නළුවෙක් නොවෙන කෙනෙක් මුණ ගැහෙනවා නම් මම කැමැතියි | Page 2 | සිළුමිණ

නළුවෙක් නොවෙන කෙනෙක් මුණ ගැහෙනවා නම් මම කැමැතියි

- මම ක්ෂේත්‍රයට ආවේ රංගනය හදාරලා නෙවෙයි
- වසර කිහිපයක් යනතුරු නිළියක් විදියටම ඉන්නයි හිතාගෙන ඉන්නේ

ධනංජය සිරිවර්ධනගේ කුලුඳුල් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය වන සිදාදියේ සමනලියෝ මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ජනාදරය දිනාගනිමින් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය කෙරෙනවා. එහි රේවතී නම් දෙමළ යුවතියගේ චරිතයට පණ පොවන්නී සජිනි රෝයි. රසඳුන අද කතා බහ ඇයත් සමඟය.

සිදාදියෙ සමනලියෝ නාට්‍යයේ රේවතීගෙ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

දිවිතුරා නාට්‍යයේ චරිතයට වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර රේවතීට ලැබෙනවා. 

ඒ කියන්නෙ ප්‍රේක්ෂකයො අචිනිට කැමති නැද්ද.?

මේක දමිළ යුවතියකගෙ චරිතයක් නිසා ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳගත්තා. අචිනි ටිකක් නපුරු චරිතයක්. හැබැයි රේවතී කියන්නෙ අහිංසක චරිතයක් නිසාත් එහෙම වෙන්න ඇති. ඒ වගේම දිවිතුරා නාට්‍යයට වඩා රංගනය ගැන දැන් මට අත්දැකීම් තියෙන නිසා රේවතීගෙ චරිතය සාර්ථකව කරන්න පුළුවන් වුණා. තාම මගේ පළවෙනි නාට්‍යය විකාශය වෙලත් නැහැ. ඒක බලනකොට මගෙ රංගනය අසාර්ථකයි කියලා ප්‍රේක්ෂකයො කියයිද දන්නෙ නැහැ. මොකද මම රංගනය හදාරල නෙවෙයිනෙ ක්ෂේත්‍රයට ආවෙ.

දෙමළ කතා කරන්න පුරුදු වුණේ කොහොමද .?

මං ජීවත් වෙන්නෙ කොටහේන ප්‍රදේශයේ. එහෙ සීයට අසූවක් විතරම ඉන්නෙ දෙමළ කතා කරන අය. ඒ නිසා පොඩි කාලේ ඉඳන් මට දමිළ භාෂාව කතා කරන්න පුළුවන්.

කොලිවුඩ් සිනමාවේ කැමතිම රංගන ශිල්පීන් කවුද.?

නයන්තාරා සහ ධනුෂ්ට තමයි කැමති. ඒ දෙන්නම ක්ෂේත්‍රයට ආපු විදිහ සහ දැන් ඉන්න විදිහ අතර ලොකු වෙනසක් සහ දියුණුවක් තියෙනවා. ඉතින් ඔවුන්ගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

ඔබ කලාවට එන්නෙ පාසලට සමු දුන්න ගමන් නේද .?

ඉස්කෝලේ කාලෙන් පස්සේ තමයි මං කලාවට එන්නේ. පුංචි කාලෙ ආසාවෙන් හිටියෙ ගුවන් සේවිකාවක් වෙන්න.

ඒ නිසා මම පාඨමාලාවක් හදාරලා ජොබ් එකක් කරමින් හිටියෙ. ඒ අතර රනිල් කුලසිංහ අයියා තමයි කිව්වේ එයාගෙ නාට්‍යයකට අලුත් මුහුණක් ඕනේ කියලා. ඒ නාට්‍යය තමයි 'භූමි'. එය තාම විකාශය වුණේ නැහැ. ඊට පස්සේ මම හිරු අවුරුදු කුමරිය තරගයට සහභාගි වුණා. නාට්‍යයේ රූපගත කිරීම් නිසා එතැනදී පළවෙනි වටේට විතරයි මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ. හැබැයි තරගයේ මගෙ ඉදිරිපත් කිරීමක වීඩියෝ එකක් වයිරල් වුණා. එකෙන් පස්සෙ තමයි දිවිතුරා නාට්‍යයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ. භූමි නාට්‍යයේ කලා අධ්‍යක්ෂක මාලින්ද මධුසංක අයියා හින්දා තමයි මට සිල්ලර සමනල්ලු නාට්‍ය රඟපාන්න ආරාධනා ලැබුණේ.

නිළියකට රූපය කොච්චර වැදගත්ද .?

රූපයේ ලස්සන නිසා තමයි නිළියකට ගොඩක් චරිත සඳහා අවස්ථාව ලැබෙන්නෙ. ඒ නිසා රූපය සුන්දරව පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕනේ.

ඒ වෙනුවෙන් ඔයා මොනාද කරන්නේ.?

විශේෂයෙන් මම ගොඩක් වතුර බොන එක තමයි ලස්සන වෙන්න කරන්නෙ.

රංගන ශිල්පිනියක් වෙන්න තව මොනවද ඕන.?

ආත්මශක්තිය. තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි කැමරාවට බය වෙන්න හොඳ නෑ. අපි වටේ කොච්චර අය හිටියත් තමන්ගෙ වැඩේ හරියට කරන්න ඕන.

අනෙකුත් ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද.?

පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. මම අලුත් නිසා මට වැරදෙනවා වැඩියි. ඒ වගේ වෙලාවට එයාල මට කියලා දෙනවා. යශෝධා විමලධර්ම අක්කා, තරින්දි අක්ක, මනෝජා ඇතුළු ශිල්පීන් හැමෝම මට සහයෝගය දෙනවා. ඒ වගේම රේවතී චරිතයට මං හරහා පණ දුන්න ධනංජය අයියාවත් මතක් කරන්න ඕනේ.

දිගටම රඟපාන්නද බලාපොරොත්තුව.?

වසර කිහිපයක් යනතුරු මම නිළියක් විදියටම ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉදිරියේදි මට රඟපාන්න නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ කීපයකටත් දායක වුණා.

ඔබ මේ වෙනකොට පෙම්වතියක් ද.?

යෝජනා නම් ගොඩක් එනවා. හැබැයි මම දැනට ඒව බාරගන්න තත්ත්වයක නැහැ.

ආදරේ කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොන විදියෙ කෙනෙක්ටද.?

මගෙ වැඩ කටයුතුවලට සහයෝගය දෙන කෙනෙක්ට තමයි මම කැමති. බොහෝ දෙනෙක් රංගන ක්ෂේත්‍රයට කැමති නැහැ. නළුවෙක් නොවන, හැබැයි කලාවට ආදරය කරන සහ මාව තේරුම් ගන්න කෙනෙක් මුණ ගැහෙනවා නම් මම කැමතියි.

Comments