පොත් පුවත් | Page 2 | සිළුමිණ

පොත් පුවත්

නිහාල් ජයත්චන්ද්‍ර ලියූ කරු ජයසූරිය චරිත කතාව

කෘතිය- කරු ජයසූරිය 
කර්තෘ- නිහාල් ජගත්චන්ද්‍ර 
ප්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම 
මිල- 1,500/= පිටු ගණන-500 
විමසීම්- 077 299 2801

දේශපාලනඥයන් ඇතුළු ප්‍රකට පුද්ගලයන්ගේ චරිත කතා, නවකතා, දේශපාලන කතා, පර්යේෂණ ඇතුළු කෘති රැසක් රචනා කර ඇති ප්‍රවීණ ලේඛක නිහාල් ජගත්චන්ද්‍ර විසින් ලියන ලද කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු ද වන කරු ජයසූරියගේ චරිත කතාවයි මේ.

පිරිසුදු දේශපාලනඥයකු ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින කරු ජයසූරිය මහතා මේ කෘතියෙහි ඇතුළත් සිය චරිත කතාව පිළිබඳ කෘතියට එක්කර ඇති පසු සටහනෙහි මෙසේ සඳහන් වේ ." සොබා දහම නමැති විනිසුරු දෛවයේ විත්ති කූඩුවට නංවා අසන එම නඩුවේ සාක්ෂි දීමට සිටින එකම සාක්ෂිකරු හෘදය සාක්ෂිය පමණකි. එදිනට හෘදය සාක්ෂිය තමාට විරුද්ධව සාක්ෂි නොදෙන ලෙස ජීවත් වන නිර්දෝෂී මිනිසකු වීම මගේ දර්ශනය විය." මෙම වදන් මෙම චරිතාපදානය කියවීමට පාඨකයා තුළ පෙලඹවීමක් ඇති කරයි.


කපිල ගාමිණීගෙන් විවාහ නඩුකර

කෘතිය- විවාහ නඩුකර 
කර්තෘ- නීතිඥ කපිල ගාමිණී ජයසිංහ 
ප්‍රකාශනය- ඇම්.ඩී.ගුණසේන සමාගම 
මිල- 420/= පිටු ගණන-151 
විමසීම්- 077 610 3522

සිවිල් නඩු කටයුතු සඳහා පෙනී සිටින ජ්‍යේෂ්ඨ නීතිඥයකු මෙන්ම සිංහල නීති කෘති 24ක කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ විසින් මේ කෘතිය රචනා කර ඇත. විවාහ විසුරුවා හැරීමේ නඩුකරවල ප්‍රායෝගික තත්ත්වයන් ද නූතන නව නීති ප්‍රවණතා සමඟ සිංහල බසින් මෑතකදී කෙරුණු ගැඹුරු අධ්‍යයනයක් නොමැති වීමේ අඩුව සපුරාලන අදහසින් මෙම කෘතිය රචනා කළ බව කතුවරයා පවසයි. ඒ අනුව මෙරට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලින් විවාහය ආරක්ෂා වී ඇත්තේ කෙසේද? මෙරට විවාහ නීතිය යටතේ ඇති කරගත හැකි විවාහ වර්ග, ඒවා විසුරුවා හැරිය හැකි ක්‍රම, නඩත්තුව සහ පරිපෝෂණය තීරණය කෙරෙන ආකාරය, දරුවන්ගේ භාරකාරත්වය ඇතුළු අංග රැසක පූර්ණ විශ්ලේෂණයක්, විවාහ නඩුකරවලට අදාළ වර්ෂ 2014 දක්වා යාවත්කාලීන කළ නඩු තීන්දු 76ක්, ඉංග්‍රීසි බසින් සැකසුණු උපග්‍රන්ථයක් සහ සියලුම මාතෘකාවලට අදාළ සියලු නඩුතීන්දුවල නාමාවලියක් ද මෙම කෘතියට ඇතුළත්ය.


