හැටඅට වසරක් දහම් පාසලකට දිවි කැප කර දිවි රඟමඬලට සමුදුන් බොනී අයියා | Page 2 | සිළුමිණ

හැටඅට වසරක් දහම් පාසලකට දිවි කැප කර දිවි රඟමඬලට සමුදුන් බොනී අයියා

1955දී විජය දහම් පාසලේ ආරම්භක සිසුවියන් හතරදෙනා සමඟ බොනි අයියා

සර 68ක් දහම් පාසලක් වෙනුවෙන් කැපවූ පුද්ගලයකු ගැන ඔබ අසා තිබේද? ඔබ විශ්වාස කළත් නැතත් එවැනි පුද්ගලයකු පසුගිය මැයි තුන්වැනිදා වෙනතුරු ජීවත් වූයේය. එකී පුද්ගලයා ජීවත් වූයේ නුගේගොඩ පාගොඩය. ඔහු නමින් කේ. ඩී. විජයපාලය. විශේෂත්වය වන්නේ මේ කියන දහම් පාසල පවත්වා ගෙන යන කාලය තුළ ඔහු කිසිදු රැකියාවක් නොකිරීමය. එහෙත් ඒ කියමන ඔහුගේ සේවය අවතක්සේරුවට ලක්කරන එකක් නොව වර්තමානයේ සියල්ල තීරණය වන්නේ මුදල මත වන වාණිජමය ලෝකයක් නිසාය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මියගිය මොහොතේ බූදල් නඩුවේ මුදල් ප්‍රමාණය දැක පොදු ජනතාව අතර කසුකුසුවක් ඇතිවූයේ ජීවිතයට රැකියාවක් නොකරපු නාගරික මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට පිවිසි ප්‍රේමදාස ජනාධිපතිවරයකු ලෙස මියයන විට මෙවැනි දේපළක් උපයා ගත්තේ කෙසේද යන පැනයයි. 

කේ. ඩී. විජයපාලට කවුරුත් කිවුවේ 'බොනී අයියා' කියාය. බොනී අයියා ගැන පරණ සිද්ධියක් මගේ මතකයට ආවේ බොනි අයියාගේ මරණය ඇසූ සැණින්ය.

ඒ සන්දියේ මගේ පියා වූ ගුණදාස ලියනගේ හමුවන්නට ආ පත්‍රකලාවේදින් බොහෝය. වැ.බ. මෙත්තානන්ද, පෙරමුණේතිලක, පියල් වික්‍රමසිංහ හා පුංචි බණ්ඩා සන්නස්ගල ආදී පිරිසක් දිනක් අප නිවෙසේ ඉස්තෝප්පුවේ කතාවක නියැළෙමින් සිටියහ. ඔවුනගේ මාතෘකාව වූයේ 'රෙක්සින් හිඟයෙන් සිංහල ශබ්ද කෝෂය කොට උඩ" නමින් තාත්තා ලංකාදීපයට ලියූ ලිපියක්ය. ඔය සාකච්ඡාවේ සිටි මෙත්තානන්ද සිළුමිණ කතුවරයකු වූ අතර පෙරමුණේතිලක ලංකාදීප කතුවරයකු විය. මෙත්තානන්දගේ නි‍ෙවස පිහිටියේ ඇඹුල්දෙනියේය. ඒ අවස්ථාවේ බොනී අයියා එතැනට ආවේ සුපුරුදු ජාතික ඇඳුම ඇඳගෙන ෆයිල් එකක් ද අතැතිවය.

"බොනී කරපු වැඩෙන් සිගරට් එකක් සුරුට්ටුවක් ගෙන්න ගන්න කඩේට යවන්න ගෙදර කොල්ලෙක් නැති වුණානේ." යි තාත්තා කිවුවේ නොක්කාඩුවට මෙනි.

සිදු වී තිබුණේ කුමක් ද? එදා ගෙදරට පත්‍රකලාවේ කෙළිකාරයකු ආවිට සිගරට් සුරුට්ටු ගේන්නට ගියේ මා සහ මගේ සොහොයුරාය. ඊට තුටු පඬුරු ලෙස අපට ලැබුණේ ටොපි හා ගුණසිරි බුල්ටෝය. බොනී අයියාගේ විජය දහම් පාසලට බැඳුණ පසු මේ කඩේ යාමේ වධයෙන් බේරෙන්නට අප කළේ 'අමද්‍යප සංවිධානයට' බැඳීමය. ඒ නිසා සිගරට් අරක්කු වෙන අයකුට ගෙනවිත් දීම පවා තහනම් කටයුත්තක් විය.

සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක සිටී යයි කියමනක් තිබේ. කේ. ඩී. විජයපාල ද සාර්ථක මිනිසකුය. එහෙත් ඔහු පසුපස ගැහැනියක සිටියේ නැත. ඔහු පිටුපසින් සිටියේ මාදුළුවාවේ සෝභිත නම් වූ මහා යුග පුරුෂයකු වූ සංඝ පීතෘවරයාය.

මෑත යුගයේ දහම් පාසල් ඉතිහාසය සොයන විට මතකයට එන්නේ ඕල්කට්තුමාය. එතුමාගේ පුරෝගාමීත්වයෙන් 1882 පෙබරවාරි 13 වැනි දින කොළඹ මැලිබන් වීදියේ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් කාර්යාලයේ දහම් පාසලක් ආරම්භ කළත් ටික කලකින් එය අක්‍රිය වී ඇත. මේ ගොඩනැඟිල්ල තවමත් පිටකොටුවේ ඇත. ඕල්කට්තුමාගේ සංකල්පයට අනුව 1895 අගෝස්තු මස 03 වැනි දින ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානයේ ඇහැලේපොල ජිනෝරස ස්වාමීන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ කරන ලද විජයානන්ද ඉරිදා බෞද්ධ පාඨශාලාව සංවිධානාත්මක පදනමකින් ආරම්භ කර අද දක්වාම අඛණ්ඩව පවත්වා ගෙන එන හෙයින් විජයානන්ද ඉරිදා බෞද්ධ පාඨශාලාව ශ්‍රී ලංකාවේ වර්තමාන දහම් පාසල් අධ්‍යාපනයේ සමාරම්භක අවස්ථාව වශයෙන් සැලකේ.

ලංකාවේ ප්‍රථම දහම් පාසල මැලිබන් වීදියේ ආරම්භ කොට වසර 75ක් පිරුණු 1955 දී නුගේගොඩ පාගොඩදී කේ. ඩී. විජයපාල විසින් විජය දහම් පාසල ආරම්භ කිරීම විශේෂත්වයකි.

දහම් පාසල ආරම්භ කරන කාලයේදී විජයපාලට ලැබුණ නින්දා අපහාස සුළුපටු නොවේ. "අතේ සතේ නැති, දුප්පත්, හරියකට ඉගෙනීමක්වත් නැති ඔය මිනිහට පුළුවන්ද රටේ ළමයි හදන්න" යනුවෙන් ලොකු සමාජ සේවකයෝ, බලවන්තයෝ මෙන්ම තවත් නොයෙක් තරාතිරමේ මිනිසුන් විජය ළමා සමාජයටත්, විජයපාලටත් දොස් පැවරුවෝය. නමුත් එම හැම පහරකටම විජයපාල නොබියව මුුහුණ දෙමින් වෛර කරපු සියල්ලන්ටම මෛත්‍රිය පතුරවමින් ඒ හැම බාධකයක්ම ජයග්‍රහණයේ සංකේතයක් බවට පත්කර ගත්තේය.

ඇතැමුන්ගේ අරමුණ අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමය. තවත් අය ජීවිතය ගැන අන්තයටම කලකිරී ගිහිගෙය අතැර පැවිදි ජීවිතයට ඇතුළු වන අවස්ථා ද තිබේ. මේ කිසිදු අන්තයකට නොගිය 'බොනී අයියා' තම මුළු ජීවිතයම කැප කළේ විජය දහම් පාසල ගොඩනඟා දහස් ගණනක් දරුවන්ට ධර්ම දානය දෙන්නටය. බොනී අයියා උපන්නේ 1930 ඔක්තෝබර් 12 වැනිදාය.

