ගෞතම් ගම්භීර් දෝනිව - කෝලිව පතුරු ගසයි | සිළුමිණ

ගෞතම් ගම්භීර් දෝනිව - කෝලිව පතුරු ගසයි

කාලයක් එකම කණ්ඩායමක එකට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු දේශපාලනඥයකු වෙද්දී අනිත් ක්‍රීඩකයා තවමත් ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් ක්‍රිකට් පිටියේ වැජඹෙමින් සිටි. දේශපාලනඥයා ගෞතම් ගම්භීර්ය. ක්‍රීඩකයා මහේන්ද්‍ර සිං දෝනි ය.

ඊයේ පෙරේදා රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් එංගලන්තයට ගොස් අයිසීසී ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වූ ඉන්දීය පිල අරබයා එරට ක්‍රීඩාලෝලීන්ගේ අප්‍රසාදය එල්ල වෙද්දී ගම්භීර් ද සිය ‘ඇරියස් කවර්‘ කිරීමට පටන්ගෙන තිබේ. ඔහු අවි අමෝරා ඇත්තේ එසේ මෙසේ ක්‍රීඩකයකුට නොව කලක් ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔසවා තැබූ හිටපු නායක දෝනිටය. පසුගියදා අයිපීඑල් තරගාවලියේදී චෙන්නායි පිල කුසලානය කරා මෙහෙය වූ දෝනිගේ නායකත්වය ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ දැමීමට සමත් වී තිබිණි.

ඉන්දියාවෙන් බිහි වූ මේ විශිෂ්ට නායකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර ගණනාවක් ගත වුවද ඔහුගේ ජනප්‍රියත්වයේ තරමටම විවේචන ද එල්ල වෙමින් තිබේ. ඒවා බොහෝමයක් එල්ල කරන්නේ ඔහු සමඟ එක්ව ක්‍රීඩා කළ ක්‍රීඩකයන් වීම කියා පාන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද එක හා සමානව මානව වර්ගයා අතර වරින් වර ඉස්මතු වන විවිධ කුඩුකේඩුකම් ඉවක් බවක් නැති බවය. 

අයිසීසී ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව පරාජයට පත්වීමට හේතු වී ඇත්තේ පුද්ගලවාදය බව කියමින් ගම්භීර් පසුගියදා කළ ප්‍රකාශය මේ වන විට ඉන්දියාවේ පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත සෙසු රටවලද අවධානයට ලක් වූවකි. ඔහු කියන්නේ මේ පුද්ගලවාදය ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගිල ගෙන ඇති බවය. ඊට නිදසුන් ලෙස ඔහු ගෙනහැර දක්වන්නේ 2007 විස්සයි20 ලෝක කුසලානය සහ 2011 එක්දින ලෝක කුසලානය දෝනිගේ නායකත්වයෙන් ඉන්දියාව ජයග්‍රහණය කළ ද, එම තරගාවලි ද්විත්වයේහිම දස්කම් පෑ යුව්රාජ් සිං ට කිසිදු ගෞරවයක් හිමි නොවූ බවය. පසුගියදා ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ගම්භීර් ප්‍රකාශ කළේ මේ තරගාවලි ද්විත්වයෙදිම ඉන්දියාව අවසන් මහා තරගයට රැගෙන යෑමට යුව්රාජ් අපරිමිත සේවයක් ඉටු කළ බවය. එහෙත් සැබෑව නම් 2007 විස්සයි විස්ස අවසන් මහා තරගයේදී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙස ලකුණු 75ක් රැස් කරමින් ඉනිම ගොඩනඟනු ලැබුවේ මේ කියන ගම්භීර් වීමය. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති 2011 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ද ගම්භීර් තීරණාත්මක ලකුණු 97ක් රැස් කිරීමට සමත් විය. එහෙත් ඉන්දියාව තරගය ජයගත්තේ දෝනි නොදැවී රැස් කළ ලකුණු 91කට පින්සිදු වන්නටය. ගම්භීර් ඉනිමේ ආරම්භක පිතිකරුවාය. දෝනි අග පෙළින් පිතිහරඹයට පැමිණෙන අතර, ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රචලිතව ඇත්තේ සාර්ථකම තරග අවසන් කරන්නා හැටියටය. පෙනෙන හැටියට ගම්භීර්ට ඉතිහාසය අමතක වී ගොසිනි. යුව්රාජ් සිං ට 2007 විස්සයි20 ලෝක කුසලානයේ තරගාවලියේ විරයා වීමට කොහෙත්ම සුදුසුකම් නොතිබිණි. එවර තරගාවලියේ වීරයා බවට පත්වූයේ අනුශූරතාව දිනූ පාකිස්තාන පිලේ ශහීඩ් අෆ්රිඩිය. එහෙත් 2011 එක්දින ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා වූයේ යුව්රාජ් සිං ය. සාධාරණය එලෙස ඉටුවෙද්දී ගම්භීර්ගේ අවශ්‍යතාව කුමක් දැයි පැහැදිලි බව ඉන්දීය ක්‍රිකට් විචාරකයෝ කියති.

