
- මේ යෝග ඔබේ කේන්දරේ තිබෙනවා දැයි බලන්න
- සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අය ගැන කියන යෝග පනස් ගණනක් ජ්‍යොතිෂයේ ඇත
- ඔබට මිල මුදල් ලැබෙන ග්‍රහ යෝග ඔබ නොදැනුවත්වම කේන්දරේ සටහන්ව තිබිය හැකියි
මෙලොව උපත ලත් සෑම අයෙක්ම අපේක්ෂා කරනුයේ සැප සම්පත් ලැබීමටය. යහමින් අතමිට මිල මුදල් ඇත්නම් ඔහු හෝ ඇගේ මානසික තෘප්තියක් තිබේ. සල්ලි නැත්නම් වන්නේ කුමක්ද කියා අමුතුවෙන් කිව යුතු නොවේ.
කෙනෙකු සිය පාරම්පරික ධන සම්පත්වලට උරුමකම් ලබයි. තවත් අයෙකු ජීවිතයේ මනා මුල්‍යමය කළමනාකාරිත්වයේ මඟ පෙන්වීම හරහා මුදල් අත්පත් කර ගනිති. වෙළෙඳාම හෙවත් ව්‍යාපාර කටයුතුවලට උපන් හපන්කම් ඇති දිරියමත්ව කළමනාකාරිත්වයෙන් පසු කලෙක දියුණුවක් ඇති කර ගන්නා බැව්ද පෙනේ.
විවිධ පැතිකඩ ඔස්සේ මිල මුදල් රැස් කරගැනීමට හැකි වන මූලිකමය අඩිතාලම දැමිය යුත්තේ න්යායාත්මකවය. සෑම අයෙකුටම වෙළෙඳාම් කළ නොහැක. එයට උත්සාහයත් තැනට සුදුසු නුවණත් තිබීම අනිවාර්ය වේ.
කෞටිල්‍යයන්ගේ අර්ථ ශාස්ත්රයේ මේ ගැන පර්යේෂණාත්මක කරුණු විශාල ලෙස අඩංගු වී තිබේ. කරුණු මෙසේ හෙයින් අද අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ ජ්‍යොතිෂ විද්‍යාත්මකව කෙනෙකුට අත්පත් වන මූල්‍යමය සම්පත් නිරායාසයෙන්ම ලැබෙන ක්‍රමවේදය කුමන ආකාරයෙන්ද යන්න ග්‍රහ හැසිරීමේ රටා වියමන කෙසේද යන්න ගැන වැඩිදුරටත් හෙළි කරගැනීමට පහසු බැවිනි.
මීන ලග්නයේ ගුරු ශුක්‍ර දෙදෙනා 2 වැනි ධනස්ථානගතව රවිද 11 වැන්න මකරයේ කුජද සිටීමෙන් මහා පුරුෂයෙක්ව ධන සම්පත් හිමි වන්නේය.
කන්‍යාවේ රාහු, කුජ, ශනි, සිකුරු සිටීමෙන් ද ධන කුවේරයෙක් වේ. උත්සාහයේ ප්‍රතිඵල විශාලයි.
ගුරු තුන්වැන්නේද සිකුරු අටවැන්නේද අන්‍ය ග්‍රහයින් 10 වැන්නේ වීමෙන් සියලු භෞතිකමය සැප සම්පත් හිමි ධනවතෙකු වන්නේය.
ගුරු, බුධ, ශනි තිදෙනාම ඔවුන්ගේම ස්වක්ෂේත්ර රාශිවල සිට උපන්නේ නම් භවභෝග සැප සම්පත් බහුල වේ.
සිංහයේ ගුරුද ඉතිරි ග්‍රහයින් කටක, තුලා, ධනු, මකර යන රාශි හතරේද සිට උපන්නේනම් ප්රදේශපතියෙක් මෙන්ම ඉඩම් හිමි මහා ධනවතෙක් වේ. හදිසි මූල්‍යමය සම්පත් ලැබේ.
හතර වැන්නේ ශුක්‍ර ගුරු කුජ චන්ද්‍ර සමඟ රවි හෝ ශනි සිට උපත ලද්දේනම් මහා ප්රබලතම ධන කුවේරයෙක් වන්නේය.
ශනි කුම්භ රාශියේද රවි මේෂයේද සඳු වෘෂභයේත් සිටියදී ඉන් එකක් ලග්නය වී නම් ඉතාම බලවත් ධනවත් අයෙක් වේ.
සියලුම ග්‍රහ යෝම මේෂ, කටක, තුලා, මකර රාශිව සිටීමෙන් බලවත් ධනවත් වේ.
ධනු, මකර, කුම්භ, මීන යන රාශි හතරේ පිළිවෙළින් ශුක්‍ර, ගුරු, රවි, කුජ ග්‍රහයින් සතර දෙනාම සිටීමෙන් විශාල කම්හලක අයිතිකරුවෙක් වෙමි.
වෘෂභ ලග්නය වී සඳුද 4 රවි ද හතේ ගුරුද දහයේ ශනි සිට උපත ලද්දේනම් ඉතාම ඉහළ පෙළේ මහා ධනවතෙක් වේ.
දහවැනි කර්මස්ථානයේ ගුරු බුධ ශුක්‍ර සඳු යෝග වී උපන්නේ නම් සියලු වැඩ සාර්ථක වේ. ධනය ලැබේ. සම්පත් වැඩි වේ.
සතර කේන්දර සෞම්‍ය ග්‍රහයින් සහ 6,12 පාපීන් වීමත් නිසා විශාල ලෙස ධන සම්පත් ලැබේ.
වර්ගෝත්තම එක ග්‍රහයෙක් වුවත් 3, 5, 9, 11 සිටියදී උපන්නේ නම් අනපේක්ෂිත ලෙසට මූල්‍යමය සම්පත් ලැබේ. විශාල ධනවතෙක් වේ.
තවද අට අධිපතියා සිටි නවාංශකාධිපතියා උච්චවී බලවත් රැසක සිටියත් ශුභ පල ලැබෙන්නේ කලාතුරකිනි.
මෙවැනි මූල්‍යමය මිල මුදල් ලැබෙන ග්‍රහ යෝග පනස් ගණනක්ම ඇති අතර ඔබේ කේන්දරේ ඔබ නොදැනුවත්වම මිල මුදල් ලැබෙන යෝග තිබිය හැක. ඒවා එකවරම නොලැබේ. උත්සාහ කළ යුතුය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
ටී. හෙන්රි බෙම්මුල්ල