බොනී අයියාගේ උපන්ගම ද නුගේගොඩ පාගොඩය. තාත්තා කූරගමගේ හෙන්දිරික් අප්පුහාමිය. ඇල්විටිගලගේ ජෙහානා පෙරේරා මවය. මිරිහානේ ජුබිලි කණුවේ තිබුණු මහින්ද විදුහල, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය මෙන්ම නුගේගොඩ පල්ලියේ කොලීජියෙන් ද බොනී අයියා අධ්‍යාපනය ලබා ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසු 'බොනී අයියා' ඇලරික්ස් අයිස්ක්‍රීම් කොම්පැනියෙත්, එලිෆන්ට්හවුස් කොම්පැනියෙත් සේවය කළත් ඔහුගේ හිතේ තිබුණේ දහම් පාසලක් ආරම්භ කිරීමය. තම අරමුණ ඉටුකර ගැනීමට ඔහු තම වැටුප බැංකු ගිණුමක තැන්පත් කළේය. ප්‍රමාණවත් මුදලක් එකතු වූ විට ඔහු වන්දි ගෙන කොම්පැනියෙන් ඉවත් විය.

බොනී අයියා වන්දි ගෙන රැකියාවට සමු දුන්න ද දහම් පාසල අරඹන්නට ප්‍රධාන ප්‍රශ්නය වූයේ ගොඩනැඟිල්ලක් නොමැති වීමය. ඒ අවස්ථාවේ ඔහුගේ සහායට ආවේ අසල්වැසි නි‍ෙවසේ කොන්සල්කෝරාලය. බොනී අයියාගේ සත් ක්‍රියාවට කෝරාල කළේ තම නි‍ෙවසේ ඉදිරිපිට ඒ සඳහා කාර්යාලයක් ගොඩනඟා දීමය.

මෙයින් වසර 68කට පෙර බොනී අයියා දහම් පාසලක් ආරම්භ කළේ සුබ මොහොතකිනි. දිනය හරියටම කිවහොත් 1955 පෙබරවාරි 20 දාය. සුබ මොහොතින් දරුවන් හතර දෙනකු දහම් පාසලට ඇතුළත් කරගන්නා ලදී. මාලනී අල්විස්, ග්ලැඩිස් විජයසිංහ, යූ.ඩබ්. සුමනාවතී, යූ.ඩබ්. කලණවතී ඒ දරුවන් හතර දෙනාය. අද මේ දහම් පාසලට මුලින්ම ඇතුළත් වූ දරුවන් හතර දෙනා වසර 70 ද ඉක්මවා තිබේ.

විවිධාකාර දානපතීන් හමු වී අනුග්‍රාහකත්වය ලබා ගනිමින් බොනී අයියා දරුවන් දහස් ගණනකට දහම් දැනුම බෙදා දුන්නේ නොමිලේය. විජය දහම් පාසල වෙනත් දහම් පාසල්වලට වඩා දැක්මක් ඇති නිසාම හේන්පිටගෙදර ඥානසිංහ, රේනුකානේ චන්ද්‍රවිමල, මඩිහේ පඤ්ඤාසීහ, වල්පොළ රාහුල, බද්දේගම විමලවංශ වැනි චිර ප්‍රසිද්ධ හිමිවරුන්ගේ ඇගයීමට ලක් විය.

විජය දහම් පාසල් සිසුන්ට ජාතික ඇඳුමක්, සිසුවියන්ට ළමා සාරියක් අනිවාර්ය කළ මුල්ම දහම් පාසලයි. ලංකා ඉතිහාසයේ දහම් පාසලක ප්‍රථම වරට තූර්යවාදක කණ්ඩායමක් බිහි කරන ලද්දේ විජය දහම් පාසලය. ජයමංගල ගාථා කණ්ඩායමක්, ළමා පුස්තකාලයක්, ළමා සුබසාධක සංගමයක්, කලා අංශයක් මෙන්ම ආදි ශිෂ්‍ය සංගමයක් ද විජය දහම් පාසල සතු විය. කලක් මෙම දහම් පාසලෙන් ස්වශක්ති නමින් මාසික සඟරාවකුත් විජය හඬ නමින් වාර්ෂික සඟරාවක් ද නිකුත් විය. ශිෂ්‍ය කාර්ය දර්ශක පොතක්, සිසු සිසුවියන්ට හඳුන්වා දීම මෙන්ම හැම සිසු සිසුවියකටම බැංකු පොතක් ලබා දී ඉතිරි කිරීමේ පුරුද්ද දහම් පාසල් ජාලය තුළට බද්ධ කරන ලද්දේ බොනී අයියා විසිනි. ශිෂ්‍ය කාර්ය දර්ශක පොතේ එක් වගන්තියක් අදත් මට කටපාඩමෙන් මතකය. "අයථා ප්‍රේම සම්බන්ධතාවලින් වැළකී තම චරිතය පණ මෙන් රැක ගන්න." යනුවෙන් එහි සඳහන් විය.

