යෙර්මා | Page 3 | සිළුමිණ

යෙර්මා

සිංහල නාට්‍ය ප්‍රේක්‍ෂකයන් සහ ඒ අනුසාරයෙන් පාඨකයන් ‘යෙර්මා’ පිළිබඳ දැන ගත්තේ 1962 වසරේදී ගුණසේන ගලප්පත්ති නාට්‍යවේදියාගේ ‘මූදු පුත්තු’ ස්වතන්ත්‍ර නාට්‍යය වේදිකා ගත වීමත් සමඟය. හස්තසාර සංගීතවේදී සෝමදාස ඇල්විටිගලගේ තනුවලින් ඔප් නැංවුණු මහගම සේකරයන්ගේ සහ නිෂ්පාදකගේ සුමියුරු ගී පද ගැයුම් නිසා මේ නාට්‍යය අදත් නැවුම් අත්දැකීමක් ඉදිරිපත් තරයි.

මූදු පුත්තු නාට්‍යයේ එන්නේ මෑත විවාපත් තරුණියකගේ දරුවකු ලැබීමේ අපේක්‍ෂාවයි. තම වල්ලභයාගෙන් සිය පැතුම ඉටු නොවන බව වටහා ගන්නා ඇය පතිකුලයෙන් බැහැරව සිය අපේක්‍ෂාව සාක්‍ෂාත් කර ගන්නීය. එහෙත් එය අවසන් වනුයේ ඛේදයකිනි. ගැහැනියගේ මිනිහා විසින් දරුවා ඝාතනය කරනු ලැබීමෙනි ඒ.

මේ නාට්‍යයේ වස්තු බීජය තම සිතේ පහළ වූයේ විදේශයකදී 'යෙර්මා' නාට්‍යය නැරඹීමෙන් ඉක්බිති බව ගලප්පත්ති ආරම්භයේ සිටම සඳහන් කළේය. එහෙත් අද පවා ඇතැම් තැනෙක ‘මූදු පුත්තු' යනු යෙර්මා අනුවර්තනයකි යැයි සඳහන් අවස්ථා නැතිවා නොවේ.

යෙර්මා යනු ෆෙඩ්රිකෝ ගාර්සියා ලෝකා (1899 -1936) නැමැති ස්පාඤ්ඤ ජාතික නාට්‍ය රචකයා විසින් 1934දී ලියා අවසන් කරන ලද එනමින් යුතු නාට්‍යයි. එය "ඛේදනීය කවියක්" ලෙස ඇතැම්විට හැඳින්වේ.

වසර 37ක් වන සිය ජිවිත කාලය තුළ ලෝකා නාට්‍ය කිහිපයක් රචනා කර ඇතත් ඒවායින් වඩාත් අවධානය දිනාගනු ලැබ ඇත්තේ තුනක් පමණි. ඒවා නම් ‘හවුස් ඔෆ් බර්නාඩා ඇල්බා’ සහ ‘ද බ්ලඩ් වෙඩින්’ ය. මේවා පිළිවෙළින් ‘බර්නාඩාගේ සිපිරිගෙය’ සහ ‘තුරඟා දැන් දැන් හඬනා’ නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබ රඟ දක්වන ලද බැව් සඳහන්ය. මේ නාට්‍ය පිටපත ද ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය විසින් නිෂ්පාදනය කරනු ලැබ 1999 දෙසැම්බරයේ වේදිකා ගත කරන ලද බව දැක්වේ.

යෙර්මා යනු අංක තුනකින් යුතු තරමක් දිග නාට්‍යයකි. ඒ සෑම අංකයක්ම දර්ශන දෙකකින් සමන්විතය.

පළමු වැනි අංකයේ පළමු වැනි දර්ශනයේදී අපට යෙර්මා ගැන දැන ගන්නට ලැබේ. ඇය සහ යුආන් යුගදිවියට එළැඹ වසර දෙකක් ගත වී ඇතත් දරුපල නොමැත. එහෙත් මීට මාස කිහිපයකට පෙර විවාපත් මාරියාට පවා දරු ගැබක් තිබේ.

යුආන් රැය පහන් කරනුයේ ඔහුගේ ඉඩකඩම්වල වන අතර, බිරිය වෙත නොඑළැඹෙයි. මේ නිසා යෙර්මා ඔහුගේ රෑ ආහාර රැගෙන ඔහුගේ ඉඩම් වෙත යයි. ඒ අවස්ථාවල පවා කිසිවක් සිදු නොවන බව වැටහෙයි. යෙර්මා පැටි වියේ සිට දන්නා වික්ටර් නම් හිතවතෙක් වෙයි. ඔහුගේ බැටළුවන් බලා ගන්නේ ද යුආන් ය. යෙර්මා වික්ටර්ට බෙහෙවින් ලැදිය. ඒ කොතෙක්ද කියනවා නම් ඇය යුආන්ට එතරම් ආසක්ත නැත.