දෝනි පැත්ත පළාතේවත් නැති අයිසීසී ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරගයේ ඉන්දියාවේ පරාජය පිට දමා ගම්භීර් සිය හිටපු නායකයා වූ දෝනි පතුරු ගැසීමට පටන් ගෙන ඇත්තේ අයිපීඑල් තරගාවලියෙන් පසු දෝනිගේ ජනප්‍රියත්වය ඉහළ යෑම නිසා නොවේ දැයි ගම්භීර්ගේ ප්‍රකාශය සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා අතර සටහන් වන ඉන්දීය ක්‍රිකට්ලෝලීන්ගේ ප්‍රකාශවලින් කියැවේ.

ඉන් නොනැවතී ඔහු 1983දී ඉන්දියාව පළමුවරට එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ ගෞරවය එවකට නායකත්වය දැරූ කපිල් දේව්ට හිමිවූයේ පුද්ගලවාදය නිසා බවත් ප්‍රකාශ කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ලන්ඩන් නුවර පැවැති එවර අවසන් මහා තරගයේදී වීරයා බවට පත්වූ මොහින්දර් අමරනාත් ගැන කිසිවකු කතා නොකරන බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ කාරණා ද්විත්වයෙන්ම ඔහු අභියෝග කර ඇත්තේ ඉන්දියාවේ ක්‍රිකට් ගෞරවය ගොඩනැඟූ විශිෂ්ට නායකයන් දෙපළක් වන කපිල් දේව්ට සහ දෝනිටය. පුද්ගලවාදය කෙනකුට ඇති කළ හැකි හෝ පුම්බා තැබිය හැකි කාරණාවක් නොවන බව ගම්භීර් නොදැන සිටීම විමතියට කරුණකි. ඒවා ඇති වන්නේ පුද්ගලයකු සතු ක්‍රීඩා හා මානුෂික ගුණාංග ඒකරාශී වීමෙනි. කපිල් දේව්ට මෙන්ම දෝනිටත් ඒවා අඩු නැතිව පිහිටා තිබිණි. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියත් මේ දෙදෙනාම ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් අතර තවමත් ආදරයට පාත්‍රවී සිටින්නේ එබැවිනි. මේ ගුණාංග ගම්භීර් සතුව තිබේ දැයි යන්න ගැටලුවකි. මන්ද ක්‍රීඩාවේ නිරතව සිටි කාලයේදී මෙන්ම වර්තමානයේදීත් ගම්භීර් යනු කුකුල් කේන්තිකාරයකු වීමය. දබරයට බර පුද්ගලයකු වීමය. මෙවර අයිපීඑල් තරගාවලියේදී ඔහු විරාට් කෝලි සමඟ ගැටුමක් ඇතිකර ගත්තේ ද එබැවිනි.

එක් අතකට එය පුදුම විය යුතු කාරණාවක් ද නොවේ. මන්ද ගම්භීර් යනු දේශපාලනඥයෙකි. හෙතෙම ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. නවදිල්ලි නුවරින් පාර්ලිමේන්තුවට පිවිස 2019 සිට ඔහු ලෝක් සභාවේ මන්ත්‍රීවරයෙකි. දේශපාලකයන්ට ඇත්තේ වෙනම න්‍යාය පත්‍රයක් බව කවුරුත් දනිති.

Comments