ටික කාලයක් යන විට පාගොඩ පළවන හරස් වීදියේ ආරම්භ කළ දහම් පාසල ඉඩකඩ මදි විය. උදවුවට ආවේ පූජ්‍ය කුරුවිට ධර්මාරාම හිමියන් ය. තමන් විහාරාධිපති ධුරය දැරූ පාගොඩ ජයමංගලාරාමයේ දහම් පාසල පැවැත්වීමට උන්වහන්සේ බොනී අයියාට පහසුකම් සලසා දුන්හ. මීට වසර 49කට පෙර 1974 දී නුගේගොඩ ශාසනාරක්ෂක මණ්ඩලයේ සියලුම දහම් පාසල් අබිබවමින් හොඳම දහම් පාසල බවට පත් කරන්නට බොනී අයියා සමත් විය. 1985 වර්ෂයේදී කෝට්ටේ මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හොඳම දහම් පාසල ලෙස පුදනු ලැබුවේ විජය දහම් පාසලයි. 1985 දෙසැම්බර් 8 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් බොනී අයියාට එම කුසලානය පිරිනමන ලදි.

බොනී අයියාට කුසලාන පිදීමෙන් පසු එවකට අගමැති වූ ප්‍රේමදාස තම කතාවේ මෙසේ සඳහන් කළේය. 

"ආගම කියන්නේ බාහිර වශයෙන් පෙනෙන්නට තිබෙන ඇදහීම් මාර්ගයක් නොව, ජීවිතය වඩාත් සැපවත් ලෙස තෘප්තිමත් කරගත හැකි ජීවන ක්‍රමයක් බව යමකු අවබෝධ කරගතහොත් නීරෝගිමත්, සමාජයට අවැඩක් නැති, සාරධර්මවලින් පිරිපුන් උදාර මිනිසකු වනු ඇත. අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවන අන්දමට ජීවත් විය යුතු බව අප දහම් පාසලෙන් උගත් දේ අනාගතය බාරගන්නට සිටින අපේ දූ දරුවන් ද දහම් පාසලේ සෙවණ යටතේ ඒ දහම උගත යුතුව තිබේ" යැයි ද අගමැති ප්‍රේමදාස එදා පැවසුවේ 'බොනී අයියා' වේදිකාවේ හිඳ කඳුළු සලද්දීය.

අගමැතිතුමාගේ ගෞරවාදරයට පත්වීමත් සමඟ 'බොනී අයියා' ගැන ප්‍රදේශවාසීන් තුළ වූ ප්‍රතිරූපය සුනු විසුනු වන්නට විය. එතෙක් බොහෝ දෙනා බොනී අයියාට පරිභව කළේ අතේ සතේ නැති හරිහමන් රස්සාවක් නැති මේ මිනිහට දහම් පාසලක් කරන්නට පුළුවන්ද කියාය. බොනී අයියා එතෙක් අවතක්සේරුවට ලක් කළ අය අතර අධ්‍යාපන විශාරදයන්, ව්‍යාපාරිකයන් මෙන්ම වෙනත් දහම් පාසල්වල ගුරුවරුන් ද විය. විජය දහම් පාසලට අග්‍රාමාත්‍යවරයා කුසලානය පිරිනමන විටත් සෑම සිසු සිසුවියකටම නොමිලේ කිරි වීදුරුවක් දීමට තරම් 'බොනී අයියා' සූර සංවිධායකයකු විය.