සමන් අතාවුදහෙට්ටිගේ නැවතුම් නැති ජීවිතේ

කෘතිය- නැවතුම් නැති ජීවිතේ 
පරිවර්තනය- සමන් අතාවුදහෙට්ටි 
ප්‍රකාශනය- ඇම්.ඩී.ගුණසේන සමාගම 
මිල- 1,000/= පිටු ගණන-303 
විමසීම්- 011 252 9481

අතපය නැතිව ඉපදුණු නික් වුයෙචිච් සිය ජීවිතය ජයගත් අන්දම පෙන්වා දෙමින් ලියූ දෙවැනි කෘතියේ සිංහල පරිවර්තනයයි මේ. කෘතියේ පරිවර්තක ප්‍රවීණ මාධ්‍යවේදී, ලේඛක සමන් අතාවුදහෙට්ටි කෘතිය ගැන හැඳින්වීමක් කරමින් පවසන්නේ සුබවාදී ආකල්ප හා ජීවිතය ජයගැනීමේ මඟ පිළිබඳ දේශන පවත්වමින් ලොව පුරා ආදරය සහ භක්තිය බෙදා හදා දෙන නික්, අපේ ජීවිත ජයගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ කෘතිය ඔස්සේ අපට පෙන්වා දෙන බවයි. එබැවින් 'නැවතුම් නැති ජීවිතේ' නමැති මේ කෘතිය නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවටද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයක් බව කතුවරයාගේ අදහසයි. කතුවරයාගේ ආකර්ෂණීය භාෂා විලාසය පාඨකයා කෘතිය වෙත ඇදබැඳ තබාගන්නවා පමණක් නොව එයින් කියැවෙන සියලු ධනාත්මක කරුණු තම ජීවිතය සමඟ බද්ධ කරගැනීමට දිරිමත් කරන අපූරු කෘතියකි මෙය.


සාගරිකාගේ කුලුඳුල් කෘතිය අග්ගිනි

කෘතිය- අග්ගිනි 
කර්තෘ- සාගරිකා ඉලංගරත්න 
ප්‍රකාශනය- නිම්සර ප්‍රකාශන 
මිල- 1,600/= පිටු ගණන-303 
විමසීම්- 076 747 1732

විවිධ තේමා මුල්කරගනිමින් මුහුණුපොතට නවකතා කිහිපයක් ලියා ඇති යොවුන් ලේඛිකා සාගරිකා ඉලංගරත්න විසින් ප්‍රකාශයට පත් මුල්ම කෘතිය මේ නවකතාවයි. ඇය සිය කෘතියේ තේමා පාඨය ලෙස දක්වා ඇත්තේ " මහකනදරාවේ උඩුගම් බලා ගිය කතාවක්"ලෙසිනි. වැව් බැඳි රාජ්‍යයේ ජීවත් වූ දුගී පවුලක් මූලික කරගනිමින් ලේඛිකා සාගරිකා ඉලංගරත්න, රාගය ගින්නක් සේ ජීවිත දවාලන ශෝකාන්තය විවිරණය කරන්නීය. වත්මන් සමාජය තුළ සුලබ මාතෘකාවක් වුවද සාගරිකා ඇයටම අනන්‍ය වූ සරල භාෂා විලාසයක් තුළින් පාඨකයා කතාව වෙන ඇදබැඳ තබාගැනීමට උත්සාහ දරා ඇත. නවකතාව පාඨකයාට වඩාත් සමීප වන්නේ මහපොළොව මත ජීවත් වන සැබෑ චරිත කෘතිය තුළින් පාඨකයාට මුණගැස්වීමට කතුවරිය දරා ඇති උත්සාහය නිසාය.


