ජ්‍යොතිෂය සමඟ සබැඳි ගුප්ත විද්‍යාව | Page 2 | සිළුමිණ

ජ්‍යොතිෂය සමඟ සබැඳි ගුප්ත විද්‍යාව

අද ඇතැමුන් මුදල් උපයන මාර්ගයන් බවට පත්කරගෙන

ශාස්ත්‍රය හරියටම දන්නා අය අද අඩුයි

 

 

ඕනෑම රටක කිසියම් හෝ ආගමක් දර්ශනයක් පවතී. ආගම කිව්වේ අාධ්‍යාත්මික ගමන්මඟ විය හැකිය. අපට එවැනි ආගමක් ඇතුළත දර්ශනයක් තුළ කිසියම් හෝ පැවැත්මක් තිබෙනවා. විශේෂයෙන් මිනිසුන් සත්ත්වයින්ගෙන් වෙන්වන්න එක් කරුණක් තමයි මේක. යම් නීතියක් සර්ව සම්පූර්ණව සාධාරණව පැවැත්විය යුතුමය. මිනිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි කරයි. පවතින නීති මාලාව සතාට සිවුපාවට නැහැ. මනුෂ්‍යයාට එහෙම බැරිය. අනුන්ට කරදරයක් වන දේවල් කිරීමට ඉඩ නැත. එසේ කළහොත් නීතිගත දඬුවමක් පවතී. එය සර්ව සාධාරණය.

ඒක ඒ ආකාරයෙන් නොපවතින තැන මිනිසාත් සතුන් හා සමාන වේ. කිසියම් හේතුවක් නිසා කළ වරදකට දඬුවමක් නොලැබූ අවස්ථා පවතීද? එම අවස්ථාවට අපි කුමක් කළ යුතුද? රටේ දැවෙන ප්‍රශ්නයක් බව ඔබටද වැටහෙනවා ඇත.

ගුප්ත විද්‍යාවේ 'ගුරුකම්' ආරම්භ වන්නේ ඒ නිසාම කිව්වොත් ඔබ එකඟද? විවෘතව දඬුවම් ලබා දීමට නොහැකි වන සෑම අවස්ථාවකම ගුප්ත විද්‍යාවේ ගුරුකම් කිරීමෙන් දඬුවම් ලබා දිය හැකි බව පුරාණයේ සිට පැවතිණි. බලය නිලය නිසා අසාධාරණය පවතින හැම තැනකදීම මිනිසා ගුරුකමින් ජය ගත්තා. වස්කවි කීමෙන්, පොල් ගැසීමෙන්, ගම්මිරිස් ඇඹරීමෙන් සහ ගුරුකම් කිරීමෙන් ජය ගත හැකි වන්නේ අසාධාරණයක් සිදු වූ අවස්ථාවකදී පමණක් බව දැනගත යුතුමය.

විශේෂයෙන් ගුරුකම් කිරීම හේතු සහගත සාධාරණ ක්‍රියාවක් බව සඳහන් කළ යුතුමය. එනම්, විශ්වාසය මත නිවසක් කුලියට ගෙන පදිංචි වී මාස කීපයකට පසු නිවසේ කුලියද දීම ප්‍රතික්ෂේප කර නිවසට අලාභහානි කරන අවස්ථාවලදී ඒ කුලී හිමියා එම නිවසින් පන්නා දැමීමට ගුරුකමක් කරනවා මිස නඩු කීමක් සිදු වුවහොත් කෙතරම් ආසාධාරණ ක්‍රියාවක්ද? මෙම අවස්ථාවට එම ඉඩම පාළු කිරීමේ ගුරුකම කිරීම අසාධාරණ කරුණක් නොවන බව මගේ හැඟීමයි.

ගුරුකම් කිරීම මන්ත්‍ර උපයෝගි කරගෙනම ගුරුකමට සාපේක්ෂ දිෂ්ටි මන්ත්‍ර මඟින්ම ගුප්තව කරන ක්‍රියාවකි. මෙය හුදෙක් පාරම්පරික ක්‍රියාවකි. නමුත් කල් යාමේදී නොයෙක් දේවාල පවත්වා දෙවියන් මඟින් ගුරුකම් කරනවා යැයි හඟවා ඔවුන් මානසිකව වට්ටවා මූදල් ගැරීම වත්මනෙහි රටේ බහුලව ඇති ක්‍රියාවන්ය. කිසිම දෙවියකුට මනුෂ්‍යයාට දඬුවම් ලබා දිය නොහැකි බවත් මනුෂ්‍යයා බලවත් බවත් බුදු දහමේ ගැඹුරු ධර්මයේ සඳහන් වේ.

