුළු ගහකොළ සරුසාරව හැදුණේ මේ කුණප ජලය නිසා. එයින් තමයි, ඒ මහ පොළොවේ ක්ෂුද්‍ර ජීවීන් බෝවීම සිදු වුණේ. ගෙවත්තට ඒ තරම් ගුණ පොහොරක් තවත් නැහැ. මේ වගේ මහ පොළොවේ සහ කාබනික වගාවේ රහස් තිබෙන පුස්කොළ පොතක් මට පැරැණි ගොවි මහතකුගෙන් ලැබුණා. මං ඒ අතීත කාබනික වගාවේ සියලු රහස් කැටි කොට ගත් කුඩා පොත් පිංචක් 'සොබාදහම' නමින් රචනා කළා. මේ විදියට, මට කරන්න පුළුවන් සෑම අතින්ම මම කාබනික වගාව මිනිසුන් අතරට ගෙන යන්නට වෙර වෑයම් දැරුවා.
ඔය විදියට සෑහෙන කාලයක් මම කාබනික ගොවිතැන සහ කාබනික පොහොර නිෂ්පාදනය එක්ක ඔට්ටු වුණා. දැන් මට වෙහෙසයි.
මම ආසා නිසා, මගේ පුතාලා 'අම්මා සතුටු දේ කරන්න...' කියමින් මේ කාබනික වගාවට වරින් වර මුදල් යට කරනවා. ඒත් මේ රට එයින් ප්‍රයෝජනයක් ගන්නේ නැති බව දැනෙකොට හරිම කණගාටුයි . ඇත්තටම ඒ දෙන්නා ඉතාම ගුණ යහපත්. මං වාසනාවන්තයි එහෙම දරුවෝ දෙන්නෙක් ලබන්න.
මගේ ඉඩම ආපසු ගත්තට පස්සේ, මට මහවැලියෙන් අක්කර 25 ක බදු ඉඩමක් ලැබුණා. මම ඒ ඉඩමේ කහවණු, සුවඳැල්, රත්ඇල්, කළු හීනටි සහ මඩතවාලු වැනි දේශීය වී වවනවා. මහන්සියෙන් මේ තරම් දේශීය වී හැදුවත් රජය කිසිදු වැඩපිළිවෙළක් හදා නැහැ, ඒවා ජනතාව අතරට ගෙනියන්න. අපි දේශීය වී වගා කරන්න මොන තරම් වෙහෙස මහන්සි වෙනවා ද. අලි එනවා. ගෙවල් බිඳිනවා. වී ටික බීලා යනවා. එහෙම බේරා ගත්තු වී ටික අදටත් මට අලෙවි කරගන්න බැරි වුණා. ඒ මහවැලි ඉඩමේ වැවක් හදලා, පොල් පැළ 450 ක් හිටවලා, දේශීය වී වගා කරලා, ට්‍රැක්ටර්, ජෙනරේටර්, සෝලා පද්ධති ඇතුළු හැම දේම අරන් දීර්ඝකාලීන ව්‍යාපෘතියක් විදියට මේ දේ කරන්න මම රුපියල් ලක්ෂ දෙසීයක් ආයෝජනය කළා. එහි නෑඹුල් ප්‍රතිඵලය වූ දේශීය වී තොගය අලෙවි කර ගත නොහැකි ව තවමත් මගේ ළඟ තිබෙනවා. ඉස්සර මට ඩියුටි ෆ්‍රී එකේ Gem and Jewellery සාප්පුවක් තිබුණා. ඒ සියලු මුදල් මම යට කළේ කාබනික පොහොර සහ කාබනික වගාව රට පුරා ප්‍රචලිත කර කරන්න.
රජය හොඳ ව්‍යාපෘති හඳුන්වලා දුන්නා ට ඒවා ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් මාෆියාවන් හිස ඔසවනවා. එවිට අපි වගේ සැබෑ වුවමනාව ඇති මිනිසුන් වෙහෙසට පත්වනවා. මම රජයටත් කෘෂිකර්ම අමාත්‍යවරයාටත් කියන්නේ, කරුණාකර මැදිහත් වෙලා මේ විනාශය වළක්වන්න! කාබනික කෘෂිකර්මාන්තය මහ පොළොවට සමතලා කරන්න ඉඩ තියන්න එපා! කිහිප දෙනෙක් අතට මුදල් ගියාට රටක්ම විනාශ වනවා නම්, අනේ! ඒ මුදල්වලින් ඇති ඔවුන්ට සෙතක් වේවි ද? අපිට ම වෙච්ච දේ බලන්න. අපේ ලක්ෂ 100 ක පොහොර තවම ගොවීන්ට බෙදා දෙන්නේ නැතිව හිර වෙලා. අදාළ නිලධාරීන් අපේ මුදල් දෙන්නෙත් නැහැ.
අපිට පොහොර ගේන්න කිව්වා. ඔවුන්ගේ සියලු නියෝග සහ නියාමනයන්ට යටත්ව අපි පොහොර ගෙනැවිත් දුන්නා. නිලධාරීන් ගොවීන්ට පොහොර ටික දීලා නැහැ. දැන් අපිට රිටර්න් ගන්නලු. ගොවීන්ට පොහොර බෙදීමේ බලතල සහ වගකීම තිබෙන්නේ ඔවුන්ට. ඔවුන්ගේ වැරැද්ද නිසා රුපියල් ලක්ෂ 100ක පාඩු විඳින්න වෙලා තියෙන්නේ අපිට. මේ පිළිබඳ අපි ගොවිජන සේවා කොමසාරිස්තුමාට ත් ලිව්වා. අපි වගේ අමාරුවෙන් රටට යමක් කරන කාබනික නිෂ්පාදකයින් මේ ආකාරයට විනාශ කරන්න එපා!
මට ඕනේ වෙලාවක මේ රටෙන් පිට වෙලා එංගලන්තේ හෝ ඔස්ට්‍රේලියාවේ සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙත් උපන් රටට ගෙවන්න ණයක් තිබෙනවා. මැරෙන්න කලින් ඉටු කළ යුතු ජාතික වගකීමක් තිබෙනවා. මම වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන්..."