ළමයි ලබන්නට නම් පිරිමියා සමඟ ලලසාවෙන් යුක්තව යහන්ගත විය යුතු බව වැඩිහිටි කතක් ඇයට කියා දෙයි. එය ආදරයෙන් සිදු විය යුතුය. එහෙත් යුආන්ට එය වුවමනා බවක් නොපෙනේ. ඔහුට අවශ්‍ය සිය බිරිය පවත්නා තත්ත්වයෙන් රැක ගැනීම මිස දරුවන් නොවේ.

දෙවැනි අංකය වන විට වසර පහක් ඉක්ම ගොසිනි. යෙර්මාට තවමත් දරුවන් නැත. ඇය රැයේ නිවෙසින් බැහැර යන්නීය. කටකතා නිර්මාණය වේ. පැන්තොටේ රජක ස්ත්‍රීහු රසබර කතා ගොතා කියති. යුආන් සිය සහෝදරයන් දෙදෙනා නිවෙසට කැඳවාගෙන එයි. ඒ යෙර්මා ගැන ඔත්තු බලන්නටය. එහෙත් කිසිවකුටත් ඇගේ අනාචාරයක් දැක ගත නොහැකි වෙයි. මේ අතර වික්ටර් සිය බැටළුවන් යුආන්ට පවරා ගමෙන් සමුගෙන යයි. ඒ, ගමේ සිටි යෙර්මා ආදරය කළ එකම තැනැත්තාය.

මේ අතර ඒ ගමේ වෙසෙන තවත් තරුණ බිරියක් දරුවන් ප්‍රතික්‍ෂේප කරන්නීය. දරුවන් සෑදීම කරදරයක් යැයි ඇය කියයි. ඇගේ මව ඩොලෙරස් නම් යද්දෙස්සියකි.ඇගේ ප්‍රතිකර්මවලින් යෙර්මාට ප්‍රයෝජනයක් අත් නොවෙයි. ඇය වෙනත් කට්ටඩි ගැහැනියක් වෙත යෙර්මා යොමු කරයි. රැයක් පුරා පැවැත්වෙන යාතු කර්මවලින් පසු ගැහැනිය යෝජනා කරන්නේ නිවෙස පිටුපස සිටින සිය පුතා ලවා දරු ගැබක් ඇති කර ගත හැකි බවයි. යෙර්මා එතැනින් පලා යයි. යුආන් මේ සියල්ල සැඟව බලා සිටියි. ඒ බව යෙර්මා දැන ගනියි. අවසානයේ ඔවුන් අතර වචන හුවමාරුවක් වෙයි. යෙර්මා මුළු වැර යොදා ගෙල සිරකර යුආන් මරා දමයි.

මේ නාට්‍යයේ දළ සැකිල්ල එබඳුය.

යෙර්මා සදාතනික වටිනාකමකින් යුතු නාට්‍යයක් ලෙස විචාරක සම්භාවනාවට පාත්‍ර වේ. ඇතැම් විට එය හෙන්රික් ඉබ්සන්ගේ 'A Doll’s House' සමඟ ද සැසඳේ. ඩෝල්ස් හවුස් හි නෝරා කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නී යම් සේ ද යෙර්මා ද එසේමය. ඒ දෙආකාරයකිනි. යෙර්මාට දරුවකු අවශ්‍යය. එහෙත් ඒ සිය සැමියාගෙන්ම විය යුතුය. පවුලේ සදාචාරය නම්බුව විනාශ කර ගන්නට ඇයට අවශ්‍ය නොවේ. ඇයට අවශ්‍ය වනුයේ දරුවකු නම් වෙනත් මිනිසකු වික්ටර් වැනි මිනිසකු සමඟ යහන්ගත වීමෙන් ලබා ගත හැකිය. යෙර්මාගේ සිතේ වික්ටර් කෙරේ ලලසාවක් ඇති නමුත් ඒ රමණය සඳහා නොවේ.

මේ නාට්‍යය මුලින්ම වේදිකාගත කොට මේ වන විට වසර 88ක් ගතවී ඇතත් අදත් නව නිෂ්පාදන වේදිකාගත කැරේ. එසේම ඒ පිළිබඳ විචාර හා විමර්ශන ද ලියැවේ.

ඇතැම් විචාරකයකුට අනුව යෙර්මා යනු ක්‍රිස්තියානු සදාචාරය ඉස්මතු කරමින් රචිත නාට්‍යයකි. තවත් අයකු පෙන්වා දෙන්නේ එය මිත්‍යාදෘෂ්ටික වත් පිළිවෙත් යනාදිය සත්‍යය ලෙස පෙන්වා දෙන බවයි.

‘යෙර්මා’ (සිංහල පරිවර්තනය) මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ මහාචාර්ය සුනිල් ආරියරත්න දෙපළගේ කෘතියකි.

Comments