
- නොහිතපු ගමනක අවසානයේ ඇවිදගෙන එන්න සිදු වුණා
- මාධ්‍ය සදාචාරයට පටහැනිව කිසිදෙයක් කරන්නේ නැහැ
චාගී වගීෂ විතාන කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්. කලාවට ඔපපාතිකයෙක් නොවුනු ඔහු හිරු නාළිකාවේ වැඩසටහන් හා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. හවුස් ෆුල් වැඩසටහනට බොහෝ දෙනෙකු විවේචනය කරනවා මාධ්‍යට පටහැණි නිර්මාණ කාර්යක් බව. ඒ වැඩසටහන අධ්‍යක්ෂණය කරන්නෙත් වගීෂ . ඒ නිසා ඔහු ගැන මේ විදිහට කතා කරන්න හිතුවා.
චාගී වගීෂ විතාන කියන නම මාධ්‍ය හමුවේ හුරුපුරුදු නමක් වුවත් බොහෝ දෙනෙක් ඔබව රූපයෙන් හඳුනන්නේ නැහැ ඒ නිසා වගීෂ මාධ්‍යකරණයට එන්නේ කොහොමද කියලා මුලින්ම මතක් කරමු..?
මගේ ගම මාතර. තෙලිජ්ජවිල විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරුවේ. ගණිත අංශයෙන් උසස් පෙළ කළා. ඒකට හේතුව මගේ අම්මට ඕන වුණා මාව ඉංජිනේරුවරයෙක් කරන්න . නමුත් මගේ යාළුවෝ කටුබැද්ද විශ්වවිද්‍යාලයට යද්දී මට යන්න අවශ්‍ය සාමාර්ථ තිබ්බේ නැහැ. මට දැණුනේ ඒ මොහොතේ මම බැද්දේ ගියා වගේ. මගේ තාත්තා වගේම අක්කලා දෙන්නා වැඩ කළේ ගුවන් විදුලි සංස්ථාවේ. මම තාත්තා එක්ක ගුවන් විදුලියේ හැම බිම් අගලකම ඇවිදලා තිබ්බා. උසස් පෙළ කරලා මම කොළඹ ඉන්න ලොකු අක්කා ළඟට ගියා. එයාගේ හස්බන්ඩ්ගේ අක්කගේ පුතා තාරක අධිකාරි මුණගැහුනා. ඔහු ලංකාවේ ඉන්න අතිදක්ෂ අංග රචන ශිල්පියෙක් වගේම නළුවෙක්. අපි දෙන්නටම නළු ආසාව තිබ්බා ඒ නිසා නාට්‍ය බලන්න ගියා වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා. වේදිකා පරිපාලනය ගැන අංග රචනා ගැන ඉගෙන ගන්න වැඩ කරන්න ලැබුණා. තාරක අයියා නිසා සිරස රූපවාහිනීයට යන්න අවස්ථාව ලැබුණා අංග රචනා ශිල්පියෙක් හැටියට. ඒ තමයි ආරම්භය. චිත්‍රපට වගේම ජනප්‍රිය ටෙලිනාට්‍ය අංග රචනා ශිල්පියෙක් හැටියට කටයුතු කළා. ඒත් දිගු ගමනක් නැහැ ඒ රැකියාවේ. ඒ නිසා වැඩසටහන් නිෂ්පාදනය ගැන හැදැරුවා. ඊට පස්සේ හිරු එකට විරාජ් වැලිවත්ත මහත්තයා මට ආරාධනා කළා. ඔහු වගේම තරංග වික්‍රමාධර මහත්තයා හයියක් වුණා මගේ ගමනට. හිරු එකේ අංග රචනා කරන අතරතුර තමයි අධ්‍යක්ෂණය පැත්තට විරාජ් අවස්ථාව අරන් දෙන්නෙ. ඔහු තමයි මගේ හීනය ඉටු කළේ.
මාධ්‍ය වපසරිය තුළ ජනප්‍රිය කොටස් බොහෝමයක් තිබියදී ඇයි මේ නාට්‍ය හා වැඩසටහන් අධ්‍යක්ෂණයට එන්නේ..?
මට නළු උණ ඉටු කර ගන්න බැරි වුණා. හිතට දැනෙන දෙයක් එක්ක මේ ගමන යන්න ඕන කියලා හිතලා තමයි වැඩසටහන් අධ්‍යක්ෂණයෙට යොමු වෙන්නේ. මම අධ්‍යක්ෂණය කළ ටෙලි සිනමා දෙක තුනක් සම්මාන සඳහාත් නිර්දේශ වෙලා තියෙනවෙ. මගේ හැඟීම් වලට ඉඩ දුන්නා කියලා හිතෙනවා.
පුංචි කාලේ එහෙම හීන මවාගත්ත කෙනෙක් ද..?
