කරදර දුක්කම්කටොලු අඩු නැතිව දෙන සෙනසුරු ඒරාෂ්ටකය | සිළුමිණ

කරදර දුක්කම්කටොලු අඩු නැතිව දෙන සෙනසුරු ඒරාෂ්ටකය

ලග්න අෂ්ටම  ජන්ම අෂ්ටම ඒරාෂ්ටක වසර 4ක් අවුරුදු 2 1/2 දක්වා සහ 7 1/2 දක්වා පවතියි

 

සෞර ග්‍රහ මණ්ඩලයේ රාජ පුත්‍ර ලෙස සහ ග්‍රහ මණ්ඩලයේ සේවක ලෙසද හඳුන්වන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා, පිළිබඳව සෑම කෙනෙක්ම වාගේ ඇස් කන් යොමා මහත් බියකින් තැති ගැන්මකින් පසු වන්නේ සෙනසුරු සංක්‍රාන්තිය ලෞකිකව අනිෂ්ට ගති පෙන්වන බැවිනි.

‘ඒරාෂ්ටකය‘ යන්නෙන් අදහස් වන්නේ සඳුගෙන් 8 වැන්න යන්නයි. ඒරා + අෂ්ටක යන වචන දෙක සන්ධි වීමෙන් ඒරාෂ්ටකය යන වචනය සැකසී ඇත. ඒරා යනු සඳුට කියන තවත් නමකි. සෙනසුරු ඒරාෂ්ටකය කොටස් 04කි.

1) 12 වැන්න ලග්නය හා 2 වැන්නේ සෙනසුරු ගමන් කරන අවුරුදු 7 1/2ක කාලය ලග්න ඒරාෂ්ටකය ලෙස හඳුන්වයි. ශනි එක් රාශියක වසර 2 1/2 ක කාලයක් ගත කරන අතර වක්‍ර, අස්ත වීම් අනුව මේ කාලයේ වැඩි වීමක් ද ඇති වන අවස්ථා පවතී.

2) සෙනසුරු 8 වැන්නේ ගමන් කරන අවුරුදු 2 1/2 කාලය අෂ්ටම ඒරාෂ්ටකය නම් වේ.

3) උපතින් සඳු සිටින තැනින් 12 වැන්න සඳු පිහිටි ස්ථානය හා සඳුගෙන් 2 වැන්නේ ගමන් කරන අවුරුදු 7 1/2 ක කාලය ජන්ම ඒරාෂ්ටකය වේ.

4) උපතේදී සඳු සිටින 8 වැන්නේ ශනි ගමන් කරන අවුරුදු 2 1/2 ක කාලය ජන්ම අෂ්ටමක ඒරාෂ්ටකය වේ.

ලග්න ඒරාෂ්ටකය

සෙනසුරු ග්‍රහයා, කේන්ද්‍රයේ 12 වැන්න ලග්නය හා දෙවැන්නේ ගත කරන වර්ෂ 7 1/2 ක කාලය ලග්න ඒරාෂ්ටකයයි. මෙය බොහෝ විට මාරක අපල ගෙන නොදෙතත් බොහෝ දුක්, කරදර පීඩා ඇති කරන කාලයකි. සෙනසුරු 12 වැන්නේ ගත කරන කාලය අධික වියදම් ඇති කරයි. උන්හිටි තැන් නැති කරයි. ලෙඩ දුක් වැලඳේ. රෝහල් ගත කෙරේ. හිරේ විලංගුවේ වැටේන වේලාවල් ද ඇත.

ඊළඟට සෙනසුරු ලග්නයට පිවිස තවදුරටත් ඒරාෂ්ටකය ඉදිරියට ගෙන යයි. ලග්නයේ සිටින වර්ෂ 2 1/2 ක කාලයේ රෝග මඟින් තමාට මෙන්ම තම බිරියට හා දරුවන්ටද අපල ඇති කරයි. ජීවිතයේ විවිධ බාධක ඇති කරයි. නින්දා අපහාස විඳීමට සිදුවේ. ලග්නයේ අවුරුදු 2 1/2 ක් ගත කරන සෙනසුරු ඊළඟට 2 වැන්නට ගොස් එහිදි අවුරුදු 2 1/2 ක් ගත කරයි.

