රයිගම් වයඹ සෝල්ටන්ස් ලාභය 101% කින් ඉහළට | Page 2 | සිළුමිණ

රයිගම් වයඹ සෝල්ටන්ස් ලාභය 101% කින් ඉහළට

රයිගම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය මාධ්‍යයට අදහස් දක්වමින්

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත ලුණු නිෂ්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ එකම සමාගම වන රයිගම් වයඹ සෝල්ටන්ස් පී. එල්. සී,පසුගිය වර්ෂයට සාපේක්‍ෂව ඉතා විශිෂ්ට වර්ධනයක් 2022/23 මූල්‍ය වර්ෂයේදී වාර්තා කර ඇත. එය මෙම සමාගමේ ඉතිහාසය තුළ ලැබූ විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵලය වන අතර, මෑතකදී ප්‍රසිද්ධ කරන ලද 2022/2023 මූල්‍ය වර්ෂයට අදාල (විගණනය නොකළ) මුල්‍ය ප්‍රකාශන මඟින් මෙම තොරතුරු අනාවරණය විය.

වර්ෂ 2005දී රයිගම් වයඹ සෝල්ටන් සමාගම, රයිගම් සමූහ සමාගමේ පාළිත සමාගම ලෙස බිහි වන්නේ මෙරට මේස ලුණු ඇතුළු අගය එකතු කළ ලුණු නිෂ්පාදන වෙළෙඳපොළ ඉන්දියානු සැපයුම්කරුවන් කිහිප දෙනෙකු විසින් අත්පත් කරගෙන තිබූ යුගයකදීය. රට වටකර පවතින කරදිය වළල්ල සහ උණුසුම් දේශගුණය ලුණු නිෂ්පාදනයට හිතකර වනවා මෙන්ම වෙනස් වන පාරිභෝගික රුචිය අනුව ගැළපෙන නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමෙන් එය ජයගත හැකි බව කල්තියා හඳුනාගත් රයිගම් සමාගම ඒ සඳහා පිළියෙල කළ කෙටිකාලීන හා දීර්ඝකාලීන උපක්‍රමික සැලසුම් මත ගමන් කිරීම නිසා අභියෝග ජයගැනීමට සමත් වී ඇත.

2010 වර්ෂයේදී මෙම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරමින් වයඹ සෝල්ටන්ස් පී. එල්. සී බවට පත්වන්නේ මේ රටේ පොදු ජනතාවට මෙම වැදගත් ව්‍යාපාරයේ කොටස්කරුවන් වීමේ අවස්ථාව උදා කරමිනි. කොටස් මිලියන 8 ක් වූ මූලික කොටස් නිකුතුවේදී එක් කොටසක මිල රුපියල් 2.50 ලෙස නියම කළ අතර, එමඟින් අවම දායකත්වය වූ රුපියල් 2,500ක ආයෝජනයකින් ඕනෑම කෙනකුට සමාගමේ කොටස් හිමියකු වීමේ අවස්ථාව ලැබුණි. මෙම වකවානුව තුළ කොටස් වෙළෙඳපොළේ පැවති ප්‍රබෝධය රයිගම් වයඹ සෝල්ටන් කොටස් නිකුතුවට 20 ගුණයක අයදුම්පත් ලැබීමට තරම් ශක්තිමත් විය. කලින් කලට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ කොටස් මිල ගණන් දැඩි උච්ඡාවචනයන්ට ලක් වූවද, රයිගම් වයඹ සෝල්ටන් කොටස් සඳහා වන වෙළෙඳපොල මිල ශක්තිමත්ව පැවති අතර, යහපත් මූල්‍ය ප්‍රතිඵල, ශුද්ධ වත්කම් පදනම සහ පිළිගත් කළමණාකරණ පරිචයන් ඔස්සේ ස්වාභාවික හා ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගනු ලැබිණි.

ඒ අනුව 2022/2023 මූල්‍ය වර්ෂය අවසානයේදී රයිගම් වයඹ සෝල්ටන්ස් කොටසක වෙළෙඳපොළ මිල රුපියල් 6.90ක් වූ අතර, ඊට සාපේක්‍ෂව කොටසක ශුද්ධ වත්කම් රුපියල්7.88ක් වශයෙන් ඉතා ශක්තිමත් මට්ටමක පැවතිණි.

රයිගම් ඊසි වෙළෙඳපොළේ ඉහළම පාරිභෝගික විශ්වාසය දිනාගත් ලුණු නිෂ්පාදිතය වන අතර, කිසිම අයුරකින් තම තත්ත්වය ප්‍රමිතියෙන් අඩු වීමකට ඉඩ නොතබා සියලු නිෂ්පාදිත උණු උණුවේම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ක්‍රියාවලියක් මඟින් ඇසුරුම් කර වෙළෙඳපොළට සපයයි. කාලයක සිට ලුණු නිෂ්පාදනය සඳහා භාවිත කළ සම්ප්‍රදායික පොලිතීන් උර වෙනුවට තෙතමනය හා වෙනත් බාහිර සාධකවලින් ආරක්‍ෂිත එමෙන්ම ආකර්ෂණීය ත්‍රිත්ව ලැමිනේටින් ඇසුරුම් ලුණු සඳහා මුසු කළේ ද රයිගම් විසිනි.

රයිගම් වෙළෙඳ සන්නාම පාරිභෝගිකයන් සමඟ නිරන්තර සන්නිවේදනයේ යෙදී සිටින අතර, එම නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය කෙරෙහි පාරිභෝගිකයන් තැබූ විශ්වාසය ද සලකා බලන වර්ෂය තුළ සමාගමේ විකුණුම් ඉහළ යෑමට ඍජුවම දායක විය.

සමාගමේ මෙහෙයුම් මට්ටමේ සිට ඉහළ කලමණාකරණය දක්වා වන සියලුම ස්ථරවල සේවක පිරිසගේ කැපවීම හා දායකත්වය මෙම විශිෂ්ට ප්‍රතිඵල කෙරෙහි බලපෑ අත්‍යාවශ්‍ය සාධකයක් බව රයිගම් කළමනාකාරීත්වයේ විශ්වාසයයි.

Comments