කොහෙත්ම නැහැ මොකද අපේ දෙමාපියන් අපිට හීන මවන්න හුරු කළේ දොස්තරවරු ඉංජිනේරුවරු වෙන්නනේ. ඒ හීන පස්සේ දිව්වේ. මම ක්‍රිකටර් කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බා. දක්ෂ ෆුඩ්බෝල් ප්ලේයර් කෙනෙක් ඒ කාලේ. නමුත් ඒ සේරම යටපත් වුණා. නොහිතපු ගමනක අවසානයේ ඇවිදගෙන එන්න සිදු වුණා. නමුත් ඒ මඟ සුන්දරයි හා සාර්ථක ගමනක් ආවා කියන්න පුළුවන්
ඔබ හිරු මාධ්‍ය නාළිකාවේ පොහොය නාට්‍ය අධ්‍යක්ෂණය කරනවා, දුක, සතුට කර්මය මේ දේවල් එක්ක නිර්මාණ කටයුත්තක් හිතට දැනෙන්න නිර්මාණය කරනවා කියන්නේ ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. කොහෙන්ද සිතුවිලි එන්නේ..?
පත්තරවල දකින දේවල් ෂෝෂල් මිඩියා යන දේවල් අත්දැකීම් තමයි මගේ නිර්මාණකරණයට මම භාවිතා කරන්නේ . ඇත්තටම කිව්වොත් මිනිසුන්ට නොතේරෙන නිර්මාණ කරලා වැඩක් නැහැ. දහම් කරුණු එක්ක හිතට වදින ඒ නිර්මාණ තුළින් තම තමන්ගේ ජීවිතවලට උකහාගත හැකි දේ සියුම් විදිහට ලබා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ . ඒ නිර්මාණ තුළින් පණිවිඩයක් දෙන්න ඕන. ඒ වගේම බස් එකේ යන එනකොට, දකින දේවල් කල්පනා කරමින් ඉන්නකොට හිතට එන සිතුවිලි ධම්මපදයත් එක්ක ගළපලා ගන්නවා. පොහොය නාට්‍ය කරන එක ඇත්තටම ලේසී නැහැ
ඔබ අධ්‍යක්ෂණය කරන ඉසුරු ලොකුහෙට්ටිගේ නිවේදනය කරන හවුස් ෆුල් වැඩසටහනට බොහෝ දෙනෙක් දොස් කියනවා, ඔබ ඒ ගැන මොකද හිතන්නේ …?
ඉසුරු කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නළුවෙක්. ඔහුව යොදාගෙන මේ වගේ වැඩසටහනක් කරන්න ඕන කියලා අපේ සභාපති රෙනෝ සිල්වා මහතා විල්සන් සිල්වා මහතා වගේම විරාජ් වැලිවත්ත, දම්මික කතාබහ කළා. ඒ අනූව තමයි හවුස් ෆුල් වැඩසටහන ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන්නේ. ඇත්ත දේවල් සුන්දර විදිහට ගෙන එනවා. ඩබල් මීනින් ගැන කියනවා කියලා විවේචනය කරනවා. නමුත් මෙහි සරලකම තේරුම් අරන් බැලුවොත් වරදක් පෙන්නේ නැහැ. හුදෙක් අපි විනෝදාස්වාදය උදෙසා කරන්නේ. අපි මාධ්‍ය සදාචාරයට පටහැණිව කිසිදෙයක් කරන්නේ නැහැ. බැණ බැණ බලන අය ගොඩක් එහි රසයත් විදින බව ප්‍රතිචාර වලින් තේරෙනවා.
ඒ වැඩසටහන ඉන්දිය වැඩසටහනක කොපියක්..?
අපි ඉන්දිය නාට්‍ය කොපි කරනවා කියන්න බැහැ. ආභාසය අරගෙන කරන එකේ වරදක් මම දකින්නේ නැහැ. ඇත්තටම මේක ඉන්දිය වැඩසටහන ක ආකෘතියක්. නමුත් අපේ රටට ගැළපෙන විදිහට එය රූපවාහිනී තිරය මතට ගෙන එනවා.
වගීෂගේ නිර්මාණකරණයට ඉල්ලුම වැඩිද, වෙනත් නාළිකාවලින් ඇරයුම් ලැබිලා නැද්ද ..?
මම කරන නිර්මාණ වලට ලැබෙන ප්‍රතිචාර එක්ක හරි සතුටක් විඳිනවා. ඒ නිර්මාණ කොයිතරම් දුරට ඔවුන්ගේ ජීවිතේ ට සමීපද කියලා දැනෙනවා. මම මේ ක්ෂේත්‍රයේ අංශූ මාත්‍රයක කොටස්කරුවෙක් විතරයි. දක්ෂ බොහෝ අය ඉන්නවා. නමුත් මාව අගයලා මට ආරාධනා ලැබිලා තියෙනවා වෙනත් ආයතන වලින්. ඒත් හිරු තරම් මට නිදහස තියෙන තැනක් ලැබිලා නැහැ.