ලග්න අෂ්ටම ඒරාෂ්ටකය

සෙනසුරු 8 වැන්නට පැමිණීම අෂ්ටම ඒරාෂ්ටකය වේ. මෙය ජන්මියාට මාරක පවා ඇති කරන දරුණු කාලයකි. හදිසි අනතුරක් සිදුවීමේ අවදානමක් ඇත. අපලය බරපතළය. බිරිය හෝ සැමියා තමා අතහැර යාමට ඉඩ ඇත. ජීවිතය එකම අවුල් ජාලාවක් බවට පත්වේ. අෂ්ටම ඒරාෂ්ටක කාලයේ අතේ හෝ පාදවල අස්ථි බිඳීම්, හදිසි අනතුරු, ශාරීරික තුවාල, කල් පවතින රෝග, මානසික ආබාධ, අධ්‍යාපනය අඩාළ වීම, විභාග අසමත් වීම, රැකියා බාධක ඇති වීම, ස්ථාන මාරු සිදුවීම, ගේදොර කරදර අඩදබර, ආදායම් පහත වැටීම්, නරක අයගේ ආශ්‍රය වැනිදෑ සිදු වීමට හේතුයි.

ජන්ම ඒරාෂ්ටකය

ජන්ම පත්‍රයේ සඳු සිටින රාශියට පෙර රාශිය, සඳු සිටින රාශිය සහ සඳු සිටින රාශියට පසු රාශිය හරහා ශනි ගමන් කරන වසර 7 1/2 ක කාලය ජන්ම ඒරාෂ්ටකය ලෙස හැඳින්විය හැකියි. ඒරාෂ්ටක අපල ලැබු විට වම් පාදය හෝ වම් අත බිඳීම, ගේදොර ඉඩකඩම් අහිමි වීම, නින්දා අපහාස ලැබීම්, අපවිත්‍ර ආහාර ලැබීම්, ආදායම් මාර්ග අවහිර වීම්, නුසුදුසු ප්‍රදේශවල වාසය කිරීමට සිදුවීම, දෙමාපියන්ට, භාර්යාවට දරුවන්ට පවා එපා වීම්, ඉතාම හිතවත් මිත්‍රයා වුවද සැක සහිතව ක්‍රියා කිරීම්, අහේතුක අන් අයගේ රැවුම් ගෙරවුම්වලට ලක්වීම වැනි තත්ත්ව ඇති වීමේ ඉඩකඩ බහුලය.

ජන්ම අෂ්ටමක ඒරාෂ්ටකය

උපතේදී සඳු සිටින තැනින් අට වැන්නට ශනිගේ පැමිණීමෙන් උදාවන ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය ලග්න අෂ්ටමක ඒරාෂ්ටකය මෙන් ජන්මියාට තදබල මාරකයක් වන්නේ නැත. එහෙත් ජන්මියා නොමරා මරයි. බොහෝ කරදර පීඩා ඇති කර ජන්මියා මානසික තත්ත්වයෙන් පහතට ඇද දමයි. ජන්මියාට ගමේ සිටීමට ඉඩ නොදෙයි. පිට පළාත්වල ඇවිද්දවයි. මෙම කාලයේ විදේශගත වීමේ අවස්ථාව සෑදේ. එහෙත් විදේශයකදී මරණය, හිරේ වැටීම හෝ විදේශගතව අනේකවිද දුක් විඳ ඇඳි වත පමණක් ඇතිව පැමිණීමේ තත්ත්ව පෙන්වයි. නැතහොත් සහකරුගේ හෝ සහකාරියගෙන් තාවකාලිකව හෝ වෙන් වීමට සිදුවේ.

