කේන්දරේ හතර වැන්නාධිපතියා අසුබ ග්‍රහයන්ගේ නැකතක නම් ගෙදර දොර ඇතිවන දෝෂ | සිළුමිණ

කේන්දරේ හතර වැන්නාධිපතියා අසුබ ග්‍රහයන්ගේ නැකතක නම් ගෙදර දොර ඇතිවන දෝෂ

පවුල්වල අඬදබර දුක් කම්කටොලුදූ දරු ප්‍රශ්න ඇත්නම් කේන්දරය  පරීක්ෂා කරගත යුතුයි

නි‍ෙවසේ ගැටලුවලට අමනුෂ්‍ය දෝෂත්  එක් හේතුවක්

 

වර්තමානයේ හැටියට කුඩා නි‍ෙවසක් හදා ගැනීමට වුවද විශාල වියදමක් දරන්නට සිදු වේ. එසේ සාදාගත් නි‍ෙවසක සතුටින් සාමදානයෙන් සන්තෝසයෙන් ජීවත් වන්නට භාග්‍ය ලැබෙන්නේ ඉතා සුළු පිරිසකටය.

බොහෝ පවුල්වල අඬදබර ආරවුල් අඹුසැමි භේද දරුවන් අකීකරු වීම වැනි ප්‍රශ්න ඇති කරන්නේ එම නිවෙස්වල සහ භූමියේ පවතින බහිරව දෝෂ, අමනුෂ්‍ය දෝෂ සහ ප්‍රේත දෝෂ වැනි දෝෂ නිසාවෙනි. වාස්තු දෝෂ වැනි ඇසට පෙනෙන දෝෂවලට යම් යම් පිළියම් කර ඒවා ඉවත් කර ගැනීමෙන් සහනයක් සලසා ගත හැකිය. එහෙත් ඇසට නොපෙනෙන දෝෂ ඇති වන බව ඒ ඒ අයගේ ජන්ම පත්‍රයන් පරීක්ෂා කර ගැනීමෙන් හඳුනාගත හැකිය. යම් අයෙකු උපදින විට ඒ අවස්ථාවන්හි උදාවන ග්‍රහ වස්තූන්ගේ කිරණ සුබදායක වුවහොත් එවැනි දෝෂ ඇති නොවන බවක් පෙනේ.

එම ග්‍රහ ශක්තීන් දුබල අසුබදායක ලෙස එම රශ්මීන් පැවතුණහොත් එවැනි දෝෂ ඇති වන බව ජ්‍යොතිෂ නියමයයි. විශේෂයෙන් ජන්ම පත්‍රය, දේපොළ, නිවාස, ඉඩකඩම් ආදී දේපළ ගැන කීමේදී සිවුවැන්නාධිපතිගේ තත්ත්වයන් පරීක්ෂා කිරීමේදී එවැනි තත්ත්වයක් ඇති වන හෝ නොවන බව හඳුනාගත හැකිය. කෙනෙකුගේ හතර වැන්නාධිපතියා නීචව, සතුරුව කුජ, රාහු, ශනි යන ග්‍රහයින් සංයෝගව සිවුවැන්නේ සිටීම මෙන්ම ඔවුන් නීච සතුරු ග්‍රහයන්ට පෙනේ නම් එවැනි දෝෂ ඇති වන බව පෙනේ. විශේෂයෙන් එවැනි ග්‍රහයකුගේ මහ දශාවන් අන්තර් දශාවන් විදශාවන් හෝ ගෝචර ගමනින් 6, 8, 12 වැනි ස්ථානයන්හි එම ග්‍රහයන් ගමන් කරන විට එවැනි දෝෂ ක්‍රියාත්මක වන බව ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී ලැබූ අත්දැකිම්ය.

විශේෂයෙන් රාහු සහ කේතු යන ග්‍රහයින් 4, 8, 12 යන තැන්හි ගමන් කරන කාල සීමාවන් තුළදී වුවත් මෙම තත්ත්වයන් දක්නට ලැබේ. ජන්ම පත්‍ර සියුම්ව පරීක්ෂා කිරීමේදී හතර වැන්නාධිපති අසුබ ග්‍රහයින්ගේ නැකැත්වලත් (4) වැනි භාවය ද අසුබ නැකැත්වල ගමන් කර ඇත්නම් එවැනි දෝෂ ඇති වීමට පුළුවන. බලයෙන් හීන අඩ සඳ ද මෙම ග්‍රහයන් සමඟ සිටීමෙන් එම තත්ත්වයන් උග්‍ර වන බවද පෙනේ.

මේ නිසා ඔබගේ ජන්ම පත්‍රයන් ගැඹුරින් අධ්‍යයනය කර ජ්‍යොතිෂ සහ වාස්තු රීතින්ට එකඟව තම නිවාස සාදා ගත යුතු අතර, එවැනි නරක කාලවලදී තම ආගමානුකූලව කටයුතු කිරීමෙන් ගුප්ත විද්‍යා කටයුතු කරන ඇදුරන්ගේ සහායෙන් එවැනි කටයුතු මඟ හරවා ගැනීමෙන් ශාන්තිය උදා කර ගත හැකි වේ.

ජ්‍යොතිෂවේදී

නන්දසේන වීරසිංහ

Comments