අනුල ද සිල්වාගෙන් කොරෝනා වාට්ටුව

කෘතිය- කොරෝනා වාට්ටුව 
කර්තෘ- අනුල ද සිල්වා 
ප්‍රකාශනය- ඇම්. ඩී. ගුණසේන සමාගම 
මිල- 350/= පිටු ගණන-107 
විමසීම්- 011 252 9481

ප්‍රවීණ පුවත්පත් කලාවේදිනී, ලේඛිකා අනුල ද සිල්වා විසින් රචිත මේ කෘතියට ඇතුළත්ව ඇත්තේ ඇය කොරෝනා වැලදී රෝහල්ගතව සිටි අවස්ථාවේ අත්විඳි අත්දැකීම් මෙන්ම ඇය අවට සිටි රෝගීන්ගේ අත්දැකීම් සහ අවට සමාජයෙන් ලද අත්දැකීම්ය. ඒ අනුව මේ කෘතිය කොරෝනා ගැන අවබෝධයක් ලබා දිමට නොව රෝගීන් ගැන සංවේදීව සිතන්නට පාඨකයාට අවස්ථාව සැලසීමට ගත් උත්සාහයක් බව කතුවරිය පවසන්නීය. කතුවරිය විසින් මේ වන විට රචිත කෘති සංඛ්‍යාව 125ක් පමණ වේ.


බැද්දේගම විශේෂ සංස්කරණ කෘතිය

කෘතිය- බැද්දේගම 
අනුවාදය- ඒ.පී. ගුණරත්න 
ප්‍රකාශනය- ඇම්.ඩී.ගුණසේන සමාගම 
මිල- 550/= පිටු ගණන-231 
විමසීම්- 011 252 9481

මෙය සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් ලියන ලද ඉංග්‍රීසි නවකතා අතරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය ලෙස සැලකෙන ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් විසින් ලියන ලද The Village in the Jungle නම් කෘතියේ සිංහල අනුවාදයයි. මෙම කෘතිය සිංහල බසට නැඟීමේදී ප්‍රවීණ ලේඛක ඒ.පී. ගුණරත්නයන් විසින් ව්‍යවහාර කරන ලද මටසිලුටු වාග් මාලාව මේ නවකතාවේ ස්වාභාවිකත්වයට අතිශයින් තුඩු දෙන බව විචාරකයන්ගේ අදහසයි. හේන් ගොවිතැන කෙරෙන ඇතැම් පළාත්වල ව්‍යවහාර වන අප්‍රකට දේශීය වදන මෙහි ඇතුළත් වන අතර භාෂා විලාසය හැකිතාක් කථා ව්‍යවහාරයට සමීපය. මුල් සංස්කරණය එම ස්වරූපයෙන්ම තිබියදී මේ විශේෂ සංස්කරණය පාසල් දරුවන්ගේ භාවිතය සඳහා පිළියෙල කර ඇත.


ප්‍රියාන් විජේබණ්ඩාරගෙන් පුහුල් ලාම්පු

කෘතිය- පුහුල් ලාම්පු 
කර්තෘ- ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර 
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ 
මිල- 650/= පිටු ගණන-136 
විමසීම්- 011 276 9446

මේ කෘතිය ලාංකේය ඉතිහාසයේ අප පසු කළ එක්තරා අවධියක් පිළිබඳ විවරණය කෙරෙන්නකි. කතුවරයා පවසන්නේ මෙය සිය මුල්ම යොවුන් සාහිත්‍ය කෘතිය වන 'නෑ ඒ අම්මා නෙවෙයි' කෘතියේ පසුබිම තුළම ලියැවුණු එහි දිගුවක් බවයි. එමෙන්ම එම කෘතියේ සඳහන් පවුල් හා සාමාජීය පසුබිම තුළ වුවද මෙය වෙනත් ප්‍රස්තූතයක් බැවින් අලුත් කෘතියක් ලෙස කියවීමට කිසිදු බාධාවක් නැති බව ද කතුවරයා සඳහන් කරයි.

Comments