බොනී අයියා අගමැතිවරයාගෙන් ඇගයීමට ලක්වීමත් සමඟ මවුපියන් තම දරුවන් විජය දහම් පාසලට ඇතුළත් කර ගන්නට පොර කන්නට විය. අගමැතිතුමාගේ ඇගයීමට ලක්වූ දහම් පාසලට අධ්‍යාපන විශාරදයන් ද දෙතුන් දෙනා සේන්දු වන්නට විය. දහම් පාසලට එක්වූ අධ්‍යාපන විශාරදයන්ගේ මුල්ම කටයුත්ත වූයේ මෙතෙක් කල් තම දිවියම කැපකොට දහම් පාසල ගොඩනැඟූ බොනී අයියාගේ අධ්‍යාපන සුදුසුකම් සෙවීමය. දහම් පාසල තවදුරටත් ගොඩනැඟීමට නොව අධ්‍යාපන විශේෂඥයන්ට ප්‍රශ්නයක් වූයේ අගමැතිතුමා අතින් ලබාගත් ස්වර්ණ තිළිණය තියෙන තැනය. අන්තිමට සිදු වූයේ සම්මානයක් බෙදා ගන්නට බැරුව දහම් පාසලක් දෙකඩ වීමය. ඒත් ජීවිතයේ එකම අරමුණ ගැන සැලුණේ බොනී අයියා නොවේ. ඔහු තමන්ට සමීප මවුපියන් සමඟ ජුබිලි කණුව මංසන්ධියේ එවකට තිබූ මහින්ද විදුහලේ තම පරණ පුරුදු දහම් පාසල ආරම්භ කළේය.

බොනී අයියාගේ දහම් පාසල 1955 යුගයේ ආරම්භ කළ යුගයේ සිටම අනුශාසකවරයා වූයේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. තත්ත්වය දැනගත් සෝභිත හිමියන් තම කෝට්ටේ නාග විහාරයේ කොටසක ශාලාවක් ගොඩනඟා විජය දහම් පාසලට ලබා දුන්නේ දරුවන්ට දහම් දැනුම දෙන්නට ය. 1998 සව්සිරි ව්‍යාපාර අධිපති පි. ලොකු කොඩිකාර විජය දහම් පාසලට දැව භාණ්ඩ සමඟ දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකර දුන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අනුශාසකත්වය නිසාමය.

බොනී අයියාගේ කටයුතුවලට සෝභිත හිමියන් මහා ආභරණයක් විය. සෝභිත හිමියන් සමඟ සිටි රටේ සම්භාවනීය පිරිසකගේ දරුවන් විජය දහම් පාසලට එක්වන්නට වූයේ බලා සිටිත්දීය. කෝට්ටේ නාග විහාරයේ විජය දහම් පාසලේ නව ගොඩනැඟිල්ල විවෘත කරද්දී සෝභිත හිමියෝ පැවසුවේ මෙවැන්නකි.

"විජය ළමා සමාජයත් විජය දහම් පාසලත් මේ වන විට මහා වෘක්ෂයක් බවට පත් වී ඇත. මෙතෙක් මේ වෘක්ෂයෙන් පොහොර දමා සරු කළෙත් කිසිවකුටත් විනාශ කරන්නට නොදී රැක ගත්තේ කේ. ඩී. විජයපාලය. "පරත්ථං පටිපජජථ" පරාර්ථයෙහිම යෙදෙවේ. මේ බුදුන් වදාළ ධර්මයයි. විජයපාල මහතා වසර පනස් දෙකක් මේ මහා මෙහෙවර ඉටු කළේ කිසිදු ප්‍රතිලාභයක් ගෞරවයක් කීර්තියක් අපේක්ෂා නොකොටය. විජය ළමා සමාජයත් විජය දහම් පාසලත් මේ ප්‍රදේශයට ලැබුණු මහඟු දායාද දෙකකි. ජය මංගල ගීත කණ්ඩායම, තූර්ය වාදක කණ්ඩායම, ළමා පුස්තකාලය, භක්ති ගීත කණ්ඩායම, උඩරට නැටුම් කණ්ඩායම ආදී සියල්ලක්ම අපේ දරුවන් සඳහාය. මේවා හැරුණු විට විජය සමාජ සේවා කටයුතු සඳහා ද අන් දරුවන් යොමු කර ඇත. ළමයින්ගේ හැකියාවන් මතුකර දීමටත් ළමයින් කුඩා කල පටන් මිනිස්කම්වලින් පිරිපුන් චරිතයක් බවට පත් කිරීමටත් විජය දහම් පාසලත් විජය ළමා සමාජයත් සමත් වී ඇත. තව චිරාත් කාලයක් විජය ළමා සමාජයත් විජය දහම් පාසලත් දිවි දෙවැනි කොට රැක ගනිමින් අප ළමා පරපුර වෙනුවෙන් මහඟු මෙහෙවරක් කිරීමට කේ. ඩී. විජයපාලට යෝධ සවිය යෝද ශක්තිය ලැබේවා."