නමුත් යක්ෂයින් - ප්‍රේතයින් ලවා මනුෂ්‍යයාට වැඩ කරගත හැකි බව තොටගමුවේ රාහුල, කොණ්ඩදෙණියේ පියරතන හා බත්තරමුල්ලේ ජීවන චරිතවලින් මනාව පැහැදිලි වෙනවා.

එම ගුරුකම් අදත් පවතින බව වගකීමෙන් සඳහන් කරනු කැමැත්තෙමි. ගුරුකම් කරන්නේ එක එක බලවේග උපයෝගි කරගෙනය. එනම් ඒවා නියමිත වූ පරිදිම කළ යුතුය.

ගැහැනු ළමයෙකුට බලාපොරොත්තුවක් දී පසුව සාධාරණ හේතුවක් නොමැතිව ඇය හැර දමා යන අවස්ථාවක් වුවහොත් ගුරුකමකින් මිස වෙන කුමන පියවරකින් සාධාරණය ඉටු කරගත නොහැකි බව විශේෂයෙන් කිව යුතු නොවේ. අනිත් පාර්ශ්වයද එසේමය. එහෙත් ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි ඒවා එසේ කළ නොහැකි.

ඒවා වශී ගුරුකම් නොවන බැවිනි. ඒවා නම් කළ යුත්තේ වශී බන්ධන ලෙසය. නාම වශී, රූප වශී ඔය ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි සිදු කළ නොහැකි බවද සඳහන් කරනු කැමැත්තෙමි. මේවා සිදු කරන්නේ ඇතැමුන්ට මුදල් හරිහම්බ කර ගැනීමට පමණක් බවද වගකීමෙන් යුතුව සඳහන් කරමි.

මේවා කොහොම කළත් ගුරුකම්වල මන්ත්‍ර නීතිය, ක්‍රමය ඔය එක් අයෙක්වත් දන්නේ නැති බව හොඳට පෙනෙනවා. මන්ත්‍ර ගුරුකම්වලත් තිබෙනවා යහපත් ගුරුකම්, අයහපත් ගුරුකම්. දෙවියන්ට මන්ත්‍ර නැහැ. මන්ත්‍ර තිබෙන්නේ ප්‍රේතයාට, භූතයාට, නැත්නම් යක්ෂ වැනි දිෂ්ටිවලට විතරයි. කවදාවත් යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, මනුෂ්‍යයා අබිබවා යන්ට බැහැ. දෙවියන්ටත් බැහැ. මනුෂ්‍යයා ප්‍රධානයි. මනුෂ්‍යයාට බුදුවන්න වුණත් පුළුවන්. එතරම් බලයක් තිබෙන මනුෂ්‍යයා දෙවියන් යදිනවා. ඉල්ලනවා. යක්ෂයා හැම විටකම වැඩ කරන්නෙ වෙසමුනි රජ්ජුරුවන්ගෙ අණට. ප්‍රේතයා වැඩ කරන්න ඕනෑ මහරහත් සැරියුත් හාමුදුරුවන්ගෙ අණට යටත්ව. කිසිම ප්‍රේත දිෂ්ටියක් යක්ෂ දිෂ්ටියක් විදුලි ආලෝක ඇති එළිමහන්, දේව රූප තිබෙන තැනකට එන්නෙ නැහැ. යකුන් දෙවියෝ දේවත්වයෙන් සලකනවා. ඒ අයට නියමිත පූජාව තබා දිෂ්ටි කර ජප මන්ත්‍රයෙන් කිව්වාම කරනවා. ඔය යක්ෂ ප්‍රේත බලවේග මස්, කරවල, බිත්තර බදින සුවඳට තමයි එන්නෙ. දෙවියන් ඉන්නෙ මනුෂ්‍යයාට පිහිට වන්නයි. ඒ අයට ඕන පින් අනුමෝදන් කරන එක.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මීපේ ගණිතගේ  රන්ජිත් පී. විද්‍යාරත්න

Comments