ඉහත ඒරාෂ්ටක තත්ත්වයන්ට අමතරව ශනි උපතේදී නීචව සතුරුව දුර්වලව සිටීම රවි කුජ රාහු වැනි පාප ග්‍රහයකු සමඟ සංයෝග වීම ශනිගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් ජන්මියාට අපල ගෙන දෙයි. එමෙන්ම සඳුගේ මහ දශා කාලයේ සෙනසුරු ගෝචරව 8 ගමන් කිරීම රවි මහ දශාවේ ශනි 10 ගමන් කිරීම කුජ මහ දශාවේ ශනි 7 ගමන් කරන්නේනම් බරපතළ අපල උදා කරයි. එසේම ශනි මහ දශාවේ සිකුරු අතුරු දශාව, සිකුරු මහ දශාවේ ශනි අතුරු දශාවද ප්‍රවේශම් විය යුතු වකවානුවකි.

අපල දුරු කරලීම

ලග්නය ලග්නයෙන් 8 වැන්න සඳු සිටින රාශිය සඳුගෙන් 8 වැන්න යන රාශි ශනි හිතකර වන්නේනම් හා ශනි උච්චව ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව සිටීමෙන් ඒරාෂ්ටක අපල ගෙන නොදෙන තරම් වේ. ජන්මියා නොදැනුවත්වම අපල කාලය ගෙවී යනු ඇත.

බෝධි පූජා පැවැත්වීමෙන් මෙන්ම තම ආගමට අනුව කටයුතු කිරීමෙන්ද අපල අඩු කර ගත හැකි අතර ශනි මෘතුංජය මහා මෘතුංජය නව ග්‍රහ මඟින් මෘතුංජය වැනි යන්ත්‍ර පැලඳවීම තුළින් ඒරාෂ්ටක අපල තත්ත්ව අඩුවේ. එමෙන්ම අසරණ අයට විශේෂයෙන් පාදයක් ආබාධිතයකුට සෙනසුරාදා දිනවල දහවල් කැකුළු බත්, එළවළු වෑයංජන සමඟ දීමෙන් හා සෙනසුරාදා දිනවල කපුටන්ට එළඟිතෙල් මිශ්‍ර කිරිබත් දීමෙන්ද අපල උපද්‍රව සමනය කර ගත හැකිය. තවද කාක නිල් මැණිකක් සහිත මුදුවක් පැලඳීමෙන්ද නුග ගසට ආවතේව කිරීම හා ස්පර්ශ කිරීමෙන් අපල දුරු කර ගැනීමට කදිම උපාය මාර්ගයක් වනු ඇත.

එමෙන්ම විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීමෙන්ද, ලෝකඩ භාජන, කළු රෙදි, තල, කොල්ලු යනාදිය දන් දීමෙන්ද කළු තල, අංජන කැට ලොත් සුබුළු , වී පොරි, සතකුප්ප තැම්බු වතුර ස්නානයෙන්ද පින් දහම් කරමින් ධර්මානුකුලව කල්පනාකාරීව කටයුතු කිරීමෙන්ද ජීවිතයට සැනසිල්ල උදාකර ගත හැකි අතර ලැබු ඒරාෂ්ටක අපලතාවයන් සාඵල වනු නිසැකය.

ඉහත ලිපියෙන් සෙනසුරු ඒරාෂ්ටකය පිළිබඳ සම්මත තොරතුරු දැක්වෙන අතර යම් යම් ජන්මීන්ට ඒරාෂ්ටකය විපාක දෙන්නේ එහි ග්‍රහචාරයේ ස්වභාවය අනුව බව සැලකිය යුතුය. ඒරාෂ්ටක කාලය ඇතැමුන්ට රාජ යෝගද උදාකර දෙන බවද අමතක කළ යුතු නොවේ.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

උපුල් ජයශ්‍රී ද සිල්වා

Comments