බොනී අයියාට දිගාසිරි පැතූ සෝභිත හිමියන්ට ටික කලකින් නිවන් සුව පතන්නට අපට සිදු විය.

මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වන අවස්ථාවේ ලිපියක් ලියමින් සිට ඇත්තේ විජය දහම් පාසල ගොඩනඟා දරුවන්ට ධර්ම ඥානය දෙන හැටි ගැන උපදෙස් දීමටය.

අවුරුදු 93ක් ජීවත් වූ කේ. ඩී. විජයපාල නොහොත් උදේ සිට සවස් වන තුරු කළේ තමන්ගේ හිතවතුන්, ව්‍යාපාරිකයන්, කලාකාරයන්, දේශපාලනඥයන් ආදින්ගේ නිවෙස්වලට, ව්‍යාපාරික ස්ථානවලට ගොස් තම දහම් ව්‍යාපාරය පවත්වා ගෙන යන්නට අවශ්‍ය බරපැන එක්කොට ගැනීමය. ඒ දහම් ව්‍යාපාරයම මහා ආශීර්වාදයක් වී 'බොනී අයියා' නමැති භෞතික සාධකය නඩත්තු කළ බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එසේ පැවසීම බොනී අයියා කළ මහා සේවය අවතක්සේරුවට ලක් කිරීමක් නොවනු ඇත.

වසර 68ක් පුරා බොනී අයියා දහම් පාසලක් නඩත්තු කරමින් වයස අවුරුදු 93ක් වුව ද මියෙන තුරාත් සම් බෑගයක් අතින් ගත් බොනී අයියා පයින්ම ගමන් යාම සුන්දර දසුනක් විය. හැටඅට වසරකට ආසන්න කාලයක් තුළ 'බොනී අයියා'ගේ විජය දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ලක්ෂ ගණනකි. ඒ ආදි සිසුන් අතර වෛද්‍යවරුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, අධ්‍යාපනඥයන් මෙන්ම දේශපාලකයන් වැනි විවිධ සමාජ තලවල උසස් පුරවැසියන් බොහෝය.

බොනී අයියාගේ පාගොඩ කුටියට ගොස් කතාබහේ යෙදී එළියට එන විට උළුවස්සේ ලියා තිබූ වැකිය ඔහුගේ මරණය කනවැකුණු විට මගේ හදවතේ නින්නාද දෙන්න විය.

මොකටද ගුණ කතා කමකට වැඩක් නැත 
හොඳටම වැඩි වුණොත් සුදු කොඩි එකක් ඇති 
ජීවත්වෙලා කිසිවකු හට බරක් නැති 
මිනිසකු මළා කිවුවොත් මට එයම ඇති

ඔහුගේ ජීවිතය පසුගිය සතියේ අප අතැර ඔහු මනාප භවයකට සැරිසරන්නට ඇත.

පරෝප කාර්ථ වහන්හි නද්‍යාඃ 
පරෝබ කාරාර්ථ එලන්හි වෘක්ෂාඃ 
පරෝප කාරාර්ථ දුහන්නි ගාවාඃ 
පරෝප කාර්ථ මිදං ශරීරම්.

අනුන්ට උපකාර පිණිසම ගංගාවෝ ගලා බසිති. අනුන්ට උපකාර පිණිසම ගස්හූ පල දරති. අනුන්ට උපකාර පිණිසම දෙන්නු කිරි දෙති. එසේ නම් මේ ශරීරය ද ඇත්තේ අනුන්ට උපකාර කිරීම පිණිසමය යන්න මෙහි සරල අරුතය. බුදු දහම පරහිතකාමී දහමකි. යමෙක් අමාරුවෙන් ලද මේ මිනිසත් භවේ වටිනාකම තේරුම් නොගෙන ජීවත් වන්නේ නම් ඔහු දෙලොවම පරිහ්‍රත තැනැත්තෙකි. ඔහුට කිසි කලෙත් සුගතියක් නැත. සැප කුමක් හෝ අනුන්ට වැඩ පිණිසම තම කාලය ගත කරති.

බොනී අයියා තමන් උපන් රටට ණය නැති මිනිසෙකි. ඔහු වැනි මිනිසුන් මියගියත් නොමළ මිනිසුන් ලෙස කෘතවේදී ජනතාව අතර ජීවත් වන්නේ ඒ නිසා විය යුතුය.


Comments